අලුත් මවක් වූ සැනින් හිතට ඇති විය හැකි පුංචි දුක් සිතිවිලි මග හරවා ගන්නේ කෙසේද?

මවක් වූ සැනින් ඇති වන බාහිර විපර්යාස නිසා අලුත් මවට කනස්සලු ගතියක් ඇති වන්නට පුළුවන්. මේ විපර්යාසයන්ට උපේක්ෂාවෙන් මුහුණ දී සතුටින් මව් පදවිය ගෙවිය හැකි ක්‍රම කිහිපයක්.

අද මේ ලියන්නේ ඊයේ අප ලියු  ලිපිය හා බැඳුනු කාරණාවක් සම්බන්ධයෙන්. ඊයේ අප අලුත් බබෙක් නිවෙසට එක් වූ විට පවුලක ඇති වන මුලික වෙනස් කම් කිහිපයක් ගැන කතා කලා. ඒ වෙනස් කම් අතුරින් විශේෂයෙන්ම අලුත් අම්මා මුහුණ දෙන වෙනස් කම් ගැනත් ඊට විසඳුම් කිහිපයකුත් අද ලිපිය තුළින් ඔබ සමඟ බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා.

ගර්භණි සමය තුළ අම්මා කෙරෙහි වෙනදාටත් වඩා ලොකු අවධානයක් ඇති වනවා. හැමෝම ඇය කැමති ආහාර පාන වලින් ඇයට සංග්‍රහ කරන අතර පවුලේ සැවොම ඇයව සතුටින් තබන්නට උත්සාහ කරනවා. කෙසේ නමුත් දරුවා බිහි වූ මොහොතේ පටන් අම්මා ඇගේ ජිවිතයේ පරිවර්තන බොහොමයකට ක්ෂණයකින්ම ලක් වනවා. මෙයට අප හැමෝම පාහේ සාර්ථකව මුහුණ දෙනවා. එය මවකගේ ශක්තියයි. ශාරීරික වේදනාව, හෝමෝන වල වෙනස් වීම්, නිදි මැරීම, අමතර මහන්සිය වැනි ශාරීරික විපර්යාස වලට ලක් වන මවට නිරයසෙන්ම මේවාට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා.

මිට අමතරව අලුත් අම්මා භාහිර විපර්යාස බොහොමයකටද මුහුණ දෙනවා. මේවායේ සංකුලතාව බොහෝ විට රඳවා පවතින්නේ පවුලේ අනෙක් උදවිය මතයි. කෙසේ හෝ ඔබත් අම්මා කෙනෙක් නම් පහත කරුණු හෝ වෙනත් කරුණක් නිසා ඔබත් පීඩනයට පත් වී සිටිනවා නම් මේ ලිපිය කියවීමෙන් ඔබට අස්වැසිල්ලක් හා සිතට සහනයක් ලැබෙනවා.

ඉතින් අම්මා කෙනෙක් මුහුණ දෙන භාහිර විපර්යාස කිහිපයක් පහත දක්වමු.

1 ගර්භණි සමයේ තිබු සැලකිලි සියල්ල නැවතී දැන් අලුත් බිලිඳා ගැන පමණක් හැමෝම සැලකිලිමත් වීම.

ගර්භණි සමයේ හැමෝගෙන්ම සැලකුම් ලබපු හැටි ඔබටත් මතක ඇති. රසවත් ආහාර, ස්වාමියාගේ සැලකුම් ආදරය මැද කාලය ගෙවා දරුවා ලැබුණු පසු ගෙදර කට්ටියට අම්මාව මතකත් නැති තරම්. හැමෝම කිරිකටියාගේ සුරතල් බලා සතුටු වීම සාමාන්‍ය වුවත් අම්මගේ සැප දුක් බලා ඇය සතුටින් තැබීමද ඉතා වැදගත්.

2 දරුවාගේ අපහසුකම්, හඬන එක, ලෙඩ රෝග සියළු දෙයටම පාහේ ඇතැම් විට නිවැසියන් අනුව අම්මා වරදකරු වීම.

බිලිඳා සන්නිවේදනය කරන එකම ක්‍රමය හැඬිම මගින්. කිරිකැටියා හඬන විට අපට අහන ඉන්න හරි අමාරුයි. විශේෂයෙන්ම දරුවාට කොලික් තත්වයක් ඇත්නම් එය තවත් අමාරු වනවා. ඉතින් මේ අවස්ථා වල නිවැසියන් අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් අම්මාට ගොඩක් පහසු වනවා.

3 දරුවා ලොකු මහත් කිරීම උදෙසා අම්මාට රැකියාවෙන් ඉවත් වීමට සිදු වීමෙන් ඇති වන මානසික අසහනය.

මා දන්නා තරමින් අනෙක් ඒවාට වඩා මේ අසහනය මනසට බොහෝ ලෙස වද දෙන දෙයක්. රැකියාවෙන් උපයන මුදලට වඩා ඉන් තමාගේ දක්ෂතා වලට ඇති පිළිගැනීමත්, හිත මිතුරන් ඇසුරු කිරීමේ අවස්ථාව, කාලය තමන්ගේ වෘත්තීය වෙනුවෙන් කැප කිරීමේ තෘප්තිය යනාදී බොහෝ දේවල් අම්මා කෙනෙක්ට නැති වීම නිසා දුක හා කනස්සල්ලක් ඇති වීම නවත්වන්නට බැහැ.

දැන් අපි බලමු අම්මා කෙනෙක්ට මේ මානසික පිඩනයට සාර්ථකව මුහුණ දිය හැකි ක්‍රම කිහිපයක්.

1 ස්තුති කියා දවස අරඹන්න

හිරු උදාවත් සමඟ ඔබේ දවස ඇරඹෙද්දී එක් වරම අවදි වූ සැනින් දවසේ වැඩ පටන් ගන්න එපා. ඔබේ නෙත් ඇර නව දවසක් දැකීමේ භාග්‍යය වෙනුවට ඔබේ ආගමානුකුලව ස්තුති කරන්න. නොඑසේ නම් විශ්වයට ස්තුතිවන්ත වන්න. සන්සුන්ව විනාඩි පහක් හෝ ඔබ වටා ඇති ඔබට සතුට ගෙන දෙන සිතිවිල්ලකින් හෝ සිතිවිලි වලින් හදවත පුරවාගෙන සිනහමුසු මුහුණින් දවස අරඹන්න.

2 නින්ද අතපසු කරන්නට එපා

හැකි සෑම අවස්ථාවකම නින්ද ලබා ගන්න. බොහෝ මවුවරු දරුවා නිදි අතරේ ගේදොර වැඩ කටයුතු වල නියැලෙනවා. නින්දට ප්‍රමුඛත්වයක් නොදෙන තරම්. නමුත් නින්ද ඉතා වැදගත්. නින්ද අඩු කමින් ඔබට ඉක්මනින් කේන්ති යාම, කනස්සලු ගතියක් දැනීම මහින් ඔබේ අතින් නිවසියන්ටත් දු දරුවන්ටත් සිත් රිදවීම් ආදිය ඇති වන්නට පුළුවන්. ඉතින් ගේදොර වැඩ කිරීමට වඩා ඔබ සුව පහසුවෙන් හා සතුටින් සිටීම වැදගත් නොවේද? ඒ වාගේම කෙටි ක්‍රමෝපායන් මගින් ගේ දොර වැඩත්ව වඩා පහසුවෙන් නිම කර ගන්නට පුළුවන්.

3 ඔබේ ධෛනික කටයුතු වලට ප්‍රයෝගික ලෙස ප්රමුඛතාවය දෙන්න

කාර්යබහුල අවස්ථා වල අපට අත්‍යවශ්‍ය නොවන ක්‍රියාවන් බොහොමයක් පසු කාලීනව කෙරීමට යොදා ගන්න පුළුවන්. බොහෝ මවුවරුන් වැරදි අනුපිළිවෙලක් අනුගමනය කොට එදිනෙදා කටයුතු වල නිරත වන නිසා මානසික ආතතිය පමණක් නොව මවගේත්, ගෙදර අනෙක් අයගෙත් කාලය පවා නාස්ති වන්නට පුළුවන්.

4 අමාරු කාලය ඉතාම තාවකාලික බව තේරුම් ගන්න

ඇතැම් මවුවරුන් දරුවා කුඩා අවදියේ උවමනාවට වඩා දුක් වනවා, කනස්සලු වනවා. තමන්ගේ ජීවිතය ගෙදරටම කොටු වී යැයි හැඟීම් වලින් පිරෙනවා. නමුත් කාලය කෙතරම් ඉක්මන්ද.  නොදැනීම අවුරුද්ද දෙක ගෙවී දරුවා පාසැල් යන්නට පටන් ගන්නවා. මවුවරුන් ලොකු ලොකු තීරණ ගන්නට මත්තෙන් පවා එම යථාර්තය තේරුම් ගත යුතුයි.

5 හැම විටම ධනාත්මක ස්ථාවරයක ජිවත් වන්න

සිනාසී සතුටින් කල් ගෙවන හැමෝගේම ජිවිත මල් යහනාවක් නොවෙයි. ඇතැම් අය සමඟ කතා බහ කිරීමේදී අප ඔවුනට වඩා කෙතරම් වාසනවන්තදැයි සිතෙන අය අපට හමු වනවා. මේ ජිවිතයේ ස්වභාවයයි. අප අත ඇති මිල කල නොහැකි පුංචි වරප්‍රසාදයන් ගැන නිරතුරු මෙනෙහි කිරීමෙන් අපට හැම විටම සතුට සිනහව අප ජීවිතයේම කොටසක් කර ගන්නට පුළුවන්.

හිසට වහලක්, නිදන්නට ඇඳක්, ආදරය කරන්නට පවුලක් තිබේ නම් ඔබ ලෝකයේ ජනගහනයෙන් සියයට හැත්තෑ පහකට (75%) වඩා පොහොසත්. ඉතින් ඔබට දිනපතා සතුටින් ඉන්න මේ ඉඟියම ඇති නේද?