අම්මා ඉන්න වෙලාවට දරුවන් හුඟක් නරකට හැසිරෙන්නේ ඇයි? අම්මා කෙනෙකුගේ හඬින් කියන කතාවක්

lead image

අම්මා දැක්ක ගමන් දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවා. හුඟක් වෙලාවට අම්මා ගෙදරින් පිට ඉඳලා ආවහම තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්.

නිතර අවධානය දිනාගන්න ආස පුංචි දරුවන් තරමක් ඔබව කේන්ති ගස්සනවා. දිගු වෙහෙසකර දිනයක අවසානයේ එය ඔබට තවත් වෙහෙසක් ගෙන දෙනවා.

මම ළඟදී ඉතාම ආකර්ෂණීය ලිපියක් කියෙව්වා. දරුවන් අම්මලා ඉන්න විට 800% ක් නරකට හැසිරෙන්නේ ඇයි? ඇත්තටම මේ කතාව 100% ක්ම හරි. අම්මා දැක්ක ගමන් දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවා. හුඟක් වෙලාවට අම්මා ගෙදරින් පිට ඉඳලා ආවහම තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්.

මගේ දරුවන් ගැනත් මේ තත්වය ඉතා සාමාන්‍යයි. මගේ පළවෙනි පුතා ඕස්ට්‍රේලියාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යනවා. ඇත්තටම කොහොමත් පළවෙනි සති කිහිපය එය දරාගන්න ඔහුට අමාරු වුණා. මම උදේට එයාව නතර කරලා එනකොට හරිම වේදනාවෙන් ඇඬුවා. නමුත් කාලයත් එක්ක ඔහු තැනටත් මිතුරන්ටත් එකතු වුණා. අම්මලාට දරුවන්ව බලන්න ඉඩදෙන තැන ඉඳලා බලනකොට එයා ඉතා සතුටින් සෙල්ලම් කරමින් සිනා සෙමින් ඉන්නවා. හැබැයි නිකමට හරි මාව දැක්කොත් එතනින් ඔක්කොම ඉවරයි.

කඳුළු පෙරාගෙන මාව බදාගෙන අඬන්න ගන්නවා. ඒක දැක්කහම මටත් එයාව බදාගෙන අඬන්න හිතෙනවා.

නමුත් එයට හේතුව එයා අසතුටෙන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වරදක් හෝ නොවෙයි. ඔහු ඉන්නේ අසතුටෙන් නෙමෙයි. නමුත් මාව දුටු විට ඔහුගේ හැසිරීම වෙනස් වෙනවා. දැන් මගේ දෙවැනි පුතත් එහෙමයි. එයාගේ තාත්තා එක්ක එයා කොයිතරම් දුර ඇවිදගෙන පයින් ගියත් මාව දැකපු ගමන් කකුල් රිදෙනවා කියලා වඩාගන්න ඇවිටිලි කරනවා.

මට මේ වගේ සිය ගණන් උදාහරණ දෙන්න පුළුවන්. මම මේ ගැන හුඟක් කල්පනා කළා. එතකොට තමයි මේ ලිපය දකින්න ලැබුනේ. මාස 8 ක විතර කාලේ ඉඳන් 99.9% ක් දරුවන් තනිව සතුටින් සෙල්ලම් කරමින් හිටියත් අම්මා දුටු ගමන් මේ තත්වය වෙනස් වෙන බවත් කියවුණා.

අම්මලා දරුවන්ගේ ආරක්ෂාවට ඉන්න පොරවනයක් වගෙයි

අපේ පුංචි පැටවුන්ගේ සතුට කොහේදෝ ඈතට පලා යන්නේ අපිව දැක්ක ගමන් ඔවුන්ට ඊටත් වඩා ආරක්ෂාවක් දැනෙන නිසයි. එය එතරම් සරලයි. අනිත් අතට පුංචි පැටියාගේ සිත දන්නවා ඕනෑම ගැටලුවකට එයාට යන්න පුළුවන් තැන අම්මා ළඟ තියෙනවා කියලා. මේක එයා කැමතිම සෙල්ලම, නැත්තම් අක්කා එයාගේ සෙල්ලම් බඩුව ගත්ත එකට, එයාගේ කකුල් රිදෙන එකට හරි වගේ දේවල් බොරු හේතු ලෙස කියන්න පුළුවන්. මෙච්චර වෙලා කිසිම දෙයක් නොඉල්ලපු පැටියා, අම්මා දැක්ක ගමන් අඬන්න ගන්නවා.

ඉතින් හුඟක් වෙලාවට ඔබ ගෙදර ඉන්නකොට හොඳට හිටපු දරුවා කඳුළු පුරෝගෙන බීම පෙරලි පෙරලී අඬනවා වෙන්න පුළුවන්. දවස පුරා පුංචි චන්ඩියෙක් වගේ ගෙදර හිටපු පැටියා දැන් කඳුළු පෙර පෙරා අඬනවා. අවසානයේ ඔහුගේ හැඟීම් ඔහු කියාපානවා. ඔබේ පැටියට ඔහුට දැනෙන හැඟීම් කියාගන්න පුළුවන් ලොව ඉන්න සමීපතම කෙනා අම්මා බවත්, ඔහුට ඕනෑම දුකක් කියන්න පුළුවන් බවත් පුංචි හිත දන්නවා. ඉතින් මොනවා කරන්නද? මේ ආදරය ලෝකයේ වෙන කොහෙවත් හොයාගන්න නැතිකොට අපිට ටිකක් තරහා ගියත් සිත නිවාගමු. මොකද පැටියාගේ ලෝකයම තියෙන්නේ ඔබේ දෙපා මුල නිසා.

මේ ආදරණීය කතාව theAsianparent Sri Lanka ඔබට ගෙනාවේ ලොව ඉන්න හැම අම්මා කෙනෙකු වෙනුවෙන්මයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