අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

අපි ඔබේ අවුරුදු 4 මාස 2 ක දරුවාගේ සංවර්ධනය සහ සන්ධිස්ථාන ගවේෂණය මොනවාද බලමු.

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය: දැන් ඔබේ දරුවාට වයස අවුරුදු 4 මාස 2 යි.  එහෙම නේද?  ඔහුගේ ලෝකය  නිවස් සීමාවෙන් ඔබ්බට පුළුල් වෙන බව ඔබ දුටුවාද?

ඔහු අලුත්  මිතුරන් ඇති කර ගැනීමටත්, අලුත් දේවල් ඉගෙන ගැනීමටත් ආසා කරනවා.  දිනෙන් දින කුතුහලයට පත්වෙන ඔහු විශේෂයෙන් මිනිසුන්, සබඳතා, ජාතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය අතර වෙනස්කම් ගැන කුතුහලයක් ඇතිවේවි.  ඔහු ඔබෙන් ප්‍රශ්න හුගාක් අසාවි.

ඔබේ අවුරුදු 4 මාස 2 ක දරුවාගේ සංවර්ධනය සහ සන්ධිස්ථාන මොනවාද කියා  බලමු.  එවිට ඔබට ඒවා පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්.  මේවා මාර්ගෝපදේශ පමණක් බවත්  සෑම දරුවෙකුම වෙනස් වන අතර ඔහු තමාගේම වේගයෙන් හා තමාගේ වේලාවට  සංවර්ධනය  වෙන බව  මතක තබා ගන්න.

දරුවාගේ සංවර්ධනය ගැන ඔබට ගැටලුවක් ඇත්නම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

වයස අවුරුදු 4 යි මාස 2 ක් වන විට ඔබේ දරුවාට  චලනය වඩාත් පහසුවෙන් පාලනය කරන්න පුළුවන් . ඒ වගේම  ඔහුගේ ශාරීරික හැකියාව පිළිබඳව  වැඩි විශ්වාසයක් තියෙනවා.

පැනීම (skip),  පසුපසට පැනීම හෝ දුවන අතර  පැනීම වැනි තවත් කුසලතා ගවේෂණය කිරීමට ඔහුට අවශ්‍ය වේවි.  ඒ වගේම  තනිවම දේවල් කිරීමටද ඔහුට අවශ්‍ය වේවි.  ඔහුගේ දෑත් හා දෑස් සම්බන්ධීකරණය වැඩි වෙනවා.

නමුත් සමහර විට ඔහුට ඕනෑවට වඩා නිර්භීත හෝ පමණට වඩා බිය වෙන්න  පුළුවන්.   ඒ නිසා ක්‍රියාකාරීව සෙල්ලම් කරන විට  තවමත් ඔහුව අධීක්ෂණය කළ යුතුය.

මේ වන විට ඔබේ දරුවාට තිබිය යුතු කුසලතා කිහිපයක් බලමු.

  • එක පඩියකට එක කකුලක් තබමින් පහසුවෙන් පඩිපෙලේ ඉහළ හා පහළ යන්න පුළුවන්.
  • තරමක් වේගයෙන් දුවනවා
  • බෝලයක් වීසීකරන්න, අල්ලන්න, පොළවේ වද්දමින් අල්ලන්න හා පයින් ගසන්න  පුළුවන්.
  • ඉනිමග දිගේ හෝ ගස් උඩ නගිනවා.
  • කකුලේ ඇගිලි තුඩු වලින් හිටගන්නවා.
  • පුංචි දේවල් උඩ සිට පනින්න පුළුවන්
  • පිනුම් ගහන්න පුළුවන්.
  • තනි කකුලෙන් තත්පර ගානක් ඉන්නත් පනින්නත් පුළුවන්.
  • ඔහුගේ ඇදුම් ඇදීම හා වැසිකිළි අවශ්‍යතා කළමනාකරණය කරගන්න පුළුවන් .
  • පැන්සල, පාට කූර හොදින් අල්ලන්න පුළුවන් .
  • චතුරස්‍රයක්, කුරුසියක් සහ ත්‍රිකෝණයක් පිටපත් කරන්න පුළුවන් . • බ්ලොක්ස් දහයක කුළුණක් හදන්න වගේම  පබළු අමුණා මාලයක් අමුණන්නත් පුළුවන්.

