අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

මේ ලිපියෙන්, අපි ඔබේ අවුරුදු 4 මාස 3 ක දරුවාගේ සංවර්ධනය සහ සන්ධිස්ථාන ගැන  සොයා බලමු. එවිට ඔබට ඒවා පහසුවෙන් නිරීක්ෂණය කරන්න  පුළුවන්.

අවුරුදු 4 මාස 3 ළමා වර්ධනය: වයස අවුරුදු 4 යි මාස 3 ක් වන විට, ඔබේ දරුවාගේ  නිමක් නැති ප්‍රශ්න වලින් ඔබව පුදුමයට පත් වේවි. ඔහුට කොයිතරම් නම් දේවල් දැන ගන්න තියෙනවාද ?

ඔහු වේගයෙන් ඉගෙන ගන්නා අතර  තව තවත සමාජශිලී වේවී. ඔහුට  ජීවත් වන ලෝකය ගැන ගොඩාක් දැනගන්න අවශ්‍යයි. විවිධ පුද්ගලයින් වෙනස්  ජීවත් වන ආකාරය ගැන අහන්න කැමතියි වගේම විවිධ ආහාර උත්සහ කර බලනවා.

මේ ලිපියෙන්, අපි ඔබේ අවුරුදු 4 මාස 3 ක දරුවාගේ සංවර්ධනය සහ සන්ධිස්ථාන ගැන  සොයා බලමු. එවිට ඔබට ඒවා පහසුවෙන් නිරීක්ෂණය කරන්න  පුළුවන්. මේවා මාර්ගෝපදේශ පමණයි.  සෑම දරුවෙකුම වෙනස් වන අතර ඔහු තමාගේම වේගයෙන් හා ඔහුගේ වේලාවට සංවර්ධනය ලබා ගන්නවා. ඒ බව මතක තබා ගන්න.

ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 4 මාස 3 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 4 මාස 3 ළමා වර්ධනය  - ශාරීරික සංවර්ධනය

උඩ පැනීම, මඟ හැර පැනීම (skip), පිනුම් ගැසීම  වැනි දේවල් එක්ක ඔබේ දරුවාගේ ශාරීරික හැකියාව පිළිබඳ විශ්වාසය වැඩිවෙනවා. ඒ නිසා ඔහුට අලුත් දේවල් අත්හදා බැලීමට අවශ්‍ය වේවි.

ඔහුට දැන් වඩාත් හොද දෑස් දෑත්  සම්බන්ධීකරණයක් ඇති අතර  අවම උදව්වක් එක්ක ඇදුම්  ඇදගන්න  පුළුවන්.

මේ වන විට ඔබේ දරුවාට තිබිය යුතු කුසලතා

  • බෝලයක් විසි කිරීම, අල්ලා ගැනීම, පයින් ගැසීම වගේම පොළවේ වැදී එන බෝල ඇල්ලීම කරන්න පුළුවන්.
  • වස්තුන් මතින් පනින්න හා ක්‍රීඩා පිටියේ ඉණිමඟට නැගීමට පුළුවන්.
  • පියවරෙන් පියවර තබමින් පඩිපෙළක ඉහල හා පහළ පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.
  • වේගයෙන් දුවනවා.
  • පිනුම් ගහනවා.
  • ට්‍රයිසිකල් එක හෝ පුහුණු රෝද සහිත බයිසිකලය පදින්න පුළුවන්.
  • චතුරස්‍රය, ත්‍රිකෝණය, රවුම වැනි මුලික හැඩ පිටපත් කරන්න පුළුවන්.
  • බ්ලොක්ස් 10 ක් උස කුළුණු හදන්න හැකි අතර පබළු අමුණා මාලයක්  හදන්න පුළුවන්.
දෙමාපියන්ට ඉඟි:
  • ඔබේ දරුවාට එළිමහන් ඇති තරම් සෙල්ලම් කරන්න දෙන්න. එය ඔහුගේ ශාරීරික කුසලතා වර්ධනය කර ගැනීම පමණක් නොව, ඔහුගේ ඇස් පෙනීම සහ මොළය වර්ධනය කිරීමට සුදුසුයි.
  • ඔබේ දරුවා අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට දිරිමත් කරන්න. බෙදාගැනීමේ සහ මිත්‍රත්වයේ අපූරූ පාඩම ඔහුට කියා දෙන්න.
  • මාර්ග ආරක්ෂාව සහ රථවාහන නීති පිළිබඳ ඔබේ කුඩා දරුවා දැනුවත් කිරීමට මෙය හොඳ කාලයකි.
  • ක්ලේ එක්ක සෙල්ලම් කිරීම, ඇඳීම, පින්තාරු කිරීම, ළමා කතුරකින් කැපීම සහ පබළු ඇමිණීම ඔහුගේ කුඩා මාංශ පේශි ශක්තිමත් කරන ක්‍රියාකාරකම් වෙනවා. මේ මගින් ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills) වර්ධනය කරන්න පුළුවන්.
  • නිවසේදී, පාසැලේදී හෝ ළමා සුරැකුම් හල් වලදී ඔබේ දරුවාට දිනකට තිර කාලය පැයකට සීමා කරන්න. වැදගත් වැඩසටහන් පමණක් බලන්න දෙන්න.
  • ඔබේ දරුවාට සෑම දිනකම පැය 10-13 අතර (දහවල් නින්දද ඇතුළුව) නින්දක් ලබා දෙන්න. එය නිර්දේශ කාලය වේ.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • එක තැන උඩ පනින්න බැරි නම්
  • ලියන්න අපහසු නම්
  • දේවල් දැකීමට හා ඇසීමට අපහසු නම්
  • ඔහුගේ පෙර තිබු හැකියාවන් නැති වී ඇත්නම්
අවුරුදු 4 මාස 3 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

වයස අවුරුදු 4 යි මාස 3 ක්  වන විට ඔබේ දරුවාගේ  ගැටලු විසඳීමේ  හැකියාව වර්ධනය  වෙනවා. මේ වන විට හෝඩිය කියවන්න වගේම  බොහෝ හැඩයන් සහ වර්ණ හඳුනාගන්න ඔහුට පුළුවන්.

ඔහු ඔබෙන් ටොන් ගණනක් ප්‍රශ්න අසාවි.

"ඇයි අපිට දෙවියන් පේන්නේ නැත්තේ?"

"බබාලා ලැබෙන්නේ කොහොමද ?"

ඔන්න ඔබ මේ ප්‍රශ්න වලට උත්තර සුදානම් කර ගන්න.

අවුරුදු 4 මාස 3 ක දරුවෙකුගේ මානසික  සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක්
  • ඉලක්කම්, වර්ණ සහ හැඩයන් හඳුනා ගන්නවා.
  • සංඛ්‍යා වල අදහස තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක්  ලෙස, "කාර් 3 ක් තියෙනවා.
  • ගණන් කිරීම තේරුම් ගන්න පුළුවන්.
  • සැබෑව හා මවාගත් දේ වෙන්කර හඳුනාගන්න පුළුවන්.
  • උසයි, කොටයි යන්න තේරුම් ගත හැකි අතර   දේවල් දෙකක් සංසන්දනය කර බර වැඩි කුමක්දැයි සොයා ගන්න පුළුවන්.
  • කාලය පිලිබඳ සංකල්පය තේරුම් ගන්නවා.
  • සමහර දෘශ්‍ය වචන හඳුනා ගන්නවා.
  • දේවල් ක්‍රියා කරන ආකාරය ගවේෂණය කරනවා.
දෙමාපියන්ට  ඉඟි:
  • වෙනස හඳුනා ගැනීමේ සෙල්ලම්, කෝප්ප යට සගවා කරන සෙල්ලම් හා කොයි අතේද ඒක තියෙන්නේ වැනි සරල සෙල්ලම් කිරීමෙන් ඔබේ දරුවාගේ මතකය වැඩි දියුණු කරන්න ඔබට   පුළුවන්.  
  • කියවීම මානසික සංවර්ධනයටද උපකාරී වේ. ඔබ ඔබේ දරුවා සමඟ කියවන විට, කතාවේ කලින් සිදුවී ඇති දේ ගැනත්, පසුව සිදු වේවි යැයි   ඔහු සිතන්නේ දේත් ප්‍රශ්න කරන්න.
  • සේදිය යුතු රෙදි වර්ග කිරීම හා  ඇඳුම්  නැමීම  වැනි සරල වැඩකටයුතු  ඔබේ දරුවාට පවරන්න.  ඔහුගේ වර්ග කිරීමේ කුසලතා වැඩි දියුණු කිරීමට එය  උපකාරී වෙනවා.
  • ආහාර පිසීම තවත් විනෝදජනක  ක්‍රියාකාරකමකි.   ඒ මගින් ඔබේ දරුවාට වටිනා විද්‍යා සංකල්ප කියා දෙන්න පුළුවන්.  ඒ වගේම  1/2, 3/4 වැනි ගණිත සංකල්ප සහ තේ හැඳි සහ මේස හැඳි අතර වෙනස්කම් ද ඔහුට හඳුන්වා දෙන්න පුළුවන්.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • මිනිත්තු පහකට වඩා වැඩි කාලයක් කිසිදු අවධානයක් යොමු කිරීමට නොහැකි නම් හෝ අවධානය පහසුවෙන් බිදෙනවා නම්
  • “මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා නොකරයි නම්
  • ඔහුගේ පළමු සහ අවසාන නම නිවැරදිව කියන්න නොහැකි නම්
  • ඔබේ දරුවාට කොටස් 2 ක විධාන පිළිපදින්න අසීරු නම්
අවුරුදු 4 මාස 3 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ වන විට ඔබේ දරුවාට ඔහුගේ හැඟීම් පාලනය කිරීමට වැඩි හැකියාවක් තිබිය යුතුයි. ඔහු තම නිවසේ සීමාවෙන් ඔබ්බට  යමින් ලෝකය ගවේෂණය කිරීමට දැන්  සූදානම්. ඔහු සමඟ සෙල්ලම් කිරීමට සහ නව මිතුරන් ඇති කර ගැනීමට ඔහු කැමතියි.

කෙසේ වෙතත්, ඔහු තවමත් පුංචියි. ඒ නිසා අලුත්  රටකට හෝ පාසලකට යෑම හෝ සහෝදර සහෝදරියකගේ උපත වැනි ඕනෑම ප්‍රධාන ජීවිත සිදුවීමක් ඔහුගේ හැගීම්  හා හැසිරීමට බලපානවා.

මෙම වයසේදී ඔබට අපේක්ෂා කළ හැකි සමාජ හා හැගීම් සන්ධිස්ථාන
  • මිතුරන් ඇති කර ගැනීමට කැමතියි. “හොඳම මිතුරෙක්” පවා ඉන්න පුළුවන්.
  • බෙදාගැනීම හා අවස්ථාව ලබාගැනීමට හොදින්ම සුදානම්.
  • “අම්මා” සහ “තාත්තා” වගේ රගපානවා.
  • සැබෑව හා මවාපෑම වෙන්කර හඳුනාගන්න පුළුවන්.
  • ඔහු කරන සෑම සෙල්ලමකින් ජය ගැනීමට ඔහු කැමති අතර ඔහු පරාජ වු  විට බොහෝ කනස්සල්ලට  පත්වෙනවා.
  • වැරැද්දක් කියා දැන දැනත් ඔහු ගැටළු වලින් මිදෙන්න  පුංචි බොරු කියනවා.
දෙමාපියන්ට ඉඟි:
  • පෞද්ගලික අවයව ගැන සහ ආගන්තුකයන් ගෙන් ආරක්ෂා වෙන විදිය ඔබේ දරුවාට උගන්වන්න.
  • සතුට, දුක සහ කෝපය වැනි හැඟීම් වෙන්කර හඳුනා ගැනීමට ඔබේ දරුවාට උගන්වන්න. තමන්ට දැනෙන දෙය නම් කිරීමට හැකිවීමෙන් දරුවන්ට ශාරිරික  පහර දීම් ක්‍රම වලට යොමු නොවී ඔවුන්ගේ හැඟීම් වාචිකව ප්‍රකාශ කිරීමට පුළුවන් වෙනවා.
  • චර්‍යාවන් නිසි ලෙස පවත්වා ගැනීමෙන් ඔබේ දරුවාට වඩාත් සුරක්ෂිත බවක් දැනෙනවා.  ඒ වගේම කාලය සහ කාල කළමනාකරණය අවබෝධ කර ගැනීමට එය ඔහුට උපකාරී වෙනවා.
  • ඔබ දැනටමත් ඔබේ දරුවා පෙර පාසල යවන්නේ නැත්නම් දැන් එය කිරීම හොඳ අදහසක් වෙනවා. පෙර පාසලේදී ඔබේ දරුවාට නව මිතුරන් ඇති කර ගත හැකි වෙනවා මෙන්ම  ස්වාධීනත්වය, වගකීම සහ විශ්වාසය වැනි කුසලතා වර්ධනය කර ගන්න  පුළුවන්.  
  • බෙදාගැනීම සහ අවස්ථාව ලබා ගැනීම පිළිබඳ සංකල්පය නිරූපණය කෙරෙන සෙල්ලම් ඔබේ දරුවා සමඟ  කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • සැබෑව හා මවා ගත් දේ අතර වෙනස හඳුනාගත නොහැකි නම්
  • ඔබෙන් වෙන් වන විට බොහෝ පීඩනයට පත් වෙනවා නම්
  • අන්තර් ක්‍රියා හෝ මවාපැම් සෙල්ලම් වලට කැමැත්තක් නොමැති නම්
  • පොදුවේ අන් අයට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරනවා නම්
  • බොහෝ බිය, ආක්‍රමණශීලී බව පෙන්නයි නම්
  • ආහාර ගැනීම, නිදාගැනීම හා වැසිකිළි යෑම ගැන තවම ගැටළු ඇත්නම්
අවුරුදු 4 මාස 3 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවා මේ වන විට පැහැදිලිව කථා කරනවා. ඒ වගේම ඔහු වටා සිටින අයට ඔහු පවසන දේ තේරුම් ගන්න පුළුවන්.

ඔහු සමඟ තවත් බොහෝ දේ කතා කිරීමෙන් සහ ඔහුගේ දවස සහ ඔහු කරමින් සිටි දේ පිළිබඳව ප්‍රශ්න ඇසීමෙන් ඔහුගේ කථන හා භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට ඔහුට උදව් කරන්න  ඔබට පුළුවන්.

මෙම වයස අනුව බොහෝ දරුවන්ට කළ හැකි දේ මෙන්න:
  • " මම" සහ "ඔබ" නිසියාකාරව භාවිතා කරන්න දන්නවා.
  • නමුත් තවමත් සමහර ශබ්ද සමඟ ගැටලු තියෙන්න පුළුවන්.  ('s', 'w' සහ 'r' )
  • ප්‍රියතම කතන්දරයක්  නැවත කියන්න පුළුවන්.
  • 'ඇයි', 'කවදාද' සහ 'කෙසේද' ප්‍රශ්න හා වචන වල තේරුම් අහනවා.
  • වචන පහකට වඩා වැඩි වාක්‍යය හදන්න පුළුවන්.
  • පළමු හා අවසන් නම කියන්න පුළුවන්.
දෙමාපියන්ට ඉඟි:
  • ඔබේ දරුවාට කියවන්න. ඔහුව පුස්තකාලයට හෝ පොත් සාප්පුවකට රැගෙන යාමෙන් පොත් කෙරෙහි ඇති ඔහුගේ ආශාව පෝෂණය කරන්න. ඔබේ දරුවාට කියවීමට අවශ්‍ය දේ තෝරා ගැනීමට ඉඩ දෙන්න. ඔබේ දරුවාට කියවන අතරතුර, නවත්වන්න.ඊළඟට කුමක් සිදුවේදැයි අනුමාන කරන්න හැකි පරිදි දරුවා ගෙන් ප්‍රශ්න කරන්න.  මෙයින් ඔහුගේ සිතීමේ හැකියාව වැඩිදියුණු කරන්න.
  • ඔබේ දරුවාට සම්පූර්ණ වාක්‍ය වලින් කථා කරන්න. “වැඩුණු” වචන භාවිතා කරන්න. ඒ මගින් දරුවා තුල හොඳ භාෂා කුසලතා වර්ධනය කරන්න. නිවැරදි වචන සහ වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරීමට ඔහුට උදව් කරන්න.
  • මේ වයසේදී ඔබේ දරුවා රිද්මයානුකූල ගීත සහ ප්‍රහේලිකා සහිත පොත් පත් වලට කැමති වේවි.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • පැහැදිලිව කථා නොකරයි නම්
  • “මම” සහ “ඔබ” නිවැරදිව භාවිතා නොකරයි නම්
  • ඔහුගේ මුල් නම සහ අවසාන නම කීමට නොහැකි නම්
  • වචන තුනකට වඩා වැඩි වාක්‍ය භාවිතා නොකරයි නම්
අවුරුදු 4 මාස 3 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔහුගේ වයස, ප්‍රමාණය සහ ක්‍රියාකාරකම් මට්ටම අනුව, අවුරුදු 4 මාස 3 ක දරුවෙකුට දිනකට කැලරි 1,200 ක් පමණ අවශ්‍ය වෙනවා.

මෙම වයසේ ගැහැණු ළමයින් සෙන්ටිමීටර 98 සිට 104 දක්වා උසකින් සහ කිලෝග්‍රෑම් 14.6 සිට 17.5 දක්වා බරින් යුක්ත වෙනවා.  පිරිමි ළමයින් උස සෙන්ටිමීටර 99.5 සිට 105.4 සහ බර කිලෝග්‍රෑම් 15 සිට 17.7 දක්වා වෙනවා

ඔබේ දරුවාගේ දෛනික ආහාර පරිභෝජනය ඉතා මැනවින් සමන්විත විය යුතු වෙනවා.

ධාන්‍ය

ඔබේ දරුවාට දිනකට ධාන්‍ය  අවුන්ස 5 ක් අවශ්‍ය වෙනවා.   ධාන්‍ය වල අඩංගු  කාබෝහයිඩ්රේට් ඔහුට  ශක්තිය සපයනවා.

ධාන්‍ය අවුන්සයක්  = පාන් පෙත්තක්, සීරියල්  කෝප්ප 1 ක් හෝ පිසින ලද පැස්ටා කෝප්ප 1/2 ක්   හෝ පිසූ ධාන්‍ය  කෝප්ප 1/2 

කිරි සහ ප්‍රෝටීන් කාණ්ඩය

ඔබේ දරුවාට  කැල්සියම් ලබා ගැනීමට  දිනකට කිරි / කිරි ආහාර  කෝප්ප 2-2.5 ක් අවශ්‍ය වෙනවා.  කැල්සියම්  ඔබේ දරුවාට ශක්තිමත් දත් සහ අස්ථි ලබා දෙනවා.  ඔබට කිරි කෝප්ප 1 ක් යෝගට් හෝ සෝයා කිරි කෝප්පයකින්, ස්වාභාවික චීස් අවුන්ස 1½ කින් හෝ සැකසූ චීස් අවුන්ස 2 කින් ආදේශ කරන්න  පුළුවන්.

මස් සහ බෝංචි වැඩෙන දරුවාට ප්‍රෝටීන් හොද  ප්‍රභවයක් වෙනවා.  මේ වයසේදී ඔහුට දිනකට දෙවරක් එය අවශ්‍ය වෙනවා.  එක් වාරයකට  තුනී මස්,  කුකුල් මස්, මාළු තේ හැදි 1-3 ක්, වියළි බෝංචි හා ඇට තේ හැදි 4-5  ක් හෝ බිත්තර 1  ක් වත් ලබා දිය යුතුය.

පළතුරු සහ එළවළු කාණ්ඩය

ඔබේ වැඩෙන දරුවා සඳහා විටමින් සහ ඛනිජ ලවණවල මූලික ප්‍රභවය වන්නේ පලතුරු සහ එළවළු ය.  විටමින් සහ ඛනිජ ලවණ ඔහුගේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවන්න උදව් කරනවා. මෙම වයසේදී ඔහුට සෑම දිනකම එළවළු කෝප්ප 1.5 ක් සහ පලතුරු කෝප්ප 1 - 1.5 ක් අවශ්‍ය වෙනවා.

එළවළු කෝප්පයක්, පිසින ලද හෝ අමු එළවළු කෝප්ප 1 ක්, අමු කොළ (පලා) කෝප්ප 2 ක්, විශාල තක්කාලි  ගෙඩියක් හෝ මධ්‍යම කැරට් දෙකකට සමාන වේ.

පළතුරු කෝප්පයකට නැවුම්, ශීත කළ හෝ ටින් කළ පළතුරු කෝප්ප 1 ක්, වියළි පලතුරු 1/2 කෝප්පයක්, විශාල ඇපල් ගෙඩියකින් භාගයක්,   කෙසෙල් ගෙඩියක්  (අඟල් 8- හෝ 9) හෝ එක් මධ්‍යම (අඟල් 4 ක විෂ්කම්භයක්) මිදි ගෙඩියකට සමාන වෙනවා.

දෙමාපියන්ට ඉඟි:
  • ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සඳහා හොඳ ආදර්ශයක් වන්න. හැකි සෑම විටම ඔබේ දරුවා සමඟ ආහාර ගන්න.
  • සීනි, ඝන මේද හෝ ලුණු එකතු කළ ආහාර හා පාන වර්ග ඔබේ දරුවාට සීමා කරන්න. කිරි හා ජලය පමණක් සෞඛ්‍ය සම්පන්න වෙනවා.
  • සම්පූර්ණ මිදි , ඇට වර්ග සහ පොප්කෝන්   හිරවිය හැකි ආහාර ,     මාෂ්මෙලෝස් වැනි  ඇලෙන සුළු ආහාර    වැනි හුස්ම හිරවීමට හේතු විය හැකි ආහාර ලබා දීමේදී සැලකිලිමත් වන්න.
  • කෙටි හා ප්‍රධාන  ආහාර වේල් සැලසුම් කරන්න.  දරුවාට ආහාර ගන්න ප්‍රමාණවත් වේලාවක් ලබා දෙන්න. ඩිජිටල් උපාංග ක්‍රියා විරහිත කිරීමෙන් අවධානය වෙනතකට යොමු කිරීම අවම කරන්න. 
  • තෝරා ආහාර ගන්නන් ආහාර පිළියෙළ කිරීම සඳහා සම්බන්ධ කර ගන්න. දරුවන්   තමන් විසින්ම සාදන ලද ආහාර ගැනීමට   වැඩි ඉඩක් තියෙනවා.
මේ වන  විට ඔබේ දරුවාට ලබාගෙන තිබිය යුතු එන්නත්
  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

වෙනත් රෝගාබාධ සම්බන්ධයෙන් ගත් කල, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ගැන වැළදිය  හැකිය. ඔබේ දරුවා පෙරපාසලේදී වෛරස් වලට ගොදුරු වන නිසා ඔහු ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනගා ගන්නවා

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ වයස අනුව බර අඩු නම් හෝ කුඩා නම්  මෙය ඔහු ඉක්මවා යන සාමාන්‍ය අවධියක්ද, නැතහොත් එය ගැඹුරු ප්‍රශ්නයක් සලකුණක්ද යන්න දැන ගැනීමට ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

අවුරුදු 4 ක් හා මාස 03 ක් වු   ඔබේ කුඩා දරුවාගේ සන්ධිස්ථාන නිරීක්ෂණය කිරීමට මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි.

සියලු දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය හා සංවර්ධනය වෙනවා.  ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 04

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera