අවුරුදු 2 ළමා වර්ධනය (24 වන මාසය) ළමා සංවර්ධනය

lead image

හේතුවක් නැතිව "ත්‍රාසජනක දෙවැනි විය” (Terrible Twos) ලෙස නම් කරන්නේ නැහැ. ඔබගේ පුංචි දගකාරයාගේ හැසිරීම පිටුපස ඇති හේතුව සහ එය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බලමු.

අවුරුදු 2 දරුවාගේ වර්ධනය: කෑගැසීම, උද්වේගකාරී හැසිරීම නිසා මෙම අවදිය “ ත්‍රාසජනක දෙවැනි විය” (Terrible Twos) ලෙස හැඳින්වීමට වෙන බව ඔබට වැටහෙනවා නේද?

නමුත් කණගාටු වන්නට අවශ්‍ය නැහැ. ඔබේ මාස 24 ක් වයසැති දරුවා තුළ අතිශය කලකිරීම් සහ කෝපය හැරුණු විට, මේ මාසය තුළදී ඔහුගේ කතාබහ, ඉගෙනීමට ඇති උනන්දුව සහ ස්වාධීනත්වය වර්ධනය වෙනවා.

වයස අවුරුදු 2 දරුවාගේ වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 2 දරුවාගේ වර්ධනය – ශාරීරික සංවර්ධනය

ඔබේ මාස 24 ක් වයසැති කුඩා දරුවා ඉතා ක්‍රියාශීලී වන අතර උදේ සිට රාත්‍රිය දක්වා ඔබට ඔහු පසුපස දුව පනින්න වේවි.

ඔබේ හදවත හිරි වට්ටමින් ඔහු ඇගිලි තුඩු මත හිටගනිමින් ඉහල මතුපිටට වලින් දේවල් බිමට අදිවි.

නැතිනම් ඔබේ සුදු පාට බිත්ති කුරුටු ගෑම ඔබ බලා ඉන්න වේවි. මේ ප්‍රීතිවීමට මොහොතකි. මේ සියල්ල ඔහු සාමාන්‍යයෙන් වර්ධනයේ සලකුණු වෙනවා.

සාමාන්‍යයෙන්, අවුරුදු දෙකක දරුවෙකුට දණහිස් වලින් නැවෙන්න, බංකුවක් මත නැගී සිටින්න, ගෘහ භාණ්ඩ උඩට නගින්න, බහින්න, පඩිපෙළක ඉහළ පහළ ඇවිදීන්න, තනි කකුලෙන් පනින්න, දුවන්න පුළුවන්.

තවද බෝලයකට පයින් ගසන්න, බෝලයක් උරහිස්සට ඉහලින් විසි කරන්න පුළුවන්. ඔවුන්ට උඩ පනින්න පවා පුළුවන්.

බ්ලොක්ස් පිළිවෙලට තැබීමට, බහාලුමක් හිස් කිරීම, මෙන්ම රේඛා හෝ රවුම් ඇඳීමටද ඔවුන්ට පුළුවන් . ඔහු පෙන්වන මේ සියලු ජයග්‍රහණ වලින් ඔහුගේ වැඩි දියුණු වු ළමා කාලයේ වර්ධනය වන චලන කුසලතා (Gross motor skills) සහ කුඩා මාංශපේෂින් සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills )පෙන්නුම් කරන බවට ඔබට සහතික වෙන්න පුළුවන්.

ඉඟි:

  • පවුලේ අය සමග ඇවිදින්න යන්න.
  • ඔබේ දරුවාට උද්‍යානයේ දුවන්න ඉඩ දෙන්න.
  • ඔබේ දරුවා කුඩා ළමුන් සඳහා ක්‍රීඩා පිටියකට ගෙන යන්න.
  • කුඩා මාංශපේෂින් සම්බන්ධීකරණ චලන කුසලතා(Fine motor skills) වැඩි දියුණු කිරීම සඳහා සෙල්ලම් බඩු වර්ග කර ඇසුරුම් කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.
  • ඔහුගේ කුඩා මාංශපේෂින් සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) සංවර්ධනය සඳහා කඩදාසි සහ පාටකූරු වැනි චිත්‍ර ඇඳීමේ ද්‍රව්‍ය ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවාගේ

  • දැනට ප්‍රගුණ කර ඇති කුසලතා නැති වී යනවා නම්
  • ස්ථාවර ලෙස ඇවිදින්නේ නැතිනම්.
  • හැදි ගැරූප්පු හෝ පැන්සල් වැනි පොදු නිවසේ භාණ්ඩ හසුරුවන ආකාරය නොදන්නවා නම්.
  • දුවන්නේ නැත්නම් හෝ සෑම විටම කකුලේ ඇගිලි තුඩු වලින් ඇවිදිනවා නම්.
  • ඔබේ ක්‍රියාවන් අනුකරණය නොකරයි නම්
  • ශරීරයේ එක් පැත්තක දුර්වලතාවයක් පෙන්වයි නම්

වයස අවුරුදු 2 දරුවාගේ වර්ධනය – මානසික සංවර්ධනය

ඔබේ මාස 24 ක් වු දරුවාගේ මොළය වැඩිහිටියෙකුගේ මොළයේ පරිමාවෙන් 75% කට ආසන්න වෙනවා. ඒ වගේම එය එහි සම්පූර්ණ ප්‍රමාණය දක්වා වර්ධනය වීම වයස අවුරුදු 18 දක්වා සිදුවෙනවා.

නිරීක්ෂණ කුසලතා මනාව සකස් කර ඇති බැවින් එය වර්ධනය වෙන මොළය ඔබේ කුඩා දරුවාගේ මතකය වැඩි දියුණු කරනවා.

එනම් වස්තූන් වර්ගීකරණය කරන්නේ කෙසේද යන්න ඔබේ දරුවාට මතකයි.

(උදාහරණ ලෙස කමිස සහ කොට කලිසම් ඇඳුම් ලෙසත්, කුරුල්ලා හා මාළුවා සතුන් ලෙසත්, බෝනික්කන් සහ බ්ලොක්ස් සෙල්ලම් බඩු ලෙසත් ඔහුට වර්ග කරන්න පුළුවන් ).

ඔහුට බිම් සලකුණු සහ සාප්පු ලාංඡන හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන් ඔහුට නිතර ගමන් කරන මාර්ගවල දක්නට ලැබෙන ඒවා හදුනාගන්න පුළුවන්.

නිවසේ ඇති ගෘහ භාණ්ඩ ස්ථාන මාරු කර ඇත්නම් හෝ අලුතින් එකතු කර ඇත්නම් ඔහු එය දැනගන්නවා.

ඔබේ දරුවා තවමත් ඔහුගේ සංවේදීතාවන් භාවිතා කරමින් වස්තූන් ගවේෂණය කරනවා.

නමුත් ඔහුට දැනටමත් බ්ලැන්කට්ටුව “මෘදු” සහ තාත්තාගේ පිදුරු වගේ රැවුල “රළු” සහ “සිරෙන සුළුයි ” වැනි සංකීර්ණ නිරීක්ෂණ කරන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම, තොරතුරු රඳවා ගැනීමේ වඩාත් සංකිර්ණ හැකියාවත් සමග ඔබේ දරුවාට “ඉහළ” සහ “පහළ”, “දැන්” සහ “පසුව” සහ “අඩු” සහ “ගොඩාක්” අතර වෙනස හඳුනාන්න පුළුවන්. 

ඔබ සති කිහිපයකට පෙර කළ ක්‍රියාකාරකම් ඔහු ඔබට මතක් කර දෙන විට ඔබ පුදුමයට පත් වේවි.

මෙය ඔහුගේ ආච්චිලාගේ ගෙදර යෑම වැනි විශාල එකක් හෝ ඔබ එක්ව කළ දිය සායම් චිත්‍ර පාට කල අවස්ථාවක් වැනි කුඩා එකක් වෙන්න පුළුවන්.

අවාසනාවකට මෙන්, ඒ අතරම, මේ මතකය රඳවා ගැනීම නිසා ඔහුට වෛද්‍යවරයකු හමුවීමට ඇති බිය (රිදෙන ඉන්ජෙක්ෂන් දුන්) හෝ සැලුන් එකට යෑමට ඇති බය (ඔහු අකමැති ආකාරයට කොණ්ඩේ කපන)වැනි පීඩාකාරී අවස්ථා ඇතිවෙන්න පුළුවන්.

මෙම වයසේදී, ඔබේ කුඩා දරුවා මවාපෑමේ නාට්‍ය මෙන්ම සෙල්ලම් බඩු, සුරතල් සතුන් සමඟ මවාගත් සංවාදයන් කරගෙන යෑම දකින්න පුළුවන් වේවි.

  • ඔබ නම් කරන ලද දෙයක් පෙන්නවීම , පියවර දෙකක විධානයන් අනුගමනය කිරීම (උදා: “ඔබේ සෙල්ලම් බඩු අහුල ගෙන සෙල්ලම් බඩු පෙට්ටියට දමන්න.”), හැඩතල සහ වර්ණ වර්ග කිරීම සහ බ්ලොක්ස් හතරක් (හෝ වැඩි) භාවිතා කරමින් කුළුණු තැනීම මාස 24 ක දරුවෙකුට කළ හැකි සාමාන්‍ය කුසලතා වෙනවා.

