අම්මිගේ හදවත...

මේ අම්මිගෙන් ඇගේ පුතුට සෙනෙහිබර පණිවිඩයක් තියනවා. හැම අම්මා කෙනෙකුම මෙම ලිපිය කියවිය යුතුමයි.

ඔයා මේ ලෝකයට එනවා කියලා දැනගත්ත දවස තමයි මගේ ජීවිතේ ලස්සනම දවස. ඒ වගේම තමයි ඒක මම ඔයාගේ තාත්තීට කියපු සුන්දරම රහස.

දවස් ගෙවිලා යද්දී ඔයාගේ අම්මිට රසවත් කෑම කටක් කන්න පිරිය නැති වුනා .ඒත් ඔයා වෙනුවෙන් ඔක්කාරෙට එන හැම කෑම කටක් වෙනුවෙන්ම අම්මා ආයේම කෑම කටක් අමාරුවෙන් වුනත් කෑවා පුතේ..උගුර පිච්චිලා දැවිල්ල ගනිද්දී මම හුස්ම පොදක් ගත්තෙත් හරිම අමාරුවෙන්.

එක එක විටමින් ජාති ගොඩාක් මං මගේ රත්තරන් වෙනුවෙන් බිව්වා .ඉන්ජෙක්ෂන් ,සේලයින්,ලේ පරීක්ෂණ දාහක් දේවල් කියලා කටු මගේ අත් සිදුරු කරද්දී මං දරා ගත්තේ මගේ පුතා වෙනුවෙන් ..දවසින් දවස කුස බර වෙද්දි මගේ කෝටු කකුල් දෙකට ඒක දරාගන්න බැරුව ඉදිමුනා. ඒත් පුතේ ඒ වේදනා දෙන කකුල් මම පරිස්සමට තියලා ඇවිද්දේ මගේ පුතාටවත් නොදැනෙන්න.

ඉස්සිලා තියෙන කුස මගේ සුවබර නින්දත් හොරෙන් ගත්තා වගේ. ඒත් රත්තරන් මං එලිවෙනකම් හෙල්ලෙන්නේ නැතුව හිටියේ ඔයාට ටිකක් නිවිහැනහිල්ලේ ඉන්න ඕනි නිසා. ඉස්සර හැඩට ඇන්ද ඇදුම් සේරම ලොකු රැලි ගවුමකට මාරුවෙද්දි උස් අඩි සපත්තු පසෙකලා පැතැලි සෙරෙප්පු වල පිහිට සොයා යද්දී මේකප් සැගවිලා පියවි මුහුණ එලියට එද්දි තමයි මට තේරුනේ ඒ සේරම ඔයා වෙනුවෙන් කියලා.

කවුරුත් නොහිතපු මොහොතක ඔයා මේ ලෝකේට එන්න තීරණය කරලා.වේදනා අස්සෙන් මං දැක්කේ ඔයාගේ තාත්තාගේ බය වෙච්ච ඇස්දෙක. පැය ගානක වේදනාවන් අතීතයට එකතු වෙලා ඔලුව උස්ස ගන්න පණ ඩිංගිත්තක් ලැබුන හැටියේ මගේ ඇස් හෙව්වේ ඔයාව. එතකොට තමයි දැක්කේ මගේ ඇගට තුරුලු වෙලා හිටිය පුංචි උණ්ඩිය.

ඔයා ඔය චුටී තොල් වලින් උක්කු බොද්දී අම්මීගේ හදවත හයියෙන් ගැහුනා. ඒ දරා ගන්න බැරි ආදරයකින්. ඔයා රෑට නැගිටලා අඩද්දී අම්මිට එක විනාඩියක් නිදාගන්න ලැබුනේ නැහැ.  

ඒත් පුතේ ඒ හැම වෙලාවකම මම ඔයාව ආදරෙන් තුරුල් කරන් මගේ ලේ කිරි කරලා පෙව්වා. හෝදන්න චුටී චුටී රෙදි ගොඩ වෙද්දි මගේ වැඩ වැඩිවෙද්දි මට මාවත් අමතක වුනා.ඔයා ටික ටික ලොකු වෙද්දි ඔයාට කෑම කටක් කවන්න මම කිලෝමීටර් ගානක් ඔයා පස්සෙන් දිව්වා.

එහෙම කරලා තුන් වේලම කවා ගත්ත දවසට තමයි පුතේ මගේ හිත පිරුනේ. එහෙම දවස් වලට මම මහන්සියටම කෑවේ එක වේලයි. අම්මාට වතුර බොන්න අමතක වෙනවා කියලා ඔයාගේ තාත්තා දැන ගත්ත දවසේ එයා හරියට පුදුම වුනා .ඒත් වතුර උගුරක් බොන්න ඕනී කියලා මම නැගිටින්න හදපු හැම වෙලාවකම මට ඔයාගේ ඊට වඩා වටින වැඩ දාහක් විතර මතක් වුනා කියලා මං ඔයාගේ තාත්තාට තේරුම් කරලා දෙන්නේ කොහොමද ?

ඉස්සර ඔයා ලෙඩ වෙච්ච දවස්වල මම එලිවෙනකම් ඔයා ලගට වෙලා නිදි මැරුවා .ඒ එක දවසක ඔයාගේ ලේ එකක් බලන්න ගියා මට මතකයි. ඔයා ඒ වේදනාව දරාගන්න බැරුව පුංචි දත් දෙකෙන් මගේ අත හැපුවා.ඒ වෙලාවේ මට කොච්චර රිදුනත් ඔයාගේ වේදනාව තරම් මට ඒක රිදුනේ නෑ පුතේ. ඒක නිසා මම ඒ තුවාල වුන අතින්ම ඔයාව අරන් පපුවට තුරුලු කර ගත්තා .

තව දවසක් මට වහන්න අමතක වෙච්ච දොරකට ඔයාගේ චුට්ටං ඇගිල්ලක් අහුවෙලා ඔයා ගොඩාක් වෙලා ඇඩුවා.හුල්ල හුල්ල අඩ අඩ හිටපු ඔයාට මගේ තුරුලේම නින්ද ගියා .මං එලිවෙනකම් ඔයාව තුරුලු කරන් ඇඩුවා පුතේ...

මේ පුංචි පුංචි සිද්දි කිහිපයක් විතරයි මගේ පුතේ. මං ඔයා වෙනුවෙන් හෙලපු ලේ,දහඩිය, කදුලු පුරවන්න මහ මුහුදත් මදි වේවි. ඒ වගේම තවම පුංචි ඔයාව ලොකු කරන්න මම ඒ වගේම කැප වීමක් කරනවා. මට ඒ වෙනුවෙන් මොකුත්ම එපා.මගේ පුතා හැමදාම සතුටින් ඉන්න.

මගේ පුතාගේ සතුට තමයි මගේ එකම සැපත.