දෙමාපියන්ට  ඉඟි:

  • අලුතෙන් ලැබු පැනීමේ සහ උඩ නැගීමේ කුසලතා ගවේෂණය කල හැකි ස්ථාන වෙත ඔබේ දරුවා රැගෙන යන්න. සෑම විටම ඔබේ දරුවා ගැන සුපරීක්ෂාකාරී වෙන්න. විශේෂයෙන් ඔහු පිටත සෙල්ලම් කරන විට හෝ ජලය  ඇති ඕනෑම තැනක් සිටින විටදී විමසිලිමත් වෙන්න.  
  • ඔබේ දරුවාව වෙනත් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට යොමු කරන්න. ඒ මගින් බෙදාගැනීමේ හා මිත්‍රත්වයේ අගනා පාඩම ඔහුට කියා දෙන්න.
  • ඔබේ දරුවා තවමත් උද්වේගකාරී ලෙස හෝ අනවශ්‍ය ලෙස හැසිරෙන්න පුළුවන්.   එබැවින් ඔබේ දරුවා හික්මවීමේදී පැහැදිලි හා ස්ථාවර වන්න.  ඔබ ඔහුට එපා යැයි පැවසූ සෑම විටම ඔහු ඒ වෙනුවට කරන දේවල්  ගැන සොයා බලන්න.
  • ඔහුට දැන් ඔහුගේ ට්‍රයිසිකල් එකක් පදින්න පුළුවන් නිසා, මාර්ග ආරක්ෂාව සහ මාර්ග නීති පිළිබඳව දැනුවත් කරන්න  පුළුවන්. වාහන නැවැත්වීමේ ස්ථානවල අත් අල්ල ගෙන සිටීම, උදුනෙන්  ඈත්ව සිටීම වැනි ආරක්ෂිත නීති ඔබේ දරුවාට මතක් කරන්න.  
  • ඇඳීම, පින්තාරු කිරීම, ළමා කතුරකින් කැපීම සහ පබළු ඇමිණීම ඔහුගේ කුඩා මාංශ පේශි ශක්තිමත් කරන ක්‍රියාකාරකම් වෙනවා. මේ මගින් ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills) වර්ධනය කරන්න පුළුවන්.
  • නිවසේදී, පාසැලේදී හෝ ළමා සුරැකුම් හල් වලදී ඔබේ දරුවාට දිනකට පැයකට තිර කාලය සීමා කරන්න. වැදගත් වැඩසටහන් පමණක් බලන්න දෙන්න.
  • ඔබේ දරුවාට සෑම දිනකම පැය 10-13 අතර (දහවල් නින්දද ඇතුළුව) නින්දක් ලබා දෙන්න. එය නිර්දේශ කාලය වේ.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා ,

  • අවුල් සහගත නම්, උදාහරණයක් ලෙස ඇවිදින විට හෝ දුවන වන විට ලිස්සා වැටේ නම්
  • ලිවීම ගැටළු  සහගත  නම්
  • මිමිණීම් නොඇසේ නම්, නැතහොත් නිතර "කුමක්ද?" කියා දේවල් අයට නැවත  කියන ලෙස පවසනවා නම්
  • වැසිකිළිය භාවිතා කිරීම, ආහාර ගැනීම, ඇඳුම් ඇඳීම අසීරු නම්
  • සමහර දේවල් බැලීමට ඔහුගේ දෑස් හකුළයි නම්, නැතහොත් ඒවා දැකීමට අපහසු නම් හෝ ඔහුගේ ඇස් දෙක දිශාවන් දෙකක් බලයි නම් ( වපර )
  • ඔහුට කලින් තිබූ හැකියාවන් නැති වී යයි නම්

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

"බබාලා එන්නේ කොහෙන්ද?"

"මට මල්ලියෙක් ඕනී අම්මා .  අද අපි එයාව සුපිරි මාර්කට් ‍එකෙන් අරන් එමු හොදද?"

මෙම වයසේදී මෙවන් විනෝදජනක, අමුතු හා ලැජ්ජා සහගත ප්‍රශ්න රැසක් බලාපොරොත්තු වන්න.   ඔබේ පුංචි පැටියා  තමා අවට ලෝකයේ සිදුවන සෑම දෙයක්ම තේරුම් ගන්න උත්සහ කරද්දී තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ,

ඔහුට දැන් විරුද්ධ  දේවල්  ගැන වැඩියෙන් තේරුම් ගන්න පුළුවන් .  (උදාහරණයක්  ලෙස, උසස් / පහත්), ඔහු ගණන් කිරීමට ආසයි වගේම  ඔහු නිතර දකින දේවල්  වලට කියන නම් හදුනගන්නවා.

අවුරුදු 4 මාස 2 ක දරුවෙකුගේ මානසික  සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් බලමු.

  • කොටස් 3 ක උපදෙස් අනුගමනය කරන්න පුළුවන් .
  • සංඛ්‍යා වල අදහස තේරුම් ගන්න පුළුවන් . උදාහරණයක් ලෙස, "කාර් 3 ක් තියෙනවා "
  • ප්‍රමාණය, වර්ණය, හැඩය හෝ වර්ගය අනුව වස්තූන් වර්ග කරන්න පුළුවන්.
  • උසයි, කොටයි යන්න තේරුම් ගත හැකි අතර වඩා  දේවල් එකක් සංසන්දනය කර බර වැඩි කුමක්දැයි සොයා ගන්න පුළුවන්.
  • උදේ සහ රාත්‍රීයේ වෙනසකම් පවසනවා.
  • දහයට ගණන් කරන්න පුළුවන්. වස්තූන් කිහිපයක් ස්පර්ශ කර ගණන් කිරීම ආරම්භ කරනවා.
  • වර්ණ හතරක් හදුනාගන්න හා ගලපන්න පුළුවන්.
  • දෘශ්‍ය වචන කිහිපයක් හඳුනා ගනී

දෙමාපිය ඉඟි:

  • සේදිය යුතු රෙදි වර්ග කිරීම හා ඇඳුම්  නැමීම  වැනි සරල වැඩකටයුතු  ඔබේ දරුවාට පවරන්න.   ඔහුගේ වර්ග කිරීමේ කුසලතා වැඩි දියුණු කිරීමට එය  උපකාරී වෙනවා.
  • වෙනස් රූපය තේරීම, මොන අතේද තියෙන්නේ  හෝ මොන කෝප්පේ යටද ඒක,  වැනි සරල ක්‍රීඩා කිරීමෙන් ඔබේ දරුවාගේ මතකය වැඩි දියුණු කරන්න පුළුවන් .
  • ඉදිකිරීම් සෙල්ලම් කිරීමට හා   සරල ජිග්සෝ ප්‍රහේලිකා කිරීමට දිරිමත් කරන්න.   
  • ඔබේ අවුරුදු 4 මාස 2 වයසැති දරුවාගේ  ඉගෙනීම දිගටම කරගෙන යන්න.  ඒ සදහා  දිගටම කථා කරන්න

ප්‍රශ්න අසන්න.  ඔබ දකින,  කරන දේ ගැන ඔවුන්ට හිතන්න දෙන්න.  දරුවන්ට හිතන්න  සහ අලුත්  වචන ඉගෙන ගන්න කියවීම  හොඳ ක්‍රමයක් වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • කොටස් 2 ක විධානයන් අනුගමනය නොකරයි නම්
  • විනාඩි පහකට වඩා වැඩි කාලයක් එක දේ කට අවධානය යොමු කල නොහැකි නම්, පහසුවෙන් අවධානය බිදෙනවා නම්
  • “මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා නොකරයි නම්
  • ඔහුගේ පළමු සහ අවසාන නම නිවැරදිව ලබා දෙන්න බැරි නම්
  • “එකම” සහ “වෙනස්” දේවල් තේරුම් ගන්න නොහැකි නම්

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවාගේ ලෝකය පුළුල් වෙමින් පවතිනවා.   ඔහු මේ වන විට අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කරනවා.  ඔහු අනෙක් අයගේ හැඟීම් සහ අවශ්‍යතා තේරුම් ගැනීමට පටන් අරගෙන  තියෙනවා.

පුංචි  දරුවා  තම මිතුරන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන විට, ඔහුගේ ඝෝෂාකාරී  පුරසාරම් දෙඩීම, කියවිල්ල නැවත ඇහේවි .

ඔබේ වයස අවුරුදු 4 යි මාස 2 ක් දරුවා  විටෙක  සහයෝගයෙන් කටයුතු කරන අතර  ඊලග  මොහොතේදී  ඔහු සෑහිමකට  පත් නොවීම  සාමාන්‍ය දෙයකි.   සමස්තයක් ලෙස ගත් කල, ඔහුගේ හැඟීම් පාලනය මේ වන විට ඔහුගේ පාලනයට නතු කර ගෙන තියෙනවා.

මවාපෑමේ සෙල්ලම කරන  විට, ඔහු "තාත්තා" වගේ සෙල්ලම් කිරීම වැනි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ක්‍රීඩා කිරීමට වැඩි නැඹුරුවක් දක්වාවි.

මෙම වයසේදී ඔබට අපේක්ෂා කළ හැකි සමාජ හා මානසික  සන්ධිස්ථාන මෙන්න:

  • අනෙක් අය සමඟ හැගීම් බෙදා හදා ගැනීමට ඉගෙන ගන්නවා.  ඒ වගේම ඔබේ දරුවා දැන් බෙදාහදා ගැනීමට සහ අවස්ථාව  ලබා ගැනීමට වඩාත් විවෘත  වෙනවා.
  • ඔහු කරන සෑම සෙල්ලමකින්ම ඔහුට දිනන්න  අවශ්‍ය වෙනවා .  ඔහු පරාද වු විට කනස්සල්ලට පත්වෙනවා.
  • ඊර්ෂ්‍යාව, උද්දීපනය, කෝපය සහ බිය වැනි පුළුල් පරාසයක හැඟීම් ඔහුට දැනෙනවා.
  • විහිළු කීරිමෙන් විනෝද වෙනවා. හිනාවෙන්න දේවල් හොයනවා.
  • සත්‍ය මිත්‍රත්වයන් ඇති කර ගන්නවා. ඒ වගේම “හොඳම මිතුරෙක් ” පවා ඉන්න පුළුවන්.
  • වැරැද්දක් බව දැන දැනම කරදරවලින් මිදීමට පුංචි බොරු කියන්න පුළුවන්.  
  • ගයන්න, නටන්න හා රඟපාන්න කැමතියි.
  • සැබෑව හා මවාගත් දේ අතර වෙනස තේරෙනවා.

දෙමාපිය ඉඟි:

  • සුදුසු චර්‍යාවන් ඔබේ දරුවාට වඩාත් සුරක්ෂිත බවක් ලබ දෙනවා.   ඒ නිසා ළමයින්ට වේලාව  හා කාලය  කළමනාකරණය අවබෝධ කර ගන්න පුළුවන්.
  • ඔබ තවම දරුවා පෙර පාසලට ඇතුල් කර නොමැති නම් එය කරන්න. පෙර පාසලේදී ඔබේ දරුවාට නව මිතුරන් ඇති කර ගන්න  පුළුවන්.   ඒ වගේම  ස්වාධීනත්වය, වගකීම සහ විශ්වාසය වැනි කුසලතා වර්ධනය කර ගන්න  පුළුවන් .
  • සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දීමෙන් ඔබේ දරුවාට සමාජ කුසලතා වර්ධනය කර ගැනීමටත්, බෙදාහදා ගැනීම හා අවස්ථාව ලබා ගැනීම ඉගෙන ගැනීමටත්  පුළුවන්.  
  • ආගන්තුකයන් අසල සුරක්ෂිත වෙන්න ඔබේ දරුවාට උගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • ඔබෙන් වෙන් කරන්න අපහසු නම්
  • අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට උනන්දුවක් නොදක්වයි නම්
  • පොදුවේ මිනිසුන්ට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්
  • රඟපෑම් සෙල්ලම් කිරීමට උනන්දුවක් නොදක්වයි නම්
  • අතිශය භයංකර, බියජනක හෝ ආක්‍රමණශීලී හැසිරීම් රටා ප්‍රදර්ශනය කරයි නම්
  • ආහාර ගැනීම, නිදාගැනීම හෝ වැසිකිළිය භාවිතා කිරීම සම්බන්ධයෙන් තවම ගැටළු තියෙනවා නම්
  • මවාගත් දේ සහ සැබෑව අතර වෙනස හඳුනාගන්න බැරි නම්.

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබ සමඟ දීර්ඝ  සංවාදයක යෙදීමට ඔබේ දරුවා කැමතියි.   ප්‍රශ්න ගණනාවක්ම  ඔහු අසාවි.  ලෝකය ගැන සහ ඔහු වටා සිටින අය ගැන වැඩි විස්තර දැනගැනීමේ ඔහුගේ ක්‍රමය මෙයයි.

මේ වන විට, ඔහු පැහැදිලිව කථා කරන්න පුළුවන්.  වචන 5-6 හෝ ඊට වැඩියෙන් අමුණා වාක්‍ය කියනවා.

ඔහු  ගොඩාක් තර්ක කරනු ඔබට දකින්න පුළුවන්.   එය ඔහුගේ විවේචනාත්මක මානසික  කුසලතාවන්ට උපකාරී වෙනවා.

මෙම වයස අනුව බොහෝ දරුවන්ට කළ හැකි දේවල් බලමු.

  • රිද්මයානුකූල වචන ඇති ගීත රස විඳිනවා .
  • පැහැදිලිවම කතා කරනවා. නමුත් සමහර ශබ්ද සමඟ ගැටලු තියෙන්න පුළුවන් . ( 's', 'w' සහ 'r' )
  • 'ඇයි', 'කවදාද' සහ 'කෙසේද' යන ප්‍රශ්න අහනවා. වචනවල තේරුම විමසනවා.
  • භාගයක් සත්‍ය වුත් භාගයක් ගෙතූත් කතන්දර  කියනවා.   
  • වචන පහකට වඩා වැඩි ගණනක වාක්‍ය කතා කරන්න පුළුවන්.
  • මතකයෙන් කවියක් ගීතයක් කියන්න පුළුවන්.
  • පළමු හා අවසාන නම කියන්න පුළුවන්.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාගේ හොඳ භාෂා කුසලතා වර්ධනය සදහා සම්පූර්ණ වාක්‍ය වලින් කථා කිරීමෙන් සහ “වර්ධනය වු” වචන වලින් කතා කරන්න.  නිවැරදි වචන සහ වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරීමට ඔහුට උදව් කරන්න
  • ඔහු කරන දේ සහ ඔහු සිටි ස්ථානය ගැන ඔහු හා කතා කරන්න .  ඔහු කළ දේ සහ ඔහු දුටු දේ ඔහුගෙන් විමසන්න.  ඔහු ඔබ සමඟ කතා කරන විට උනන්දුවෙන් සවන් දෙන්න.  
  • ඔබ කුඩා කාලයේ ඇසු කතන්දර ඔහුට කියා දෙන්න .
  • ඔබේ දරුවාට දිගටම කියවන්න. ඇයව පුස්තකාලයට හෝ පොත් සාප්පුවකට රැගෙන යාමෙන් පොත් කෙරෙහි ඇති ඇගේ ආදරය වැඩි කරන්න. ඔබේ දරුවාට කියවීමට අවශ්‍ය දේ තෝරා ගන්න  ඉඩ දෙන්න.
  • එකට කියවීම, කතන්දර පැවසීම, ගීත ගායනා කිරීම සහ පෙර පාසැල් ගී කියවීම තුලින් ඔබේ දරුවාගේ කතාබහ, සිතීම සහ පරිකල්පනය වැඩි  දියුණු කරන්න.   

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • අනෙක් අයට තේරුම් ගැනීමට තරම් පැහැදිලිව කථා නොකරයි නම්
  • වචන තුනකට වඩා වැඩි වාක්‍ය භාවිතා නොකරයි නම්
  • මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා නොකරයි නම්
  • ඔහුගේ මුල් නම සහ අවසාන නම කීමට නොහැකි නම්
  • ඔහුගේ දෛනික ක්‍රියාකාරකම් සහ අත්දැකීම් ගැන කතා නොකරයි නම්,

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මේ වයසේ දරුවෙකුට දිනකට කැලරි 1,200 ත් 1800 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

මෙම වයසේ ගැහැණු ළමයින් සෙන්ටිමීටර 98 සිට 104 දක්වා උසකින් සහ කිලෝග්‍රෑම් 14. 6 සිට 17. 5 දක්වා බරින් යුක්ත වෙනවා .  පිරිමි ළමයින්ගේ  උස සෙන්ටිමීටර 99. 5 සිට 105. 4 සෙ. මී.  සහ බර කිලෝග්‍රෑම් 15 සිට 17. 7 දක්වා වෙනවා .

ඔබේ දරුවාගේ දෛනික ආහාර පරිභෝජනය

ධාන්‍ය

ඔබේ දරුවාට දිනකට ධාන්‍ය  අවුන්ස 5 ක් අවශ්‍ය වෙනවා .   ධාන්‍ය වල අඩංගු  කාබෝහයිඩ්රේට් ඔහුට  ශක්තිය සපයනවා.  

ධාන්‍ය අවුන්සයක්  = පාන් පෙත්තක්, සීරියල්  කෝප්ප 1 ක් හෝ පිසින ලද පැස්ටා කෝප්ප 1/2 ක්   හෝ පිසූ ධාන්‍ය  කෝප්ප 1/2 

කිරි සහ ප්‍රෝටීන් කාණ්ඩය

ඔබේ දරුවාට  කැල්සියම් ලබා ගැනීමට  දිනකට කිරි / කිරි ආහාර  කෝප්ප 2-2. 5 ක් අවශ්‍ය වෙනවා.   කැල්සියම්  ඔබේ දරුවාට ශක්තිමත් දත් සහ අස්ථි ලබා දෙනවා.   ඔබට කිරි කෝප්ප 1 ක් යෝගට් හෝ සෝයා කිරි කෝප්පයකින්, ස්වාභාවික චීස් අවුන්ස 1½ කින් හෝ සැකසූ චීස් අවුන්ස 2 කින් ආදේශ කරන්න  පුළුවන් .

මස් සහ බෝංචි වැඩෙන දරුවාට ප්‍රෝටීන් හොද  ප්‍රභවයක් වෙනවා.   මේ වයසේදී ඔහුට දිනකට දෙවරක් එය අවශ්‍ය වෙනවා .  එක් වාරයකට  තුනී මස්,  කුකුල් මස්, මාළු තේ හැදි 1-3 ක්, වියළි බෝංචි හා ඇට තේ හැදි 4-5  ක් හෝ බිත්තර 1  ක් වත් ලබා දිය යුතුය.

පළතුරු සහ එළවළු කාණ්ඩය

ඔබේ වැඩෙන දරුවා සඳහා විටමින් සහ ඛනිජ ලවණවල මූලික ප්‍රභවය වන්නේ පලතුරු සහ එළවළු ය.   විටමින් සහ ඛනිජ ලවණ ඔහුගේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්න උදව් කරනවා.  මෙම වයසේදී ඔහුට සෑම දිනකම එළවළු කෝප්ප 1. 5 ක් සහ පලතුරු කෝප්ප 1 - 1. 5 ක් අවශ්‍ය වෙනවා .

එළවළු කෝප්පයක්, පිසින ලද හෝ අමු එළවළු කෝප්ප 1 ක්, අමු කොළ (පලා) කෝප්ප 2 ක්, විශාල තක්කාලි  ගෙඩියක් හෝ මධ්‍යම කැරට් දෙකකට සමාන වේ.

පළතුරු කෝප්පයකට නැවුම්, ශීත කළ හෝ ටින් කළ පළතුරු කෝප්ප 1 ක්, වියළි පලතුරු 1/2 කෝප්පයක්, විශාල ඇපල් ගෙඩියකින් භාගයක්,   කෙසෙල් ගෙඩියක්  (අඟල් 8- හෝ 9) හෝ එක් මධ්‍යම (අඟල් 4 ක විෂ්කම්භයක්) මිදි ගෙඩියකට සමාන වෙනවා.

දෙමාපියන්ට ඉඟි:

  • හැකි සෑම විටම ඔබේ දරුවා සමඟ ආහාර ගන්න.
  • ඔබ ආහාර සහ කෙටි ආහාර, පලතුරු, එළවළු සහ ධාන්‍ය ආහාරයට ගන්න අයුරු දකින්න  ඔබේ දරුවාට ඉඩ දෙන්න.  දරුවන් කුඩා කල සිටම දෙමව්පියන්ගේ ආහාර පුරුදු අනුගමනය කරන බව අධ්‍යයනවලින් පෙනී යනවා.
  • සීනි, ඝන මේද හෝ ලුණු එකතු කළ ආහාර හා පාන වර්ග ඔබේ දරුවාට සීමා කරන්න.
  • කිරි හා ජලය පමණක් සෞඛ්‍ය සම්පන්න වෙනවා.
  • පලතුරු යුෂ වෙනුවට නැවුම්, ටින් කළ, ශීත කළ හෝ වියළන ලද පලතුරු වර්ග අනුභව කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.
  • ඔබේ දරුවා පලතුරු යුෂ වලට කැමති නම්, එය 100% යුෂ ලබා දෙන්න . නමුත් එය්ට සීනි එකතු කරන්න එපා.  ඒ වගේම ලබා දෙන වාර ගණන සීමා කරන්න.
  • සම්පූර්ණ මිදි , ඇට වර්ග සහ පොප්කෝන්   හිරවිය හැකි ආහාර ,     මාෂ්මෙලෝස් වැනි  ඇලෙන සුළු ආහාර    වැනි හුස්ම හිරවීමට හේතු විය හැකි ආහාර ලබා දීමේදී සැලකිලිමත් වන්න.
  • ඔබේ දරුවා ඔහුගේ කෑම පිගානම අවසන් කරාවි යැයි  බලාපොරොත්තු  වෙන්න එපා.  
  • මෙම වයසේදී ඔහුගේ කුස පිරුන බව ඔහුට දැනෙන නිසා ඔහුට අවශ්‍ය කෑම ප්‍රමාණය තෝරා ගන්න ඉඩදෙන්න.
  • ළමයා ඔහුගේ ස්වයං පෝෂණ කුසලතා වර්ධනය කර ගන්නා විට ආහාර විසිර වීම බලාපොරොත්තු වෙන්න.   එය විශාල ගැටලුවක් කර ගන්න එපා.
  • රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීමෙන් සහ දුරකථනයෙන් වැළකී සිටීමෙන් අවධානය වෙනතකට යොමු වීම් වළක්වා ගන්න.
  • ඔබේ දරුවා ඕනෑවට වඩා අඩුවෙන් ආහාර ගැනීම ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔහුගේ වයසට ගැලපෙන  මල්ටිවිටමින් එකක් දිනපතා  ලබා දෙන්න.  මල්ටිවිටමින්, තෝරා බේරා ආහාර ගන්නා දරුවන්ගේ  කුඩා පෝෂක හිඩැස් පුරවනවා.  විශේෂයෙන් යකඩ  දරුවෙකුගේ මොළයේ වර්ධනයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ ශක්ති මට්ටමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වෙනවා.

එන්නත් සහ පොදු රෝග:

මේ වන  විට ඔබේ දරුවාට ලබාගෙන තිබිය යුතු එන්නත්

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් හතරක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා තුනක් (IPV)
  • හේමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ බී (Hib) එන්නත් මාත්‍රාව තුනක් හෝ හතරක්
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රාවක්
  • හෙපටයිටිස් බී එන්නත (HBV) මාත්‍රා තුනක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රාවක්
  • රොටා වෛරස් එන්නත මාත්‍රා දෙකක් හෝ තුනක් (RV)
  • නියුමොකොකල් සංයුක්ත එන්නත (PCV, PPSV) මාත්‍රා හතරක්
  • හෙපටයිටිස් ඒ එන්නත (HAV) මාත්‍රා එකක් හෝ දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

පොදු උණ, පැපොල,  සරම්ප, කම්බුල්ගාය සහ ආහාර අසාත්මිකතාවන් අවධානය යොමු කළ යුතු පොදු රෝග වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ වයස අනුව බර අඩු නම් හෝ කුඩා නම්  මෙය ඔහු ඉක්මවා යන සාමාන්‍ය අවධියක්ද, නැතහොත් එය ගැඹුරු ප්‍රශ්නයක් සලකුණක්ද යන්න දැන ගැනීමට ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

අවුරුදු 4 ක් හා මාස 02 ක් වු   ඔබේ කුඩා දරුවාගේ සන්ධිස්ථාන නිරීක්ෂණය කිරීමට මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි.

සියලු දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය හා සංවර්ධනය වෙනවා .  ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 03

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera