අලුත් අම්මෙක් නේද? මෙන්න මේ උපදෙස් ඔබටමයි

ප්‍රසුතියෙන් පසු ඇතිවෙන ආතතිය, සිරුරේ පෙනුම, මව්කිරි ලබා දීමේ ගැටළු අලුත් මවක් මුහුණ දෙන ගැටළු වලින් කිහිපයකි. මෙම ගැටළු වලට ශක්තිමත්ව විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්නේ කෙසේදැයි සොයා බලමු.

ප්‍රසුතියෙන් පසු ඇතිවෙන ආතතිය, සිරුරේ පෙනුම, මව්කිරි ලබා දීමේ ගැටළු අලුත් මවක් මුහුණ දෙන ගැටළු වලින් කිහිපයකි. මෙම ගැටළු වලට ශක්තිමත්ව විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්නේ කෙසේදැයි සොයා බලමු.

අලුත් මවට මාර්ගෝපදේශ : මාතෘත්වය තුල කදුලත් සිනහවත් සමබරව දෝලනය වේ.

ඇත්ත මෙන්න : මාතෘත්වය පහසු නොවේ. විශේෂයෙන් එය අලුත් මවකට පහසු නොවේ.

දීප්තිමත් සමකින් යුතු සුවබර නින්දක් ලබන අලුත් මව අසලින්ම වු තොටිල්ලක නිදන පුංචි පැටියා හෝ දරුවා පැදුරක් මත සතුටින් සෙල්ලම් කරමින් සිටින විට නිවසේ සියලු කටයුතු කරන ප්‍රීතිමත් මව සහිත රූපවාහිනි දැන්වීම් අමතක කරන්න. සැබෑ ලෝකයේ එසේ වන්නේ කලාතුරකිනි.

මාතෘත්වය අසීරු නමුත් සම්පුර්ණ කල යුත්තක්ද වේ. ඒ තුල කදුලත් සිනහවත් සමබරව දෝලනය වේ. ඔබේ හදවත ආදරයෙන් හා ආඩම්බරයෙන් පැලී යන අවස්ථා මෙන්ම සියල්ල හකුලා පසෙකට විසිකරන්න වෙන අවස්ථා තියෙනවා.

මාතෘත්වය ශාරීරිකව හා මානසිකව අසීරු කර්තව්‍යයක් වන අතර මේ මාර්ගෝපදේශ අලුතින්ම මව්පදවියෙන් පිදුම් ලැබු ඔබ වෙනුවෙන්මයි.

දරුවා හා එක්ව නිදාගැනීම නින්ද අහිමි මව්වරුන්ට හොද ක්‍රමයක් වේ. මෙය ඔබට නොගැලපේ නම් දරුවා සුදුසු වයසට පැමිණ පසු ක්‍රමවත් නිදි චර්‍යාවක් පුරුදු කරන්න.

නිදාගැනීමට හෝ නිදානොගැනීමට

" දරුවා නිදාගත් පසු නිදාගන්න " ඔබ ගැබිණි සමයේ අනෙක් අය දුන් මෙවැනි  අවවාද ඔබ කොතරම් නම් අසා ඇතිද? නමුත් දරුවා නිදාගත් විට නිදාගැනීම කියන තරම් පහසු නැත.

තමන්ගේ දරුවා නින්දට ගිය පසු කරන්නට දහස් ගණන් වැඩ කටයුතු අම්මා කෙනෙකුට තියෙනවා. ඔබට නිවසේ සේවිකාවක් නොමැති නම් අනිවාර්යයෙන්ම දරුවා නිදාගත්  මෙම කාලය නිවසේ කටයුතු සදහා යොදවනවා. ඒ වගේම මේ කාලය දත් මැදීමට , වාසනාවක් තිබුනොත් ඇග සෝදා ගැනීමට ( දරුවා අවදි විය හැකි නිසා නාන කාමරයේ දොර ඇරගෙන ) වේලාව වෙනවා.

එහෙනම් ඔබ නිදාගන්නේ කුමන වේලාවටද? ඔබේ දරුවා පැය ගණනක සුව නින්දක් ලබයි නම් නිවසේ කටයුතු අවසන් කර දරුවා හා නින්දට එකතු වෙන්න ඔබට පුලුවන්.

නමුත් කුඩා දරුවෝ විශේෂයෙන් අලුත උපන් දරුවෝ බොහෝ විට කෙටි නින්ද හා සම්බන්ධ චක්‍රයකට උරුමකම් කියන අතර නිතර රාත්‍රියේ අවදි වේ. මෙසේ වන්නේ ඔවුන්ගේ ජිවිතයේ මුල් මාස කිහිපය තුල ඔවුන්ගේ අවශ්‍යතා ඉහල මට්ටමක පවතින අතර සංනිවේදන හැකියාව ඉතා අවම මට්ටමක පැවතීම නිසයි. එමනිසා දරුවා රාත්‍රිය පුරා නිදාගත් විට බඩගින්න, සුවපහසුව වැනි අවශ්‍යතා සංතෘප්ත නොවේ.

විසදුම :

දරුවන් සමග එක්ව නිදාගැනීමේ ක්‍රමය නිසා මගේ දරුවන් දෙදෙනාම ලද අවස්ථාවේදී මගේ නින්ද ආරක්ෂා කර දුන්නා. දරුවන් හා එක්ව නිදාගැනීම ඔබට නොගැලපේ නම් සුදුසු වයසට පැමිණි පසු ඔවුන්ට නිදි චර්‍යාවක් පුරුදු කරන්න. උණුසුම් වතුරින් ඇග සේදීම, සුරතල් කිරීම, මෘදු ගීත, දරු නැළවිලි ඒ සදහා උපයෝගී කරගන්න පුලුවන්.

අලුත් මව්වරුන්ට මව්කිරි ලබාදීම අභියෝගයක් විය හැකිය. එවන් ගැටලුවක් ඔබට ඇත්නම් උදව් සොයා යන්න. එය විශාල වෙනසක් කරාවි.

මව්කිරි ලබා දීම

ඔබේ පියයුරු පුඩු දරුවාගේ මුවට දැමීම තරම් එය සරලයි කියා සිතනවාද? නමුත් සමහර මව්වරුන්ට ( මගේ පළමු පුතා ලද විට මට සිදුවුනා සේ) මව්කිරි ලබාදීම ආරම්භයේදී වත් අභියෝගයක් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය, අනෙකුත් පිළිගත් ආයතන හා ලොවපුරා වු සෞඛ්‍ය වෘත්තිකයන් අවම වශයෙන් මාස හයක් වත් නොනවත්වා මව්කිරි ලබා දීම නිර්දේශ කරනවා. ඒ වගේම අනුපුරක ආහාර සමග මව්කිරි දරුවාට වසර දෙකක් සපිරෙන තුරු ලබා දීමට ඔවුන් යෝජනා කරනවා.

නමුත් බොහෝ විට කිරි එරිම අඩුවීම, කිරිදීමේ ගැටළු වැනි ගැටළු හේතුවෙන් බොහෝ මව්වරු මව්කිරි දීම අත්හැර දමනවා. මමත්  මගේ පළවෙනි පළමු දරුවා ලැබුන විට මෙවැනි ගැටළු වලට මුහුණ දුන් අතර මව්කිරි ලබා දීම නතර කිරීමට ආසන්න තත්වයකට මම ලංවුනා. නමුත් මගේ සැමියාගේ හා  මව්කිරි ලබාදීම පිලිබඳ උපදෙස් ලබාදෙන විශේෂඥයකුගේ උදව් ඇතිව මට වසර දෙකකට වැඩි කාලයක් මව්කිරි ලබා දීමට හැකිවුනා.

විසදුම :

ඇත්තෙන්ම මව්කිරි ලබාදීම හෝ නොදීම මව තීරණය කිරීම සුදුසු නොවේ. ආරම්භයේදීම ඔබේ කිරි ලබාදීමේ ඉරියව් නිවැරදි කල හැකි මව්කිරි ලබාදීම පිළිබද වු විශේෂඥයෙකුගේ සහය ලබාගන්න. ඔබේ දරුවාට කිරි ලබාදීම පිලිබඳ සියලුම විස්තර ඇති මව්කිරි ලබාදීමට සහය දෙන අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයකට සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්.

සමහර වේලාවකට පුංචි සහයකින් ලොකු වෙනසක් කරන්න පුලුවන්.

ඔබ දැන් අලුත් මවක් . ඔබේ සිරුරට අලුත් පෙනුමක් ලැබිලා.

