ඔබේ වෛද්‍යතුමියගෙන් අසන්න: අත් පාද සහ මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD) ගැන ඔබ දැනගත යුතු දේ

lead image

අද Dr. Dinu විශේෂාංගය ඔස්සේ ලංකාවේ කුඩා දරුවන්අ අතර සීග්‍රයෙන් පැතිරෙන අත් පාද සහ මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD) ගැන ඔබට ඇති ගැටළු වලට පිළිතුරු සැපයෙන්නේ ඔබේ දැනුවත් වීම පිණිසයි.

දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇතිව සතිපතා විශේෂාංගයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ  වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.

Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා.

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

Dr. Dinu අද අපව දැනුවත් කරන්නේ ලංකාවේ මේ දිනවල පොඩි දරුවන් අතර පැතිර යන අත් පාද හා මුඛ රෝගය නොහොත් Hand Foot and Mouth Disease (HFMD) සම්බන්ධයෙන්.

මොකද්ද මේ අත් පාද හා මුඛ රෝගය/Hand Foot and Mouth (HFMD) කියන්නේ?

අත් පාද හා මුඛ රෝගය කියන්නේ එන්ටෙරෝවයිරස් නමින් හඳුන්වන වයිරස් කාණ්ඩයක් මගින් ඇතිවන වයිරස් ආසාදනයක්.

මෙය සාමාන්යයෙන් වැළඳෙන්නේ කුමන වයස් වල අයටද?

මෙම රෝගය බහුලවම වැළඳෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටයි. වැඩිහිටියන්ට මෙම රෝගය වැළඳුනත් බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම්කරන්නේ නැහැ.

නමුත් රෝගී ලක්ෂණ නොමැති රෝගය ශරීරගත වූ වැඩිහිටියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.

HFMD පැතිරෙන්නේ කෙසේද?

රෝගී අයෙකුගේ කෙල හෝ සෙම වලින් බිබිලි පිපිරී නිකුත් වන ශ්‍රාවයෙන් සහ මලපහ වලින් රෝගය ඇතිකරන වයිරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.

ඒ කියන්නේ රෝගී දරුවෙකු සමග ගැවසීම, රෝගී දරුවෙකුගේ කැස්සට හෝ කිඹුහුමකට නිරාවරණය වීම හෝ රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු මගින් තවත් දරුවෙකුට මෙම රෝගය බෝවෙන්න පුළුවන්.

මෙම රෝගය බලපාන්නේ ශරීරයේ කුමන කොටස් වලටද?

රෝගයේ මුලික හඳුනාගැනීමේ ලක්ෂණයක් වන "වතුර බිබිලි" හෝ රතු පැහැති පලු/කුෂ්ඨ වැඩිපුරම හටගන්නේ  අත්, අත්ල,වැලමිට, පාද, පතුල්, මුඛය, උගුර, තට්ටම් ප්‍රදේශය සහ පිට යන  ප්‍රදෙශයන් වලයි. සමහර දරුවන්ට ඉහත කී ප්‍රදේශ වලට අමතරව ශරීරය පූරා මෙම පලු හටගන්නත් පුළුවන්.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

උණ, උගුරේ අමාරුව, කෑම අරුචිය සහ දරුවාගේ මලානික බව තමයි මුලින්ම ඇතිවන්නේ. මේ රෝග ලක්ෂණ ඇතිවී දින දෙකකින් පමණ පසුඉහත කී  ප්‍රදේශවල රතු පැහැති කුෂ්ඨයක් හෝ වතුර බිබිලි හටගන්න පුළුවන්. 

රෝගයේ පීඩාකාරී බව ඇතිවන්නේ මුඛයේ ඇතිවන වේදනාකාරිබිබිලි/තුවාල නිසයි. 

දින කිහිපයකින් පසු මෙම බිබිලි පිපිරී ඝන පොත්තක් ඇතිවනවා. ඉන්පසු රෝගයේ අවසානයේදී මෙම බිබිලි ඇතිවුණු තැන් වලසම වියලී ගලවීයාමටත් ඉඩ තිබෙනවා.

HFMD වැළඳුනු දරුවකුට සාත්තු කරන්නේ කෙසේද?

රෝග ලක්ෂණ පහල වූ විට දරුවාව වෛද්‍යවරයෙකුට පෙන්වා රෝග විනිශ්චය කරගැනීම තමයි මුලින්ම කල යුත්තේ. කුෂ්ට සහ වතුර බිබිලි වෙනත් රෝගයන්හීත් ඇතිවන නිසා නිවැරදි රෝග විනිශ්චය ඉතාම වැදගත්. 

වෛද්‍යවරයෙකු රෝගය මෙයම බව තහවුරු කර ඊට අදාල බෙහෙත්වර්ග නියම   කරනු ඇත. 

ඔබ කල යුත්තේ එම බෙහෙත් නිසි වෙලාවට දීමත් දරුවා පිරිසිදුව තබා ගැනීමත්ය.  උණ සුවවුණු පසු (බිබිලි තවමත් තිබුනත්) දරුවාව ජලයෙන් පිරිසිදු කරාට හානියක් නැහැ.

මේ රෝගය ඇති විට කෑමට නුසුදුසු දේවල් තිබේද?

විශේෂයෙන් සඳන් කල යුත්තේ මුඛයේ ඇති බිබිලි නිසා දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවයි. 

මෙම තුවාල ඉතාමත් වේදනාකාරී බැවින් රළු, ඉතා උණුසුම්, ඇඹුල්, සැර, ලුණු අධික අහාර මගින් වේදනාව වැඩිවන්න පුළුවන්. 

ඒ නිසා සියුම් සහ මද සිසිල් අහාරපාන දරුවටලබාදෙන්න. දරුවා විජලනයට පත් නොවීමට හොඳින් ජලය සහ කැඳ වර්ග ලබාදෙන්න. මාස 6ට අඩු ළදරුවෙක් නම් මව්කිරි පමණක් ප්‍රමාණවත්.

මෙම රෝගය සුව වීමට කොපමන කල් ගත වෙනවාද?

සාමන්‍යයෙන් රෝගය දින 7-10ක් ඇතුලතදී සුව වෙනවා. 

HFMD රෝගයෙන්වැළකියහැකිද?

රෝගයසැදුනු දරුවන්ව  පාසල්, පෙරපාසල් නොයවා රෝගය සුව වෙනතුරු සිටීමෙන් අනිත් දරුවන්ට රෝගය වැළඳීමෙන් ආරක්ෂාකල හැක.

සැමවිටම ගමන් බිමන් වලින් පසුව, දරුවාගේ මලපහ පිරිසිදු කිරීමෙන් පසුව අත්  සේදීම ඉතා වැදගත්.

නිවසේඑක රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු අනිත් දරුවන්ට නොදීම මගින් අනිත් දරුවට රෝගය සම්ප්‍රේෂණය වීම් හැකියාව අඩු කල හැක. 

HFMD රෝගයට එන්නතක් තිබේද?

නැහැ. මෙම රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනය කරලා නැහැ.

මෙම රෝගය නැවත නැවත සැදෙන්න පුළුවන්ද?

මෙම රෝගයට හේතුකාරක වන වයිරස් කාණ්ඩයක් සිටිනවා. එක වරකට රෝගී වන්න හේතු කාරක වුනු ප්‍රභේධයට ප්‍රතිශක්තිය ඇති වුවත් නැවත එම කාණ්ඩයේම වෙනත් ප්‍රභේදයක් මගින් මෙම රෝගයම නැවත ඇතිවිය හැක.

අත් පාද හා මුඛ රෝගය/Hand Foot and Mouth (HFMD)  සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්

 

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.