ඉඟි:

  • එක්ව ගායනා කරන්න.
    හෝඩිය සහ ගණන් කිරීම පුහුණු කරන්න.
  • වස්තූන් පෙන්වා ඒවා එක්ව හඳුනා ගන්න.
  • ප්‍රශ්න අසන්න.
  • ඔබ ගන්නා සෑම පියවරක්ම පැහැදිලි කරන්න. (“ඔන්න අම්මා දැන් ඔයාගේ සපත්තු ලේස් එක ගැට ගහනවා.”)
  • තේරීම් ඉදිරිපත් කර ඔබේ දරුවාට තීරණය කිරීමට ඉඩ දෙන්න. (“ඔයාට ඕනී රතු බෝලෙද නිල් බෝලෙද ?”)
  • නිර්මාණශීලිත්වය සහ ගැටළු විසඳීම දිරිගැන්වීම සඳහා විවිධ ක්‍රීඩා ඔහුට ලබා දෙන්න .
  • ඔබේ දරුවාගේ ජීවිතයේ සිටින පුද්ගලයන් ගැන ඔවුන් ලග නැති විට පවා කතා කරන්න. (“අම්මා ඔෆිස් ගිහින්,”
    “තාත්තා සුපර් මාකර්ට් ගිහින්”, “ආච්චි ඉන්නේ වෙන ගෙදරක.”)
  • වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවා නම්:

  • සරල විධානයන් අනුගමනය කළ නොහැකි නම්
  • බ්ලොක්ස් හතරක් හෝ ඊට අඩු කුළුණක් සෑදීම ඔහුට ගැටලුවක් නම්,
  • “බළලා”, “බල්ලා”, “කුරුල්ලා” වැනි පොදු දේවල් නම් කළ නොහැකි නම්

වයස අවුරුදු 2 දරුවාගේ වර්ධනය – සමාජීය හා හැගීම් සංවර්ධනය

අන් අය සමඟ සම්බන්ධකම් පවත්වන්නේ කෙසේද සහ සිය හැඟීම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉගෙනීමේ ඕනෑ තරම් අවස්ථාව සෙල්ලම් කිරීමට යොදවන කාලය මගින් මාස 24 ක් වු ඔබේ දරුවාට ලබාදෙයි. 

ඔබේ දරුවා තවමත් ඔහුගේ සෙල්ලම් බඩු අයිති කරගෙන ඉන්නවා. මිතුරෙකුට සෙල්ලම් බඩුවක් භාවිතයට දුන්නත් ඔහුට එය ඉක්මනින් අවශ්‍ය වෙනවා. සෙල්ලම් බඩුව ආපසු ලබා නොදුනහොත් ඔහු අප්‍රසාදයට පත්වෙනවා.

නමුත් දරුවන්ට ඔවුන්ගේ පුංචි පුංචි රණ්ඩු කතා බහ කර නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න. නැතිනම් ඒ අරගල, ආක්‍රමණයේ පළමු සලකුණු වලට පිවිසෙන්න පුළුවන්. (උදාහරණ ලෙස පයින් ගැසීම, සපා කෑම, පහර දීම).

ඔබේ අවුරුදු දෙකේ දරුවා අන් අය සමඟ එක්ව මදක් සෙල්ලම් කළ හැකි නමුත් සාමාන්‍යයෙන් ඔහු වෙන්ව පසෙකින් සෙල්ලම් කරනු ඔබට දකින්න පුළුවන්.

අවුරුදු 2 දරුවාගේ වර්ධනය

ඔහු අන් අය සෙල්ලම් කරන අයුරු නැරඹීමෙන් සතුටක් ලබන අතර ඔවුන් ක්‍රීඩා කරන ආකාරය ඔහුට නිවැරදිව අනුකරණය කරන්න පුළුවන්.

ඔබේ දරුවාට පසෙක සිට සෙල්ලම් කල හැකි වැඩිමල් සහෝදර සහෝදරියන් සිටි නම් නිවසේදී මෙම අනුකරණය ඔබට දකින්න පුළුවන්.

දරුවාට තවමත් කෙටි අවධානයක් තියෙන නිසා ඔහු ක්‍රීඩා ස්ථාන හෝ ක්‍රියාකාරකම් මාරු කරනවා.

ඔබේ පුංචි පැටියාට ඔබ ඔහුගේ සෙල්ලම් සහකරු කරගන්න අවශ්‍යයි. මේ නිසා සෙල්ලම් බඩු අස් කිරීම සහ පිරිසිදු කිරීම වැනි මූලික ජීවන කුසලතා ආදර්ශනය කිරීමට ඔබට අවස්ථාවක් ලැබෙනවා.

කලකිරීම නොපෙන්වා ඔබේ දරුවා ගන්නා නොපසුබට උත්සාහය සහ ඔබ ඔවුන්ට අවශ්‍ය දේ දෙන තුරු නැවත නැවතත් හඩා වැටෙමින් එය ලබා ගන්නා ඵලදායී ආකාරය ගැන ඔබ පුදුමයට පත් වේවි.