දරු ප්‍රසුතියෙන් පසු සිරුරේ පෙනුම

ගර්භණිත්වය පුදුම හිතෙන අත්දැකීමක් වනවාට නිසැකයි. දරුවා ලැබීමෙන් පසුත් දීර්ඝකාලීනව පවතින  වෙනස්කම් විශාල ප්‍රමාණයක් එයට ඇතුලත් වෙනවා. ඔබේ ඉදිරියට නෙරා ආ කුස, ඔබ කවදාවත් ඇතිවේයැයි නොසිතූ සම ඇදුනු සලකුණු, පියයුරු ( ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය වෙන එකක් නෑ) ඇත්නම් ඔබ විශ්මයට පත්වෙන්න එපා.

සමහර අලුත් මව්වරුන්ට දරු ප්‍රසුතියෙන් පසු ඔවුන්ගේ සිරුර  පිලිගන්න අසීරු වෙනවා. එහි අරුත ඔබේ නැන්දා කෙනෙකු ඔබ නැවතත් ගර්භණීද ඇසුවොත් කල හැකි යමක් නෑ.  ඒ වගේම කාලය ගැනීමකින් තොරව තම සිරුර යථා තත්වයට පත් කරගන්නා ජනප්‍රිය මව්වරුන්ගේ සංවේදී කථා මාධ්‍ය තුලින් දකින මව්වරුන් පීඩනයට පත්වෙනවා.

විසදුම :

මේ පීඩනය ඔබව මානසිකව ඇද දමනවා නම් මෙම සියලුම ජනප්‍රිය කාන්තාවන් සදහා ඔවුන්ගේ සිරුර යථා තත්වයට ගැනීමට පුහුණුකරුවන්, විලාසිතා ශිල්පින් මෙන්ම පෝෂණවේදීහුද විශාල ප්‍රමාණයක් ඔවුන් වටා සිටිනවා.

ඔබට අවශ්‍ය ප්‍රමාණය හෝ හැඩය නොමැති ඔබේ පියයුරු දැන් පුංචි ජිවිතයක් පෝෂණය කරනවා. ඔබේ ශක්තිමත් දෑත් කවමදාවත් කවුරුත් නොකල ලෙසින් ඔබේ බිළිදා රදවා ගනිමින් සුවපහසුව සලසනවා. ඔබේ කුස සිනිදු හා මස් එල්ලා වැටෙන ස්වරූපයෙන් තිබිය හැක. නමුත් මාස නමයක්ම පුරා පෝෂණය වීම කොයිතරම් ප්‍රාතිහාර්යයක්ද?

නොහැක කියන්නන් මගහරිමින් ඔබගේ සාමාන්‍ය ව්‍යායාම චර්‍යාවන් ක්‍රමයෙන් පුරුදු වීම සදහා ඔබ ඔබටම කාලයක් ලබා දෙන්න. ඇත්තෙන්ම ඔබ සර්වසම්පුර්ණයි.

දරුවන් ලැබීමෙන් පසු ඇතිවෙන මානසික ආතතිය මානසික අවපාත තත්වයකට පත්වීමට පෙර ප්‍රතිකාර ලබාගන්න.

මෙම මානසික ආතතින් යටපත් කිරීම 

ඔබ මේ ගැන අසා තිබෙනවාද? මෙය දරු උපතින් පසු පළමු දවස් කිහිපය තුල අලුත් මව්වරුන් අත්විදින තත්වයකි. මෙම මව්වරුන්ට හෝමෝන වෙනස් වීම හා අලුත් දරුවාගේ අවශ්‍යතා නිසා වෙහෙස ,කෝපය මෙන්ම දුක හා සතුට මොහොතින් මොහොත වෙනස් වෙමින් දැනෙනවා.

සාමාන්‍යයෙන් සතියක් දෙකක් ඇතුලත මෙම හැගීම් නැතිවී යනවා. නමුත් සමහර වේලාවට මෙම තත්වය පශ්චාත් මානසික අවපාත (PPD) තත්වය වැනි බරපතල තත්වයකට පත්වෙන්න පුලුවන්.

විසදුම :

ඔබට දරුවාගේ අවශ්‍යතා සමග කටයුතු කිරීමට අපහසු බව දැනෙනවා නම් අනෙක් අයගේ උදව් ලබාගන්න. ඒමගින් ඔබට ඔබේ ගත සිත ශක්තිමත් කිරීමට වැදගත් වන ප්‍රමාණවත් නින්දක් , සෞඛ්‍යමත් ආහාර මෙන්ම ව්‍යායාම ලබාගන්න ඉඩ ලැබේවි.

එමනිසා PPD තත්වය පහව යනවා. ඔබට මෙම තත්වය ඔබත් අත්විදින බව දැනෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න. අලුත් මව්වරුන්ට සහයෝගය දක්වන සමුහයන්ට එකතු වෙන්න. අනික් මව්වරුන් තරම් දරුවන් රැකබලා ගැනීමේදී ඇතිවෙන අභියෝග කවුරුත් දන්නේ නැහැ.

ඔබ හෝ ඔබ දන්නා වෙනත් කෙනෙක් හෝ PPD තත්වයෙන් පෙලෙනවා නම් වහාම රෝහලේ ඒ සම්බන්ධ අංශයකට යොමු කරවන්න.

දරු උපතෙන් පසු ඉක්මනින්ම ඔබට පෙර පෙනුම ලැබේවි.

දරුවා රැකබලා ගැනීම

මේ පුංචි මිනිස් පැටියා රැකබලා ගැනීම සමහර මව්වරුන්ට  විශේෂයෙන් පළමු දරුවා ලබන අලුත් මව්වරුන්ට ටිකක් බියජනක දෙයක් වෙනවා. නාවන වේලාවට සවිමත් නැති පුංචි අත්පා සමග කොහොමද කටයුතු කරන්නේ, නිදාසිටින ඔබේ දරුවා අවදි නොවන ලෙස කොහොමද නලවන්නේ, කොහොමද ඔහුගේ ඩයිපරය මාරු කරන්නේ කියා ඔබ පුදුම වෙනවා .

නමුත් මේ බොහොමයක් දේවල් නොදැනුවත්වම ඉගෙන ගනු ලබයි. සමහර විට ඒවා සහජයෙන්ම එන අතර ඔබේ දරුවා නාවන විට ඒ සම්පුර්ණ කාලයම හැඩුවා කියා හෝ දරුවාගේ පුංචි ඇදුම ඉරුනේ කොහොමද  කියා ඔබට පෙනීම නිසා ඔබවම පීඩාවට පත්කර ගන්න එපා.

මාතෘත්වයේ නෞකාව ලෝකය පුරා පදවාගෙන යන අලුත් මවකට ඇත්තෙන්ම වරදක් සිදුවන්නේ නැහැ. මක්නිසාද ඔබ විසින් කරන සියල්ල කරනු ලබන්නේ හදපිරි පවිත්‍ර ප්‍රේමයෙන් වීමයි.

විසදුම :

ඔබ රෝහලේ සිටියදීම දරුවා රැකබලා ගැනීම පිලිබඳ සියල්ල විමසා දැනගන්න. දරුවා නාවන විදිය, ඩයිපරය මාරුකරන විදිය, ඇදුම් අන්දවන විදිය හා දරුවා නලවන විදිය සියල්ල පෙන්වා දෙන ලෙස හෙදියට පවසන්න. මව්කිරි ලබාදීම පිලිබඳ විශේෂඥ උපදෙස් ඉල්ලා සිටින්න. ඒවගේම පෙකණිය රැකබලා ගැනීම පිලිබඳවද දැනුවත් වෙන්න.

මවක් වශයෙන් පුංචි දරුවාගේ යහපැවැත්ම පිලිබඳ සලකන විට ඔබ එය සහජයෙන්ම අරගෙන ඇවිත්  තියෙනවා. මෙම සහජයෙන් ආ දේ විශ්වාස කරන්න. ඔබට යහපතක්ම වනු ඇති.

සැමවිටම මතක තබාගැනීමට : ඔබ ඔබේ පුංචි දරුවාගේ ලෝකයම වේ. ඔහු ඔබගේමයි. එය ඈත අතීතයේ සිට මාතෘත්වයේ හදවත වෙලා තියෙනවා .

ඔබේ මාතෘත්වයේ පළමු සති කිහිපය ගෙවුනේ කෙසේද? අපිත් සමග බෙදා ගන්න මව්වරුනි. ඔබට උදව් කලේ මොනවාද?පහලින් සටහනක් යොදා අපටත් කියන්න.

දරුවා ලැබුනට පස්සේ වෙනස් වෙන සිරුර ගැන පසු තැවෙන්න එපා. ඒවා කාලයත් සමග යථා තත්වයට පත්කරගන්න පුලුවන් . මේ තොරතුරු ,The Asianparent Sri Lanka  වෙතින් ගෙන ආවේ ඔබ වෙනුවෙන්මයි .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

(Image: Al Jazeera)