ඕ අම්මා නම් වන්නීය. හරි හෝ වැරදි මව් සෙනෙහසේ නාමයෙන් ඇයගේ ජීවිතය මරණයට උකස් විය.

lead image

දෙමාපියනි මේ කථාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ දරුවන් වෙනුවෙන් ඔබේ ජීවිතය රැක ගන්න යැයි ඔබට මතක් කරන්නයි.

අම්මා හරි විසල් ගහක් වගේ, පුංචි කාලේ ඉදන් අම්මාගේ පණ කෙන්ද තියෙන කම් අපි ඒ විසල් ගසේ රැකවරණය ලබනවා. අම්මා කෙනෙකුට දුවෙක්, පුතෙක් ලොකු මහත් කරලා අවාහ විවාහ කරලා දුන්නත් ඒ මහත් මෙහෙවර ඉවර වෙන්නේ නැහැ. මුණුපුරන් ලොකු මහත් කරන්නත් වෙනවා. අම්මාගේ ගුණ ගායනා කරලා ඉවර කරන්න බෑ.

මේ තවත් එක් අම්මා කෙනෙක්ගේ මෑතකදී වු අනුවේදනීය සත්‍ය කථා පුවතක්,

නිමේෂා රජයේ ආයතනයක සේවය කල  කොයි කාටත් ප්‍රියමනාප කෙනෙක් වුනා. ඇයට තිබුනෙත් ප්‍රියමනාප පෙනුමක්, ඒ වගේම පුංචි පැටව් තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්, දරුවන්ගේ තාත්තාගේ නම් දරුවෝ ගැන ඒ තරම් සැලකිල්ලක් තිබුනේ නැහැ. ඒක නිසාම නිමේෂා ජීවත් වුනේ මහා බරක් හිසේ තියා ගෙන, ඒ තමයි එයාගේ දරුවෝ තුන්දෙනා රැකබලා ගැනීම.

ජීවිතය මේ විදියට ගෙවිලා යද්දී එක දවසක් නිමේෂා ලෙඩ වුනා.

" අපෝ මේ දවස් වල ඩෙංගු, බ්ලඩ් එකක් බලා ගන්න"

හිතවත් අය කිව්වේ එහෙම, කොයි කොහොම නමුත් ඇයට එය අතපසු වුනා. මට හිතෙන්නේ ඇය ඇත්තටම බය වුනා . හදිසියේ වත් ඩෙංගු වුනත් දරු පැටව් නොසැලකිලිමත් තාත්තාට දාලා ඇයට රෝහල් ගත වෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ.

අධික උණ තත්වය පහව නොගිය අතර නාසයෙන් ගලා ආ රුධිර බිංදු කිහිපය ඇයව සසල කලාය. සිය හොදම මිතුරියට ඇමතුමක් දුන් ඈ වහා ගොස් දරුවන් තිදෙනා ඇයට භාර දුන්නාය. ඉන්පසු ඇය ගියේ රෝහල වෙතය.

" අම්මා ඔයාට ඩෙංගු ,  ඇදෙන් බහින්න එපා.ගෙදරින් කාටහරි ලග ඉන්න එන්න කියන්න "

හෙදියක්  රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵල ගෙන ආවේ ඒ අයුරිනි. ඇයට දරුවන්ගේ අහිංසක මුහුණු සිහිවිය.

" මං මැරෙන එකක් නෑ නේද මිස් "

නිමේෂාට ඇසිණි. හෙදිය ඇස් ලොකු  කර බලා යන්න ගියාය. ඒ මුසල රාත්‍රීයේ නිමේෂාට අසාධ්‍ය විය.

" අයියෝ ලීක්  වෙනවා. මැෂින් එකට දාන්න. "

ස්කෑන් යන්ත්‍රය අතින් අතහැර වෛද්‍යවරයා කෑගැසුවේය. ඔවුන් එතැන් පටන් සටන් කලේ ඇයට ජීවිතය දෙන්නටය. නමුත් වෙද හෙදි මඩුල්ලට දහඩිය, වෙහෙස ඉතිරි කර ඇය අවසන් නින්දට වැටුනාය. පුතුනේ යැයි ආදරයෙන් දරුවන් වැලද ගන්නට ඒ ආදරණීය අම්මා නැවත ගෙදර ආවේ නැත. ඒ වෙනුවට අම්මේ යැයි දරුවන්ට හඩාවැටෙන්නට ඇයගේ නිසල සිරුර නිවසේ සාලයේ තැම්පත් විය.

අම්මා නැති දරුවන් ගැන පියා දැන්වත් සැලකිලිමත් වෙනවා දැයි තවදුරටත් අපි නොදන්නෙමු. එහෙත් නොසැලකිල්ල නිසා ඩෙංගු මාරයා උදුරාගත් ජීවිතය ඉතිරි කලේ දරුපැටවුන් තිදෙනෙකුටම කදුලුය.

දෙමාපියනි මේ කථාව ඔබ වෙත ගෙන ආවේ ඒ දරුවන් වෙනුවෙන් ඔබේ කදුලක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. ඔබේ දරුවන් වෙනුවෙන් ඔබේ ජීවිතය රැක ගන්න යැයි ඔබට මතක් කරන්නයි.

  • ඔබට යම් රෝගයක රෝග ලක්ෂණ ඇත්නම් බලා නොසිට ප්‍රතිකාර ගන්න
  • ඔබ රෝගී නම් රෝහල් ගතවෙන්න අවශ්‍ය නම් දරුවන්ගේ වගකීම් විශ්වාසවන්තයෙකුට පවරන්න පැකිලෙන්න එපා.
  • ඔබ යම් රෝගයකට ප්‍රතිකාර ගන්නවා නම් එය නොකඩවා කරන්න. දරුවන් වෙනුවෙන් එය අතපසු නොකරන්න.
  • ඔබ අද ජීවත් වුවොත් පමණි හෙට දින ඔබට ඔබේ දරුවන් රැකගන්න පුලුවන්.

මේ පුංචි මතක් කිරීම ඔබට හැමදාම ආදරය කරන theAsianparent Sri Lanka වෙතින්.