අවුරුදු 04 මාස 01  පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 01  පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ පුංචි පැටියාට දැන් අවුරුදු හතරක්, මේ මාසයේ ඔබේ කුඩා දරුවා කුමක් කරාවිද?

අවුරුදු 4 මාස 1 ළමා වර්ධනය: වයස අවුරුදු 4 දී මාස 1 ක් වන විට, ඔබ ඔබේ දරුවාගේ  වෙනස්කම් බොහොමයක්  දකින්න ගන්නවා. ඔහු වඩාත් ස්වාධීන, වඩාත් සමාජීය සහ වඩාත් විමසිලිමත් වෙමින් සිටිනවා

මේ වන විට, ඔබේ කුඩා දරුවා බොහෝ දුරට පෙර පාසල් ගමන ආරම්භ කරලා ඇති,  ඒ නිසා යම් කාංසාවක්, පරිකල්පනීය අදහස් වගේම  ප්‍රශ්න රාශියක් බලාපොරොත්තු වන්න.

මෙම ලිපියෙන් ලබා දෙන මග පෙන්වීම් සමග ඔබේ දරුවාගේ සංවර්ධනය පහසුවෙන්  නිරීක්ෂණය කරන්න  පුළුවන්. මේවා මාර්ගෝපදේශ පමණකි. සෑම දරුවෙකුම වෙනස් වන අතර ඔහු තමාගේම වේගයෙන් හා  තමාගේ වේලාවට සංවර්ධන සංධිස්ථාන වලට ලගා වෙන බවත් මතක තබා ගන්න.

ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඔබ කිසියම් ආකාරයකින් ගැටලුවක් ඇත්නම් ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

අවුරුදු 04 මාස 1  ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 04 මාස 01  පෙර පාසැල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

මේ වන විට ඔබේ දරුවාට ශාරීරික හැකියාව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති වෙනවා.

ඔහු දෙපා මාරුවන් මාරුවට තබමින් පඩිපෙළ දිගේ පහලට ඇවිදීන්න, බෝලයක් විසි කරන්න,  අල්ලා ගන්න වගේම එයට පයින්  ගහන්න ඔහු දක්ෂයි. 

ඒ වගේම දුවන්න, නගින්න, උඩ පනින්න, පනින්න සහ එක පාදයක් මත සමබරව ඉන්න ඔහුට දැන් පුළුවන්.

ඔහු අලුත් දේවල් අත්හදා බැලීමට පෙළඹෙනවා.  ඒ වගේම දැන් හොද ඇස්-අත්  සම්බන්ධීකරණයක් තියෙනවා.

උදාහරණයක්  ලෙස, ඇඳුම් ඇඳීම  ඔබේ දරුවාට දැන් පහසු කටයුත්තක්,  ඒ වගේම ඔහුට දත් මදින්නටත් වැසිකිළිය තනිවම භාවිතා කිරීමටත්

මේ වන විට ඔබේ දරුවාට තිබිය යුතු කුසලතා කිහිපයක් මෙන්න:

  • තත්පර 9 කට වඩා වැඩි කාලයක් තනි කකුලෙන් සිටගෙන ඉන්න පුළුවන්.
  • උදව් නොමැතිව පඩිපෙළ දිගේ ඉහල පහල යන්න පුළුවන්.
  • බිම වැදි එන බෝලයක් බොහෝ විට අල්ල ගන්න පුළුවන්.
  • සමහර විට මග හැර පනින්න (ස්කිප්) පුළුවන්.  
  • හිස බිමට තබා පිනුමක් ගහන්න හා පනින්න පුළුවන්.
  • ඉනිමග දිගේ නගින්න පුළුවන්.
  • ට්‍රයිසිකල් එක පදින්න පුළුවන්.
  • ත්‍රිකෝණය, චතුරස්‍රය, වෘත්තය සහ අනෙක් හැඩතල පිටපත් කරන්න පුළුවන්.
  • සිරුරක් සහිත මිනිසෙක් අදින්න පුළුවන්.
  • බ්ලොක්ස් 10 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්  ගොඩනගන්න පුළුවන්.
  • තමන්ගේ ආහාර වත්කරන්න, අධීක්ෂණය යටතේ කපන්න හා පොඩිකරන්න පුළුවන්.
  • ගෑරූප්පුව, හැන්ද භාවිතා කරන්න පුළුවන්.   සමහර විට පාන් පෙත්තක  බටර් ගාන්න පිහියක් භාවිතා කරන්න පුළුවන්.
  • ඇදුම් අදින්න හා ගලවන්න, දත් මදින්න, වෙනත් පෞද්ගලික අවශ්‍යතා එතරම් සහයක් නැතුව රැකබලා ගන්න ඔහුට පුළුවන්.
  • ළමා කතුරෙන් කපා ගන්න පුළුවන්.
  • ඔහුගේ නම සහ සමහර අකුරු ලියන්න පුළුවන්.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට එළිමහන් ඇති තරම් සෙල්ලම් කරන්න  දෙන්න. ක්‍රීඩාව වැදගත් ජීවන පාඩම් උගන්වනවා. එය   පෙර පාසල් දරුවන්ට ප්‍රීතිය, උද්දීපනය, කෝපය හෝ බිය වැනි හැඟීම් ප්‍රකාශ කිරීමට උපකාරී වෙනවා. ඔබේ දරුවා  අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට දිරිමත් කරන්න. බෙදාගැනීමේ සහ මිත්‍රත්වයේ වටිනාකම ඉගෙන ගැනීමට එමගින්  ඔහුට හැකි වේ.
  • මඩ වැලි නා ගෙන සෙල්ලම් කරන්න පුළුවන් උද්‍යාන හා ක්‍රීඩා පිටි වෙත ඔබේ දරුවා රැගෙන යන්න. සෑම විටම ඔබේ දරුවා ගැන  විමසිලිමත් වෙන්න. විශේෂයෙන් ඔහු පිටත සෙල්ලම් කරන විට හෝ ඔහු  ජලය අවට සිටින විට සැලකිලිමත් වෙන්න.
  • පිංතාරූ කිරීම, චිත්‍ර ඇදීම හා රංගනය වැනි පරිකල්පනීය හා නිර්මාණාත්මක සෙල්ලම් කරන්න දිරිමත් කරන්න.
  • චිත්‍ර ඇඳීම, කතුරකින් කැපීම,  පබළු ඇමනීම මගින් කුඩා මස්පිඩු සවිමත් කිරීමත් කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන හැකියාව (Fine motor skills ) තියුණු වීමත් සිදුවෙනවා.
  • නිවසේදී ,පාසැලේදී හෝ දරුවන් රැකබලා ගැනීමේදී නැරඹීමට දෙන තිර කාලය  ගුණාත්මක  වැඩසටහන් එක්ක  පැය 1 සිට 2 දක්වා සීමා කරන්න.
  • ඔබේ දරුවාට සෑම පැය 24 කටම(දිනකට) දහවල් නින්දද ඇතුලුව    පැය 10-13 අතර  නිර්දේශිත නින්ද ලබාදෙන්න.  

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • එකතැන උඩ පනින්න බැරිනම්
  • ලිවීමේ ගැටළු ඇත්නම්
  • පෙනීමේ හෝ ඇසීමේ ගැටළු  ඇත්නම්,
  • ඇදුම් ගලවන්න, දත් මදින්න, හෝ උදව් නැතුව අත් සෝදන්න  හා වියලන්න  නොහැකි නම්
  • බ්ලොක්ස් හයක් හෝ අටක් සහිත කුළුණක් ඉදි කළ නොහැකි නම්
  • ඔහුට පෙර තිබු හැකියාවන් නැති වී ඇත්නම්

අවුරුදු 4 මාස 1 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

මෙය සිත් ඇදගන්නා යුගක් වෙනවා. ඔබේ දරුවා දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්නවා.

ඔහුට දැන් වම සහ දකුණ අතර වෙනස හදුනනවා. ඒ වගේම,  'බර සහ සැහැල්ලු ' සහ 'එකම හා වෙනස්' වැනි විරුද්ධ  දේවල් ගැන වැඩි අවබෝධයක් සහිතයි. නිවස පුරා ඇති දේවල්  හා උපකරණ සහ ඒවා ක්‍රියා කරන ආකාරය ගැන  ඔහු දැන් උනන්දුයි.

අවුරුදු 4 ක මාස 1 ක දරුවෙකුගේ මානසික සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:

  • ඔහුගේ නම සහ දුරකථන අංකය කියන්න පුළුවන්.
  • වස්තූන් 10 ක් හෝ ඊට වැඩි ගණන් කරන්න  පුළුවන්.
  • අවම වශයෙන් වර්ණ 4 ක් වත් හදුනාගන්න පුළුවන්.
  • වස්තූන් ක්‍රියා කරන ආකාරය තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක්  ලෙස,  බඳුනක පියනක් කරකවා  අරින්නේ   කෙසේද යන්න ඔහුට වැටහෙනවා
  • කාලය පිළිබඳ සංකල්පය තේරුම් ගන්නවා. උදාහරණයක් ලෙස ඔහු ඊයේ කළ දේවල්, අද කරමින් සිටින අතර හෙට කරාවි.
  • ඔහු වම, දකුණ හදුනනවා.
  • බර මොකද්ද, උස මොකද්ද  සහ පහල මොකද්ද  වැනි සංකල්ප තේරුම් ගන්නවා.
  • කොටස් තුනක විධානයන් අනුගමනය කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, "ඔයාගේ සපත්තු ගලවන්න, ඇඳුම් මාරු කරන්න,  අත් සෝදන්න. "
  • එක් ක්‍රියාකාරකමක සමඟ දිගු කාලයක් ගත කරන්න පුළුවන්. (මිනිත්තු 10-15)

දෙමාපියන්ට  ඉඟි:

  • ඔබේ දරුවා සමඟ ආහාර පිසින්න. ඒ මගින් අලුත් වචන ඉගෙන ගන්න වගේම  ‘භාගයක් ’, 'තේ හැන්දක්’ හෝ ‘විනාඩි 30ක්' වැනි ගණිත සංකල්ප තේරුම් ගන්න මෙය හොඳ ක්‍රමයක් වෙනවා.
  • වෙනස හඳුනා ගැනීමේ සෙල්ලම්, කෝප්ප යට සගවා කරන සෙල්ලම් හා කොයි අතේද ඒක තියෙන්නේ වැනි සරල සෙල්ලම් කිරීමෙන් ඔබේ දරුවාගේ මතකය වැඩි දියුණු කරන්න ඔබට   පුළුවන්.  
  • වස්තු වර්ග කිරීම හා ගැලපීම ඇතුළත් සෙල්ලම් රැසක් ඔහු සමඟ කරන්න. පබළු විවිධ වර්ණ හෝ හැඩවලට වර්ග කිරීමට උත්සාහ කරන්න.
  • කතා කරමින් ප්‍රශ්න අසමින් ඔබේ වයස අවුරුදු 4 යි මාස 1 ක් වයසැති දරුවාට දිගටම  උගන්වන්න.  ඔබ දකින සහ කරන දේ ගැන සිතන්න ඔවුන්ව පොළඹවන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • ප්‍රියතම කතාවක් නැවත කියන්න නොහැකි නම්
  • කොටස් තුනක විධාන තේරෙන්නේ නැතිනම්
  • “මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා නොකරයි නම්
  • "එකම" සහ "වෙනස්" යන්න තේරුම් නොගනී නම්

අවුරුදු 4 මාස 1 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ වන විට, ඔබේ   පුංචි  දරුවාට ඔහුගේ හැඟීම් වඩාත් හොඳින් ප්‍රකාශ කරන්න පුළුවන්.

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ වැඩි අවබෝධයක්  තියෙනවා.  ඒ නිසා දරුවා  ස්ත්‍රී පුරුෂ භාවය  මත පදනම් වූ සෙල්ලම්  කිරීමට වැඩියෙන්  නැඹුරු  වෙනවා. (උදාහරණයක්  ලෙස, පුංචි  ගැහැණු ළමයින් ‘අම්මා’ වෙන්න කැමතියි)

ඔහු තම ශරීරය ගැන වඩාත් කුතුහලයෙන් යුක්තයි. දැන් ඔහු ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් අතර වෙනස්කම් දකිනවා.  “ගැහැනු ළමයින් හා පිරිමි ළමයින් මුත්‍රා  කරන්නේ එකම විදියටද?” වැනි ප්‍රශ්න පවා ඔහු අසන්න පුළුවන්. එයට අවංකව උත්තර ලබාදෙන්න.

ඔබේ දරුවා දැන් මිතුරන් සමඟ ඉන්න කැමතියි. ඔහු ඔහුගේ මිතුරන් පුදුමය  පත් කරන     දේවල් කරන්නත් කැමති‍යි. ඔහුට  “හොඳම මිතුරා” පවා ඉන්න  පුළුවන්.

ඔබේ කුඩා දරුවාගේ  පුංචි ලෝකය දිනෙන් දින  විශාල  වෙනවා. ඔහුගේ පවුලේ අය සහ අවට සිටින අය සමඟ ඔහු කටයුතු කිරීමෙන්  ඔහුගේ පෞරුෂත්වය හා සිතන ආකාරය  හැඩ ගැහෙනවා.

මෙම වයසේදී ඔබට අපේක්ෂා කරන්න  පුළුවන්  සමාජ හා හැගීම් සන්ධිස්ථාන මෙන්න,

  • මිතුරන්ට ආචාරශීලී වීමට  කැමතියි  වගේම  ඔහුගේ මිතුරන් වගේ  වෙන්නත් කැමති‍යි.
  • මවාගත් මිතුරන් ඉන්නවා.  
  • බොහෝ විට නිතීරිතී වලට එකඟ වෙනවා. ඒවාට අවනත වෙනවා.
  • නටන්න, ගයන්න ,රගපාන්න  කැමතියි.
  • වේලාවකට පාලනය කරන සුළුයි. ඉල්ලීම් වැඩියි. නමුත් තවත් සමහර විටෙක සහයෝගයෙන්  වැඩ කරනවා.
  • සැබෑව හා මවාගත් දෙය අතර වෙනස තේරුම් ගන්න පුළුවන්.
  • ඔහු වරදක් කියලා දැන දැන පුංචි බොරුවක් කියන්න පුළුවන්.

දෙමාපියන්ට  ඉඟි:

  • ඔබේ දරුවා තවමත් පෙර පාසල යෑම ආරම්භ කර නැත්නම් ඔබට දැන් එය සලකා බලන්න පුළුවන්. පෙර පාසලේදී ඔබේ දරුවාට අලුත් මිතුරන් ඇති කරන්න පුළුවන්.  ඒ වගේම  ස්වාධීනත්වය, වගකීම සහ විශ්වාසය වැනි කුසලතා ඔහු තුල  වර්ධනය වෙනවා.
  • ඔබේ කුඩා දරුවා දැන් අනෙක් දරුවන් සමඟ වැඩිපුර අන්තර් ක්‍රියා කරනවා. ඒ නිසා බෙදාහදා ගැනීමට ඉගෙනීම සහඅවස්ථාව ලබා ගැනීම වැනි දේවල්  අඩංගු  සෙල්ලම්  කරන්න.
  • "ඔන්න දැන් මගේ වාරය, ඊට පස්සේ ඔයා හොදද", හෝ "ඔයා රතු පාට බ්ලොක්ස් මටත්   දෙන්න.   මම ඔයාට නිල් පාට  බ්ලොක්ස්  දෙන්නම් " වැනි දේවල් ඔබට ඔහු හා සෙල්ලම්  කරන විට  කියන්න පුළුවන්.
  • ඔබේ සෙල්ලම් බඩු බෙදා ගන්නා විට මතක ඇතිව ඔබේ දරුවාට ප්‍රශංසා කරන්න.
  • නාඳුනන අය සමඟ ආරක්ෂිතව සිටින්නේ කෙසේදැයි ඔබේ දරුවාට කියා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • පුංචි දේවල් වලට උද්වේගකාරී ලෙස හැසිරෙනවා නම් හෝ ඔබ පිටවෙන පිට ඇලී සිටිනවා හෝ අඩනවා නම්
  • වෙනත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට කැමති නැත්නම්
  • අන්තර්ක්‍රියාකාරී සෙල්ලම් හා මවාපෑමේ සෙල්ලම් කෙරෙහි උනන්දුවක් නැත්නම්
  • බොහෝ විට බියෙන්, අසතුටෙන්, දුකෙන් ඉන්නවා නම්
  • ආහාර ගැනීමේ, නිදාගැනීමේ හෝ වැසිකිළිය භාවිතා කිරීමේ ගැටළු ඇත්නම්

අවුරුදු 4 මාස 1 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මේ වසරේ ඔබේ දරුවාගේ භාෂාව බොහෝ සෙයින් දියුණු  වන අතර, ඔහු කතන්දර පැවසීමට, සංවාද කිරීමට සහ ප්‍රශ්න ඇසීමට ප්‍රිය කරනවා.

ඔහුගේ කුතුහලය පිරිපුන් පුංචි මනසට ඔහු දකින සෑම වචනයකම තේරුම දැන ගැනීමට අවශ්‍යයි.   ඔහු මෙසේ  ජීවත් වන ලෝකය ගැන වැඩියෙන්  ඉගෙන ගන්නවා.

අවුරුදු හතරක වන විට ඔබේ පෙර පාසල් දරුවා  වචන සිය ගණනක් දන්නවා. ඒ වගේම  වචන 5-6 හෝ ඊට වැඩියෙන් අමුණා වාක්‍ය හදනවා. ඇය  පවසන සියල්ලම  ඔබට සහ අනෙක් අයට තේරුම් ගන්න  පුළුවන්.

මෙම වයස අනුව බොහෝ දරුවන්ට කළ හැකි දේවල්

  • වචන පහකට වඩා වැඩි වාක්‍ය වලින් පැහැදිලිව කථා කරනවා.
  • බොහෝ ශබ්ද නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන්. නමුත් තවමත්  සමහර ශබ්ද සමඟ ගැටළු  ඇති වෙන්න  පුළුවන් ('s', 'w' සහ 'r'  )
  • කතන්දර කියනවා
  • මතකයෙන් සිංදු හා ගීත ගායනා කරනවා.
  • “ඔහු” සහ “ඇය” වැනි මුලික ව්‍යාකරණ භාවිතා කරන්න දන්නවා.
  • අනාගත කාල වාක්‍ය භාවිතා කරනවා.
  • පළමු සහ අවසාන නම කියන්න පුළුවන්.

දෙමාපියන්ට  ඉඟි:

  • එක්ව කියවීම, කතන්දර පැවසීම, ගීත ගායනා කිරීම සහ පෙර පාසැල් ගීත කියවීම වැනි දේවල් වලට ඔබේ දරුවාගේ කතා කිරීම, සිතීම සහ පරිකල්පනය දිරිමත් කරන්න පුළුවන්.
  • ඔබේ දරුවාට කියවීමට අවශ්‍ය පොත් තෝරා ගැනීමට ඉඩ දෙන්න. ඔබේ දරුවා සමඟ කියවන අතරතුර මොහොතක් නවතින්න. කථාවේ ඊළඟට කුමක් සිදුවේදැයි දරුවා ගෙන් අහන්න. එය අනුමාන කිරීමට ඔහුට ඉඩ දීමෙන් ඔහුගේ සිතීමේ හැකියාව දියුණු කරන්න.
  • ඔහු කරන දේ සහ ඔහු සිටි ස්ථානය ගැන ඔහු සමඟ කතා කරන්න. ඔහු කළ දේ සහ ඔහු දුටු දේ ඔහුගෙන් අසන්න. ඔහු ඔබ සමඟ කතා කරන විට උනන්දුවෙන් සවන් දෙන්න.
  • ඔබගේ පුංචි පැටියා මේ වයසේදී  විහිළු කරන්න කැමතියි.  ඔහු අනවශ්‍ය විහිලු කරන්න පුළුවන්.  සංසුන්  වෙන්න. ඔවුන්ට ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වන්න එපා. ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කිරීම බොහෝ විට අනවශ්‍ය හැසිරීම් උත්සන්න කරාවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • අනෙක් අයට තේරුම් ගත හැකි පරිදි  පැහැදිලිව කථා නොකරයි නම්
  • වචන තුනකට වඩා වැඩි වාක්‍ය කතා නොකරයි නම්
  • “මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා නොකරයි නම්
  • ඔහුගේ මුල් නම සහ අවසාන නම කීමට නොහැකි නම්

අවුරුදු 4 මාස 1 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔහුගේ වයස, ප්‍රමාණය සහ ක්‍රියාකාරකම් මට්ටම අනුව, අවුරුදු 4 ක මාස 1 ක දරුවෙකුට දිනකට කැලරි 1,200 ත් 1800 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

මෙම වයසේ ගැහැණු ළමයින් සෙන්ටිමීටර 98 සිට 104 දක්වා උසකින් සහ කිලෝග්‍රෑම් 14.6 සිට 17.5 දක්වා බරින් යුක්ත වෙනවා.  පිරිමි ළමයින්ගේ උස සෙන්ටිමීටර 99.5 සිට 105.4   දක්වාද, බර කිලෝග්‍රෑම් 15 සිට 17.7 දක්වා වෙනවා.

ඔබේ දරුවාගේ දෛනික ආහාර පරිභෝජනය

ධාන්‍ය

ඔබේ දරුවාට දිනකට ධාන්‍ය  අවුන්ස 5 ක් අවශ්‍ය වෙනවා.   ධාන්‍ය වල අඩංගු  කාබෝහයිඩ්රේට් ඔහුට  ශක්තිය සපයනවා.

ධාන්‍ය අවුන්සයක්  = පාන් පෙත්තක්, සීරියල්  කෝප්ප 1 ක් හෝ පිසින ලද පැස්ටා කෝප්ප 1/2 ක්   හෝ පිසූ ධාන්‍ය  කෝප්ප 1/2 

කිරි සහ ප්‍රෝටීන් කාණ්ඩය

ඔබේ දරුවාට  කැල්සියම් ලබා ගැනීමට  දිනකට කිරි / කිරි ආහාර  කෝප්ප 2-2.5 ක් අවශ්‍ය වෙනවා.  කැල්සියම්  ඔබේ දරුවාට ශක්තිමත් දත් සහ අස්ථි ලබා දෙනවා.  ඔබට කිරි කෝප්ප 1 ක් යෝගට් හෝ සෝයා කිරි කෝප්පයකින්, ස්වාභාවික චීස් අවුන්ස 1½ කින් හෝ සැකසූ චීස් අවුන්ස 2 කින් ආදේශ කරන්න  පුළුවන්.

මස් සහ බෝංචි වැඩෙන දරුවාට ප්‍රෝටීන් හොද  ප්‍රභවයක් වෙනවා.  මේ වයසේදී ඔහුට දිනකට දෙවරක් එය අවශ්‍ය වෙනවා.  එක් වාරයකට  තුනී මස්,  කුකුල් මස්, මාළු තේ හැදි 1-3 ක්, වියළි බෝංචි හා ඇට තේ හැදි 4-5  ක් හෝ බිත්තර 1  ක් වත් ලබා දිය යුතුය.

පළතුරු සහ එළවළු කාණ්ඩය

ඔබේ වැඩෙන දරුවා සඳහා විටමින් සහ ඛනිජ ලවණවල මූලික ප්‍රභවය වන්නේ පලතුරු සහ එළවළු ය. මෙම වයසේදී ඔහුට සෑම දිනකම එළවළු කෝප්ප 1.5 ක් සහ පලතුරු කෝප්ප 1 - 1.5 ක් අවශ්‍ය වෙනවා.

එළවළු කෝප්පයක්, පිසින ලද හෝ අමු එළවළු කෝප්ප 1 ක්, අමු කොළ (පලා) කෝප්ප 2 ක්, විශාල තක්කාලි  ගෙඩියක් හෝ මධ්‍යම කැරට් දෙකකට සමාන වේ.

පළතුරු කෝප්පයකට නැවුම්, ශීත කළ හෝ ටින් කළ පළතුරු කෝප්ප 1 ක්, වියළි පලතුරු 1/2 කෝප්පයක්, විශාල ඇපල් ගෙඩියකින් භාගයක්,   කෙසෙල් ගෙඩියක්  (අඟල් 8- හෝ 9) හෝ එක් මධ්‍යම (අඟල් 4 ක විෂ්කම්භයක්) මිදි ගෙඩියකට සමාන වෙනවා.

දෙමාපියන්ට  ඉඟි:

  • ඔබේ දරුවා ඔහුගේ පිගාන අවසන් කරයි කියා බලාපොරොත්තු වෙන්න එපා. ඔබේ දරුවාට ඔහුට අවශ්‍ය කෑම  ප්‍රමාණය තෝරා ගන්න ඉඩ දෙන්න.  මේ වයසේදී, ඔහුගේ බඩ පිරුනු විට ඔහු දන්නවා.
  • ඔබේ දරුවාට කෑම සදහා විවිධ තේරීම් ඉදිරිපත් කරන්න. විවිධ පෙනුම, පාට, රසය ලබා දෙන්න.  ඔබේ දරුවාට  විනෝද ජනක හා රසවත් ආහාර ලබාදෙන්න.
  • සැකසූ ආහාර සහ සීනි බීම සීමා කරන්න.
  • සෞඛ්‍ය සම්පන්න පාන ලෙස ජලය සහ කිරි පෙන්වා දෙන්න පුළුවන්.
  • සම්පූර්ණ මිදි , ඇට වර්ග සහ පොප්කෝන් හිරවිය හැකි ආහාර ,     මාෂ්මෙලෝස් වැනි  ඇලෙන සුළු ආහාර    වැනි හුස්ම හිරවීමට හේතු විය හැකි ආහාර ලබා දීමේදී සැලකිලිමත් වන්න.
  • ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීම කියා දෙන්න ඔබ  හොඳ උදාහරණයක් වන්න.
  • සැමදාම ප්‍රධාන ආහාර වේල් හා කෙටි ආහාර වේල් වේලාවට සැපයීමටත් ඒවා ආහාරයට ගන්න දරුවාට ප්‍රමාණවත් වේලාවක් ලබා දීමටත් කටයුතු කරන්න.
  • විශේෂයෙන් ආහාර වේලාවට රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න.
  • කෑම කටේ පුරෝගෙන   කතා නොකිරීම, නැප්කින් එකක්  භාවිතා කිරීම සහ  පුද්ගලයෙකුගේ පිගාන  උඩින් අත දිගු නොකිරීම  වැනි ආහාර ගැනීමේ හොද පුරුදු ඔහුට කියාදෙන්න.

එන්නත් සහ පොදු රෝග:

මේ වන  විට ඔබේ දරුවාට ලබාගෙන තිබිය යුතු එන්නත්

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් හතරක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා තුනක් (IPV)
  • හේමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ බී (Hib) එන්නත් මාත්‍රාව තුනක් හෝ හතරක්
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රාවක්
  • හෙපටයිටිස් බී එන්නත (HBV) මාත්‍රා තුනක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රාවක්
  • රොටා වෛරස් එන්නත මාත්‍රා දෙකක් හෝ තුනක් (RV)
  • නියුමොකොකල් සංයුක්ත එන්නත (PCV, PPSV) මාත්‍රා හතරක්
  • හෙපටයිටිස් ඒ එන්නත (HAV) මාත්‍රා එකක් හෝ දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

පොදු උණ, පැපොල,  සරම්ප, කම්බුල්ගාය සහ ආහාර අසාත්මිකතාවන් අවධානය යොමු කළ යුතු පොදු රෝග වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ වයස අනුව බර අඩු නම් හෝ කුඩා නම්  මෙය ඔහු ඉක්මවා යන සාමාන්‍ය අවධියක්ද, නැතහොත් එය ගැඹුරු ප්‍රශ්නයක් සලකුණක්ද යන්න දැන ගැනීමට ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

අවුරුදු 4 ක් හා මාස 01 ක් වු   ඔබේ කුඩා දරුවාගේ සන්ධිස්ථාන නිරීක්ෂණය කිරීමට මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි.

සියලු දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය හා සංවර්ධනය වෙනවා.  ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 02

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

 

Written by

Niloufer Perera