මේ සම්බන්ධයෙන් පසුතැවිලි වෙන්න එපා. එම හැසීරීම උග්‍ර නොවීමට කටයුතු කරන්න.

ඔබ එයට ප්‍රතිචාර දැක්වීමට පෙර සැලසුම් කරන්න. එවිට ඔබට ඔබේ දරුවාගේ ඉල්ලීම් සහ අපේක්ෂාවන් මෙන්ම අඩුවෙමින් පවතින ඉවසීම වඩා හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්.

නමුත් ඔබේ දරුවාට අවශ්‍ය දේවල් සිදුනොවන විට ඔහු උද්වේගකාරී වෙන බව ඔබ දන්නවා. අසතුට ඇතුළු ඔබේ දරුවාගේ හැඟීම් ප්‍රකාශ කිරීම සෞඛ්‍ය සම්පන්න යි. කෙසේවෙතත්, කලබල වූ දරුවෙක් සැනසීමට ඉක්මන් වන්න එපා.

ඔබේ දරුවාට ඒ හැඟීම් අත්විඳීමට ඉඩ දී මේ ආකාරයෙන් දැනීම සාමාන්‍ය දෙයක් බව පැහැදිලි කරන්න.

උද්වේගකාරීව හැසිරෙන දරුවෙකුට කෝපය පෙන් වු විට උද්වේගකාරීව හැසීරීමෙන් අම්මගේ හෝ තාත්තාගේ අවධානයට ලැබේ යන්නත්, නොසතුටට පත්වීම නරක දෙයක් යන්නත් ඔහුගේ මනසට දැනෙනවා.

ඒ නිසා ඔබේ දරුවාට හැඟීම් ගොඩාක් අත්විඳීන්න ඉඩ දී ඒවා තනිව ගලපා ගන්න ඉඩ දෙන්න.

හැගීම් මර්දනය කිරීම සඳහා පිළිගත හැකි ක්‍රම ඔහුට කියා දෙන්න. විශේෂයෙන් නිෂේධන ක්‍රම සුදුසුයි.

නිදසුනක් ලෙස තරහා දැනෙන විට කෑගැසීම හෝ අන් අයට පහර දීම සුදුසු නැහැ. නමුත් කකුල් පොලොවේ ගැසීම හා කොට්ටයකට පහර දීම පිළිගන්න පුළුවන්.

මෙම අවස්ථාවෙහිදී ඔවුන් ප්‍රතිගාමී වීම පොදු සංසිද්ධියක් වන අතර ඔබට එයට නිතර මුහුණ දෙන්න වේවි.

දවසක ඔබේ දරුවා ඇයගේ අත අල්ලාගෙන යන විට ඇය දැනටමත් “ලොකු ළමයෙක්” නිසා එයට අකමැති වෙන්න පුළුවන්.

ඊළඟ දවසේ ඇය ඔබේ ඇගේ වෙලී පුංචි බබෙක් වගේ වඩාගන්න කියාවි.

ප්‍රතිගාමී වීම සිදුවිය හැකි විවිධ හේතු

  • කුඩා දරුවෙකුගේ මතකය වැඩිදියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස, ඇය කුඩා කාලයේ ප්‍රීතිමත් අවස්ථාවන් සිහිකර නැවත ඒවා අත්විඳීමට කැමත්තක් ඇතිවීමයි.
  • ඔබේ කුඩා දරුවා “ලොකු ළමයෙක්” වීමට සහ ස්වාධීන වීමට ඇය දරන උත්සාහය පීඩාකාරි බව ඔබට දන්වන්නන සැලැස්වීම හා ඇය විවේකයකට කැමති වීම හෝ
  • ඔබේ දරුවාට ඔබේ අවධානය සහ සැලකිල්ල අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ඇය දිනපතා වෙනස්වීම් වලට මුහුණ දෙන විට (උදාහරණය ලෙස පවුලට අලුතින් එකතු වු බිලිඳුන් , ගෙවල් මාරු කිරීම) හෝ අසීරූ තත්වයකට මූණ දීම

(උදා: දෙමාපියන් සටන් කිරීම, ආගන්තුකයන් හමුවීම) වැනි අවස්ථා වලදී ඔහුට ඔබේ අවධානය සහ සැලකිල්ල
අවශ්‍ය වෙනවා.

හැසිරීම

ඔබේ දරුවා ප්‍රතිගාමී හැසිරීමක් පෙන්වන්නේ නම් ඇයට ඒ ගැන පැහැදිලි කරන්න යන්න එපා. ඒ වෙනුවට සුදුසු හැසිරීමක් ධනාත්මකව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න.

ඔබේ දරුවා කිරි බෝතලය වෙනුවට කෝප්පයක් භාවිතා කරන විට හෝ ඇය ඇදුම් වල මළපහ නොකර ඒ සදහා පොටිය භාවිතා කරන විට ඔහුට ප්‍රශංසා කරන්න.

මෙම වයසේදී, ඔබේ දරුවා ද ස්ත්‍රී පුරුෂ භේදය සදහා වඩාත් හුරුපුරුදු වෙමින් සිටිනවා. ඔබේ දියණිය අම්මාගේ හැසිරීමත් ඔබේ පුතා තාත්තාගේ හැසිරීමත් අනුකරණය කරනවා.

ඔබේ පුංචි පිටපත් කරන්නා ඔබ මේක් අප් භාවිතා කරන ආකාරය හෝ තාත්තා ටයි පටියක් පැළඳ සිටින ආකාරය වැනි ඔබේ දෛනික චර්යාවන් අනුකරණය කරනවා.

සෙල්ලම් කිරීම

කෙසේ වෙතත්, ගැහැණු ළමයින්ට බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමත් පිරිමි ළමයින් බෝල සමඟ සෙල්ලම් කිරීමත් යන ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුගමනය කිරීම සදහා ඔබේ දරුවා දිරිමත් කිරීම අවශ්‍ය නොවේ.

දරුවන්ට විවිධත්වයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා ඔබ ඇයට සෙල්ලම් බඩු සහ ක්‍රියාකාරකම් සඳහා විකල්ප රාශියක් ලබා දෙන්න. ඉන් ඇයට කැමති දේ තෝරා ගැනීමට ඉඩ දෙන්න.

මේ වන විට ඔබේ පුංචි දරුවා අන් අයගෙන් වෙන්ව සිටින පුද්ගලයෙකු ලෙස තමන් හදුනා ගන්නවා.

ඒ වගේම වෙන්වීමේ කනස්සල්ල අඩු වෙනවා. කෙසේ වෙතත් විශාල ශබ්ද සහ ඇතැම් මිනිසුන්, සතුන් ඔවුන්ව බිය ගන්නනවා. ඉඟි:

  • සෙල්ලම් කිරීමට දින වෙන් කරන්න.
  • ඔබේ දරුවාට සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් සමඟ අන්තර්ක්‍රියා කරන්න ඉඩ දෙන්න.
  • දරුවාට හැඟීම් හඳුනා ගැනීමට උපකාර කිරීම සදහා ඔබ ඒවා හදුනාගන්න.
  • ඔබේ දරුවාට මවාපෑමේ සෙල්ලම් කිරීම දිරිගන්වන ළදරු බෝනික්කෙකු, මුළුතැන්ගෙයි කට්ටලයක් හෝ
    බලකොටුවක් නිර්මාණය කිරීම සදහා ඇගේ බ්ලැන්කට්ටුව වැනි සෙල්ලම් බඩු සහ මෙවලම් ලබා දෙන්න.
  • ඇයගේ ඇදුම් රෙදි සෝදන කූඩයට දැමීම වැනි සරල වැඩකටයුතු සඳහා ඔබේ දරුවාට ඔබට උදව් කරන්න ඉඩ දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවා,

  • බොහෝ විට අන් අයව සපා කනවා, රිදවනවා නම්
  • අවධානය ලබා ගැනීම සඳහා ඔහුටම රිදවා ගනී නම් උදාහරණ ඔහුගේ හිස බිත්තියේ ගසා ගැනීම.
  • ඔහුගේ වයස අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කරයි නම්.
  • අන් අය සමඟ අක්ෂි සම්බන්ධතාවය නොපැවැත්වීම, හෝ කිසිම ආකාරයකින් අන්තර්ක්‍රියාවක් නොකරයි නම්.
  • ප්‍රතිචාර නොදක්වයි නම් හෝ සුදුසු හැඟීම් ප්‍රකාශ නොකරයි නම්.
  • මවාපෑමේ සෙල්ලම් වල නොයෙදේ නම්.
  • ඔවුන්ගේ නමට නිතර ප්‍රතිචාර නොදක්වයි නම්.
  • අවධානය පටුයි සහ වස්තූන් පෙලගැසීම වැනි දේවල් සහ ක්‍රියාකාරකම් කරනවා නම්

වයස අවුරුදු 2 දරුවාගේ වර්ධනය  – කථනය හා භාෂාව සංවර්ධනය

මේ මාසයේ දරුවා ගොඩාක් කතා කරනවා. “මට කිරි ඕනී” සහ “මට බෝනික්කා දෙන්න” වගේ වචන දෙක තුනක අමුණා වාක්‍ය හදන්න ඔහුට පුළුවන්. එලෙසම ඔහුට සරල උපදෙස් අනුගමනය කරන්න පුළුවන්.

ඔබේ දරුවාට වචන 50 ත් 75 ත් අතර වචන මාලාවක් තියෙනවා. ඒ වගේම ආගන්තුකයින් ඒවා බොහො විට තේරුම් ගන්න බැහැ.

ඔහු නිතර දකින පුද්ගලයින් සහ වස්තූන් මෙන්ම තමාගේ සහ අනෙක් අයගේ හෝ බෝනික්කාගේ ශරීර කොටස් හයක් අවම වශයෙන් නම් කරන්න පුළුවන්.

ඔබේ දරුවාට ඔහු ආහාරයට ගන්නා සුපුරුදු ආහාර නම් කළ හැකි අතර කුකීස්, ඇපල් සහ කිරි වැනි විශේෂිත ආහාර ඉල්ලන්න පුළුවන්.

ඔබේ දරුවා “අඩු ” සහ “තව” යන සංකල්පය වටහාගෙන තියෙනවා. ඒ නිසා ඔහු තම පිඟානේ අඩු ආහාර ප්‍රමාණයක් ඇති බව හෝ නැතිනම් ආහාර අවසන් බව දුටු විට ඔහුට “තවත් ටිකක්” ලෙස කියන්න පුළුවන්. 

ඔහු වර්ණ නම් කරන්න දන්නා අතර එකේ සිට පහට හෝ දහයට ගණන් කරන්න ඔහුට පුළුවන්. ඔබ ඔහුට කියවන නිසා ඔබේ කුඩා දරුවාද ඔහුගේ ප්‍රියතම පොත් වල පින්තූර නම් කරනවා.

ඔහුගේ වර්ධනය වන වචන් මාලාව එක්ක ඔබේ පුංචි පැටියා තරමක් සංවාදශීලී වන බව ඔබට පෙනේවි.

දේවල් ඒ ඒ විදියට ක්‍රියාත්මක වන්නේ ඇයිද කියා ඔහු ඔබෙන් ප්‍රශ්න කරාවි. නමුත් දිගු විස්තරාත්මක පිලිතුරු ලබා දෙන්න එපා. ඇයට පිළිතුර තේරුම් ගැනීමට එය කෙටියෙන් සහ එයට අදාලවම පමණක් ලබා දෙන්න.

සෙල්ලම් කරන විට ඔබේ දරුවා සෙල්ලම් බඩු සහ සුරතල් සතුන් සමඟ කරන මවාගත් සංවාදවල යෙදෙනවා ඔබට ඇහේවි. මෙම සංවාද ඔබ හා ඔබේ කටකාර පුංචි පැටියා සමග වු සංවාදවලට සමාන බව දැනගැනීමෙන් ඔබට විනෝදයක් ලැබේවි.

ඔබේ දරුවාට දැන් එක දිගටම ශබ්ද කරන්න සහ ගායනා කරන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් ඔහුගේ ප්‍රියතම පෙර පාසැල් ගීත රිද්මය හෝ ගීත වල වචන ඔහුට ගායනා කරන්න පුළුවන්.

කණ්ඩායම් ගායනා වලට සම්බන්ධ වීමට ඔහු කැමතියි. ඒ නිසා ඔබ ඔබේ දරුවාට ගායනා කරන විට අනිවාර්යයෙන්ම ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ සමඟ ගායනයට සම්බන්ධ කර ගන්න.

ඔබේ දරුවා තවමත් ආකෘතික වචන භාවිතා කරනවා නම්, එම භාවිතය කථනයට සහ භාෂා සංවර්ධනයට බලපාන බැවින් එය මේ කාලයේදී නැවැත්වීම සුදුසුයි.

ඉඟි:

  • ඔබේ දරුවාගේ ව්‍යාකරණ නිවැරදි කිරීමෙන් වළකින්න. නිවැරදි වචන භාවිතා කරමින් ඔහු පැවසූ දේ සරලව කියන්න.
  • • ඔබේ දරුවාගේ වචන මාලාව සහ වාක්‍ය පුළුල් කිරීමට ඔහුට සාමාන්‍යයෙන් නමුත් සංක්ෂිප්තව හා පැහැදිලිව කතා කරන්න. “හරි,” කියා පවසනවා වෙනුවට “හරි, අම්මා ඔයාට ඔයාගේ සපත්තු ලේස් ගසන්න උදව් කරන්නම් ” හෝ “හරි තාත්තා ඔයාට පොතක් කියවාවි.”
  • ඔබේ දරුවාට පින්තූර පොත් නිතරම කියවන්න. දර්ශන අතර විරාමයක් තබන්න. “ඔබට පුසා හොයන්න පුළුවන්ද?” හෝ “ඔබ පාට වලට කැමතිද?” වැනි පිටුවල ඇය දකින දේ පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබේ දරුවා පොළඹවන්න.
  • ඔබේ දරුවා සමඟ පෙර පාසැල් ගායනා කිරීම දිගටම කරන්න.ඔහු රිද්මය හා නාදය නැවත නැවත අහන්න කැමතියි.
  • ඔබේ දරුවා තවමත් ආකෘති භාවිතා කරන්නේ නම්, එය බෝනික්කෙකු හෝ ටෙඩි බෙයාර් කෙනෙක් සමග ප්‍රතිස්ථාපනය කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවා,

  • වචන දෙකක වාක්‍ය ඛණ්ඩයක් භාවිතා නොකරයි නම් (උදහරණය කෑම කන්න )
  • වචන අනුකරණය කිරීමට උත්සාහ නොකරයි නම්
  • තමන්ගේ හෝ අන් අයගේ “නාසය” හෝ “ඇස්” වැනි මූලික ශරීර කොටස් පෙන්විය නොහැකි නම්

වයස අවුරුදු 2 දරුවාගේ වර්ධනය  – සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවාගේ කද සහ අත් පා දිගු වීමට පටන් ගන්නා අතර සමානුපාතිකයන් වැඩිහිටියෙකුට සමාන බව පෙනේ.

අවුරුදු 2ක් (මාස 24ක්) වයසැති කුඩා දරුවෙකුගේ සාමාන්‍ය උස අඟල් 34 සිට 34.5 දක්වා වේ. සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 10.5 සිට 12.5 දක්වා වේ.

ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ නිර්දේශ අනුව ඔබේ දරුවාගේ මේද පරිභෝජනය දෛනික කැලරි ප්‍රමාණයෙන් සියයට 30 කටත් වඩා අඩු විය යුතුයි.

නමුත් ඔබේ දරුවාගේ මොළය හා ශරීරය නිසි ලෙස වර්ධනය වීමට මේදය අවශ්‍ය බැවින් එය මුළුමනින්ම කපා නොදමන්න. ඒ වගේම මේදය අඩංගු බොහෝ කිරි ආහාර වල කැල්සියම් හොදින් අඩංගු වෙනවා. මේද අඩු චීස්, යෝගට් සහ අයිස්ක්‍රීම් දරුවාට ලබාදෙන්න.

සමහර දරුවන් මීට පෙර ආහාර තෝරන්නන් නොවූවත් වයස අවුරුදු දෙකේදී ඔවුන් එසේ වීමට පටන් ගත හැකි බැවින් සැලකිලිමත් වන්න.

මාස 24 ක් වන විට ඔවුන් නව ආහාර ඇතුළු නව දේවල් අත්හදා බැලීමේදී සැලකිලිමත් වෙනවා.

අවුරුදු දෙකක දරුවෙක් තමා ගැනම ප්‍රකාශ කිරීමට උත්සාහ කරනවා. ඒ නිසා නව ආහාර සහ ක්‍රියාකාරකම් වලට එරෙහිව පසුබැසීම බලාපොරොත්තු වෙන්න.

කෙසේ වෙතත්, ඔබ ඔහුට තවමත් ධාන්‍ය වර්ග, මාළු හෝ බෝංචි, පලතුරු සහ එළවළු සපිරි සමබර ආහාර වේලක් ලබා දිය යුතුය.

ඔබේ මාස 24 ක් වයසැති දෛනික පෝෂණ අවශ්‍යතාවය –

  • ධාන්‍ය අවුන්ස තුනක් පමණ, සම්පූර්ණ ධාන්‍ය ප්‍රභවයන්ගෙන් අඩක්.

(අවුන්සයක් පාන් පෙත්තක්, සීරියල් කෝප්පයක් හෝ පිසින ලද බත් කෝප්ප භාගයක්, පිසින ලද පැස්ටා කෝප්ප භාගයක් හෝ සීරියල් කෝප්ප භාගයකට සමාන වේ.

  • එළවළු කෝප්පයක්
  • පලතුරු කෝප්පයක්
  • කිරි කෝප්ප දෙකක්
  • මස් / බෝංචි අවුන්ස දෙකක් (අවුන්සයක් මේ මස්, කුකුළු මස් හෝ මාළු සමාන ප්‍රමාණයක්, පිසූ වියළි බෝංචි කෝප්ප 1/4 හෝ එක් බිත්තරයකට සමාන වේ.)

ඔබ දරුවා තවම දන්ත වෛද්‍යවරයාව වෙත ගෙන ගොස් නැතිනම් මේ ඔවුන්ගේ දත් පරීක්ෂා කර බැලීමට කාලයයි.

ඔබේ දරුවා තවමත් බෝතලයෙන් පානය කරයි නම් කුඩා දරුවන්ට සුදුසු කෝප්පයකට මාරුවීම තරයේ නිර්දේශ කරනවා.

කිරි බෝතල්, මුඛය තුළ දිගු කාලයක් තිබු විට ( මුඛය තුළ බෝතලය තබා ගෙන නිදා ගැනීම වැනි).

කිරිවල ඇති සීනි ප්‍රමාණය කුඩා දරුවන්ගේ දත් දිරායාමට හේතු වෙනවා.

ඔබේ දරුවාට නපුරු සිහින හෝ රාත්‍රී බියවීම් ස්වරූපයෙන් නින්ද බාධා ඇතිවෙන්න පුළුවන්. එය මේ වයසේදී සාමාන්‍යය.

ඔහුගේ පරිකල්පනය නපුරු සිහිනවලට හේතු වෙන්න පුළුවන්.

ඒ ඔහුගේ තර්කානුකූලව තේරුම් ගැනීමේ හැකියාව මගින් තවමත් ඇති දේ සහ නැති දේ අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි නිසයි.

ඔබේ දරුවා මධ්‍යම රාත්‍රියේ අවදි වීමට තවත් හේතු තියෙනවා.

අඳුරට ඇති බිය, රෝගී තත්වයක් හෝ දත් එන්න සිදුවෙන පැලීම් නිසා ඇතිවෙන අපහසුව සහ මානසික ආතතිය පවා මෙයට හේතු වෙනවා.

මෙම මාසය තුළ ලබා දීමට එන්නත් නැහැ.

නමුත් ඔබේ දරුවාගේ එන්නත් හරියටම ලබා දී ඇති බව ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමඟ කතා කර තහවුරු කර ගන්න.

ඔබ දැනටමත් ඔබේ දරුවාට උණ රෝගය අදාල එන්නත් ලබා දී නොමැති ඒ ගැන ද ඔබට විමසිය හැකිය.

ඉඟි:

  • ඔබේ දරුවාගේ මේද ප්‍රමාණය අඩු කිරීම සඳහා මුලු ප්‍රමාණයේ සිට සියයට දෙක දක්වා මාරු වන්න.
  • ඔබට ලැබෙන සෑම අවස්ථාවකම ඔබේ දරුවාට විවිධ ආහාර ලබා දෙන්න.

ඔබ විවිධාකාර ආහාර අනුභව කර හා හොඳ ආහාර පුරුදු භාවිතා කර එය ඇයට දකින්න ඉඩ දෙන්න.

  • ඔබේ දරුවාට සුව නින්දක් ලබා දෙන්න (මෙම වයසේ දරුවෙකුට දිනකට පැය 14 ක නින්දක් අවශ්‍ය වේ).

නින්ද ශාරීරික හා වර්ධනය, හා ක්‍රිඩා වලින් පසු අවැසි විවේකය සඳහා අත්‍යවශ්‍ය කාලයක් ලබා දෙනවා.

  • නින්දේ ගැටලු විසඳීමට හොඳම ක්‍රමය සැනසිල්ල සහ සහතික කිරිමයි.
  • ඔබේ දරුවා සමඟ රැඳී සිටීම සහ ඇය සන්සුන් වී නින්දට වැටෙන තුරු මෘදු නාදයක් වාදනය කිරීම හෝ ගායනා කිරීම ඵලදායී වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවා,

  • ඔහුගේ වයසට වඩා උස-බර සාමාන්‍ය පරාසය දැඩි ලෙස අඩුවෙන් පවතී නම්,
  • සියලුම ආහාර ප්‍රතික්ෂේප කරයි නම්, තෝරා ආහාර ගන්නා අතර අවම වශයෙන් ආහාර එකක් හෝ දෙකකට කැමති නම්.
  • සෑම ආහාර වේලකටම පසු වමනය හෝ බඩ පිපීම වර්ධනය වේ නම්,
  • මල බද්ධය හෝ නිතර බඩ බුරුල් වී යයි නම් ,
  • කළු හෝ දුඹුරු පැහැ පැල්ලම් දත් මත පෙනෙන කුහර තුල ඇත්නම්,

ළමයින් තමන්ගේම වේගයෙන් වර්ධනය වන අතර, අවුරුදු දෙකක ළමයින් අනිවාර්යයෙන්ම ක්‍රියාකාරී වෙමින් සිටිනවා.

විවෘත ආකල්පයක් සහ දැඩි නිරීක්‍ෂණය මඟින් දරුවෙකුගේ ශාරීරික සංවර්ධනය, හැසිරීම, සන්නිවේදන කුසලතා සහ සෞඛ්‍යයෙහි යම් දියුණුවක් හෝ වෙනස්කමක් හඳුනා ගැනීමට සහ තේරුම් ගැනීමට දෙමාපියන්ට පුළුවන් වෙනවා.

මීලඟ ලිපියෙන් පෙර පාසැල් ළමා සංවර්ධනය 25 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner