අවුරුදු 04 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ වයස අවුරුදු පහකට ආසන්න දරුවා මේ මාසයේ කරන්නේ කුමක්ද?

අවුරුදු 4 මාස 8 ළමා වර්ධනය: ශක්තියෙන් සන්නද්ධව  කුතුහලයෙන් පිරි ප්‍රශ්න, සහ සියල්ලන් සමඟ මිත්‍ර වීමට දැඩි ආශාවක් ඇති ඔබේ අවුරුදු 4 මාස 8 ක් වයසැති පුංචි  මිනිසා ඉතා කුඩා මිනිස් ඩයිනමෝවකි වගේ නේද ?

ඔහු වඩාත් ස්වාධීන හා ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා.

නමුත් මේ ඔබගේ අවුරුදු 4 මාස 8 ක දරුවාගේ ත්‍රාසජනක ගමනක ආරම්භයයි. ඔබට  පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි අවුරුදු 4 මාස 8 ක දරුවාගේ සංවර්ධනය සහ සන්ධිස්ථාන සොයා බලමු.

ළමයින් තමන්ගේම වේගයෙන් වර්ධනය වෙනවා   එම නිසා විවිධ වේලාවන්හි විවිධ “සන්ධිස්ථාන” වලට ලගා වෙන්න  පුළුවන්.  ඒක මතක තබා ගන්න.

ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඔබ යම් ගැටළුවක් ඇත්නම් ඔබේ ළමා රෝග  විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 4 මාස 8 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 4 මාස 8 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ අවුරුදු 4 මාස 8 ක දරුවාගේ  ශක්තිය උතුරා යනවා  ඔබ දුටුවාද? ,  ඔහු සමඟ දිගටම රැඳී සිටීම ඔබට අසිරුයි. දැන් ඔබ ඔබේ දරුවා තරම්ම ඔබට ශක්තිමත් වෙන්න සිදුවේවි.

අවුල්සහගත ළදරුවෙකුව සිටිය ඔබේ  කුඩා දරුවා දැන් වඩාත් චමත්කාරජනක වන  අතර  ඔහුගේ චලනයන් ගැන  සහතික වෙන්න පුළුවන්.  මේ වන විට එම ළදරු මේදයෙන් වැඩි ප්‍රමාණයක් ඉවත් වී ඇති  අතර සිහින් අත් පා දිගු වෙනවා.

ඔහුගේ විශ්වාසය ඉහළ යන අතර  එළිමහනේ නව ක්‍රියාකාරකම් අත්හදා බලන්න  ඔහු වැඩි කැමැත්තක් දක්වනවා.  ඔබේ අවුරුදු 4 මාස 8 ක දරුවා පුහුණු රෝද නොමැතිව බයිසිකලය පැදීමට පවා කැමතියි.

ඊට අමතරව, ඔබේ කුඩා දරුවාට පහත සඳහන් දේ කිරීමට හැකි විය යුතුය

  • සෙ.මී. 12- 15( අගල් 5-6 ) උසට පනින්න පුළුවන්. බිමට පතිත වීමේදී දෙපා හොදින් බිම ස්පර්ශ වෙනවා.
  • තනි කකුලෙන් තත්පර 9 කට වඩා ඉන්න පුළුවන්.
  • සාර්ථකව පිනුම් ගහනවා. නවතිනවා.
  • පහසුවෙන් ඉස්සරහාට පස්සට යන්න පුළුවන්.
  • බයිසිකලය වැනි චලනය කරන්න පුළුවන් සෙල්ලම් බඩු පදිනවා.
  • බෝලයක් ඉලක්කයක් වෙත ඔලුවට උඩින් විසි කරන්නපුළුවන්.
  • වස්තූන්, හැඩයන් සහ අකුරු අඳින්න පුළුවන්.
  • බ්ලොක්ස් 10 ක් හෝ ඊට වැඩි ගණනකින් කුළුණක් සාදන්න පුළුවන්.
  • කුඩා ලී පබළු නූලකට අමුණන්න පුළුවන්.
  • සාර්ථකව ඉණිමඟ සහ ක්‍රීඩා පිටි උපකරණ වල ඉහළට නගින්න පුළුවන්.
  • හැන්දක් හා ගෑරූප්පුවක් භාවිතා කරන්න පුළුවන්.

ඉඟි

  • ඔබේ දරුවාට හැකි තරම් ඔහුගේ වටපිටාව ගවේෂණය කිරීමට, නව පුද්ගලයින් හමුවීමට සහ එළිමහනේ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.
  • දරුවාගේ ශාරීරික සංවර්ධනය ප්‍රවර්ධනය කරන, ඒ වගේම නව දෙයක් උත්සාහ කිරීමෙන් ඔහුට තෘප්තියක් ලබා දෙන නව ක්‍රීඩා පිටි උපකරණ භාවිතයට ඔබේ දරුවා දිරිමත් කරන්න.
  • ඔබේ දරුවාට තම ඇඳුම් ඇඳීමට උත්සාහ කරන්න ඉඩ දෙන්න. විශේෂයෙන් බොත්තම් සහිත ඇඳුම් ඒ සදහා සුදුසුයි.  මෙය කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන   කුසලතා (Fine motor skills ) සංවර්ධනයට උපකාරී වෙනවා.
  • කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) සහ නිර්මාණශීලි සංවර්ධනය සඳහා ඔබේ දරුවාගේ කලා කුසලතා දිරිමත්  කරන්න.
  • ආහාර ගන්නා උපකරණ තනිවම භාවිතා කිරීමට ඔහුව දිරිමත් කිරීමද හොඳ අදහසක්, ඒ මගින් ඔහුට උපකරණ භාවිතය උගන්වනවා   පමණක් නොවෙයි ඔහු විසින්ම ආහාර ගැනීමටද ඇති දක්ෂතාවය වැඩි වෙනවා.
  • ඔබේ දරුවාට පිහිනීම වැනි විනෝද ක්‍රීඩාවක් හඳුන්වා දෙන්න. පිහිනීම යනු අත්‍යවශ්‍ය ජීවන කුසලතාවයක් වෙනවා. එපමණක් නොව එය මාංශ පේශි වර්ධනය කිරීමට සහ ඔබේ දරුවා තුළ නොපසුබට උත්සාහය සහ අධිෂ්ඨානය  වැනි ගුණාංග පෝෂණය කිරීමට උපකාරී වෙනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • තත්පර කිහිපයක් තනි කකුලෙන් සමතුලිතව සිටිය නොහැකි නම්
  • පැන්සලක් හෝ පාටකූරක් අල්ල ගන්න නොහැක නම්
  • තනිව ඇඳුම් ඉවත් කිරිමට නොහැකි (උදා: කලිසම් ගලවා ගැනීම) නම්
අවුරුදු 4 මාස 8 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔබේ අවුරුදු 4 මාස 8 ක දරුවාට දැන් හොදින්  කතාබහ  කරන්න  පුළුවන්.  ඊට අමතරව, ඔහුගේ වචන  මාලාව ද දිනෙන් දින වර්ධනය වෙනවා.  එය මානසික  සංවර්ධනයේ සලකුණකි. වේලාවන් (උදේ / සවස) අනුව   ඔබේ දරුවාට  දෛනික චර්යාව තේරුම් ගන්න පුළුවන්.

මේවාට අමතරව, මෙම වයසේදී ඔබ දකින තවත් තීරණාත්මක මානසික  වර්ධනයන් කිහිපයක් තියෙනවා.

  • ඔහුට පහසුවෙන් 20 හෝ ඊට වැඩියෙන්  ගණන් කරන්න  පුළුවන්.
  • “ගොරවන්නේ ඇයි ?”  වැනි වඩාත් සංකීර්ණ සංසිද්ධීන් ගැන ප්‍රශ්න අසනවා.
  • ඔබේ දරුවාට සරල කවියක් මතකයෙන් කියන්න  හෝ ප්‍රියතම ගීතයක් නිවැරදිව ගායනා කරන්න  පුළුවන්.  
  • ඔහු “විශාලතම” හෝ “උසම” යන සංකල්පය තේරුම් ගන්නවා.
  • කතන්දර විස්තර කරන්න කැමතියි. බොහෝ විට ඒවා අමතර විස්තර එකතු කරමින් අලංකාර කරනවා.
  • සමහර විට සකස් කල මනංකල්පිත භාෂාවක් භාවිතා කරනවා.
  • නිවසේ සිදුවීම් අනුපිළිවෙලක් පහසුවෙන් වටහා ගන්න පුළුවන් : “නැගිටින්න,” “දත් මදින්න,” “නාන්න යමු ” “ උදේ කෑම  කමු. ”
  • පියවර දෙකේ හෝ තුනක උපදෙස් පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන්.

ඉඟි

  • අංක ගණන් කරන්න. හෝඩිය නැවත නැවත ශබ්ද නගා කියන්න. ඔහු අතරමග නැවතුනොත් නැවත ආරම්භ කරන්න හෝ ඔහුට පෙරමුණ ගන්න දෙන්න.
  • විවේචනාත්මක චින්තනය සහ ගැටළු විසඳීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබේ දරුවාගේ ප්‍රශ්නවලට ප්‍රශ්නයක් නගමින්ම පිළිතුරු දෙන්න. උදාහරණයක්  වශයෙන්, “අම්මේ, අපි කොණ්ඩය හෝදන්න ඕනී ඇයි ?” “ඔයා   හිතන විදියට  අපි කොණ්ඩය සෝදන්න ඕනී ඇයි, පැටියෝ?”
  • ඔබේ දරුවාට විනෝදජනක ලිවීමේ ක්‍රම භාවිතා කරමින් ලිවීමට පුරුදු කරවන්න. විශේෂයෙන්  ඔබ වෙරළට ගිය විට වැල්ලේ ඔහුගේ  නම ලියන්න කියාදෙන්න පුළුවන්.
  • ඔබේ දරුවාට නව කවි, රිද්මානුකූල ගී සහ ගීත ඉගැන්වීමට මෙය හොඳ කාලයක් වෙනවා. ඒ මගින් ඔහුව පාසැලට සූදානම් කරනවා. ඒ විතරක් නොවෙයි  ඔබට සහ ඔබේ කුඩා දරුවාට එක්ව විනෝද වෙන්න අවස්ථාවක් ලබා දෙනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • අක්ෂර හෝ වචන හෝ ඉලක්කම් කොහෙත්ම හඳුනාගත නොහැකි නම්
  • පහෙන් ඔබ්බට ගණන් කළ නොහැකි නම්
අවුරුදු 4 මාස 8 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ වයසේදී ඔබේ දරුවාගේ ධනාත්මක උද්යෝගය සහ අන් අය සමඟ මිත්‍ර වීමට ඇති ආශාව සුවිශේෂී වෙනවා.  ඔබේ පුංචි දරුවා  අනෙක් අයගේ හැඟීම් ගැන වැඩි අවබෝධයක් තියෙනවා.  සංවේදනය සහ අවබෝධය පෙන්වන බවත් ඔබට දකින්න පුළුවන්.

ඊට අමතරව තවත් වර්ධනයන් කිහිපයක් ද ඔබ දකිවි.

  • අන් අය සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටක් ලබන අතර බොහෝ විට ඔහුගේ සම වයසේ මිතුරන් සතුටු කිරීමට උත්සාහ කරනවා.
  • ඔහු ආධිපත්‍යය පතුරවමින් මිතුරන්ට ඔහුගේ නායකත්වය අනුගමනය කිරීමට බල කරනවා
  • අතිශයෝක්තිය හා ආඩම්බරය යන සංකල්පය තේරුම් ගන්නවා. ඔහුගේ තම ජයග්‍රහණ ගැන  පුරසාරම් කියනවා ඇහුනොත්  පුදුම වෙන්න එපා.
  • තනියම දේවල් කරන්න උනන්දු වෙනවා. නමුත් දේවල් සැලසුම් කල පරිදි සිදු නොවුනත් කෝපාවිෂ්ඨ   වෙන්න  පුළුවන්.
  • මෙම අවස්ථාවෙහිදී, ඔහු තම මවාගත් ලෝකයක රඟ පාමින් විනෝද වෙනවා.
  • ක්‍රීඩාවක නීති රීති තේරුම් ගෙන අනුගමනය කරනවා.
  • ඔහුගේ කෝපය හා කලකිරීම ගැන වැඩිපුර වචනයෙන්  ප්‍රකාශ කරනවා.  ඔහු ශාරීරිකව මොනවත් නොකලත්  “මට මෙහේ සෙල්ලම් කරන්න  බැහැ ” හෝ “මම  මේ සෙල්ලම් බඩුවට කැමති නැහැ ” වැනි වචන භාවිතා කරනවා.

ඉඟි

  • උද්වේගකාරී හැසිරීම යටපත් වෙන අතර ඔබේ දරුවාගේ කලකිරීම් සමඟ ඔබ ඉවසිලිවන්තව හා සන්සුන්ව කටයුතු කරන්න.
  • කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට සහ ඔහුගේ සම වයසේ මිතුරන් හා මිතුරන් සමඟ සම්බන්ධ වීමට ඔහුව ධෛර්යමත් කරන්න.
  • අන් අය සමඟ මිත්‍ර වීමට ඔහුට කාලය ලබා දෙන්න. ඔහු ආක්‍රමණශීලී බව ඔබ දුටුවහොත්, ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගැටුම් නිරාකරණය කර ගන්නේ කෙසේදැයි සන්සුන්ව ඔහුට කියාදෙන්න.
  • ඔබේ හැසිරීම තුළ සංවේදනය සහ කරුණාව පෙන්වන්න. ඔබේ දරුවා එය අනුකරණය කරාවි.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • අතිශයින් ලැජ්ජාශීලී හෝ ආක්‍රමණශීලී නම් ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට අවශ්‍ය නැතිනම්.
  • දෙමව්පියන්ගෙන් වෙන් වූ විට අධික කනස්සල්ල පෙන්වයි නම්
අවුරුදු 4 මාස 8 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මේ වන  විට  දරුවාගේ කථාවේ සහ භාෂාවේ විශාල දියුණුවක් ඔබ දකින්න  පුළුවන්.  ඔහුට දැන් නිපාත පද සහ සන්තක නාම පහසුවෙන් භාවිතා කරන්න  පුළුවන්.  

දැන් ඔහුගේ වචන මාලාවේ “උඩ” සහ “එය” වැනි වචන භාවිතා වෙනවා.  ඔහුට බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් පුළුවන්.

ඔහුගේ කථාව දැන් සම්පූර්ණයෙන්ම පාහේ තේරුම් ගන්න  පුළුවන්. ඒ වගේම  ඔහුට සම්පූර්ණ වාක්‍ය සකස් කරන්න  පුළුවන්.  වඩාත් සිත්ගන්නාසුලු වෙනස්කම් හා වර්ධනයන් බලාපොරොත්තු වෙන්න.

  • ඔහුගේ කටහඩේ ස්වරය වඩා හොඳින් හසුරුවන්න හා වෙනස් කරන්න ඔහුට දැන් පුළුවන්. උදාහරණයක්  ලෙස,  ඔහු ඔබට “අම්මේ, මට  අයිස්ක්‍රීම් අරන් දෙන්න පුළුවන්ද?” කියා පවසා  ඔහුගේ ළදරු සොහොයුරියගෙන් “අයිස්ක්‍රීම් ඕනිද?” කියා අසන්න පුළුවන්.
  • ඔහුගේ මුල් නම පහසුවෙන් කියන්න පුළුවන් අතර ඔහුගේ වාසගම පවා කියන්න පුළුවන්.
  • පවුලේ බොහෝ සාමාජිකයින් හා මිතුරන් හඳුනා ගැනීමට ඔහුට පුළුවන්. ඔවුන්ගේ   නම සහ ජංගම දුරකථන අංකයක් පවා ඔහුට මතක තියෙන්න පුළුවන්.
  • කෝපය, සතුට සහ දුක වැනි හැඟීම් වඩාත් දක්ෂ ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්.

ඉඟි

ළදරු කතාවෙන් ඔහු විනෝද කිරීම තවදුරටත් අවශ්‍ය නැහැ.  ඔහුට “වැඩිහිටි” භාෂාව හොඳින් තේරුම් ගන්න  පුළුවන්.  නමුත් ඔහුට වේගයෙන් එහි ලගා වීමට පහත සදහන් දේවල් කරන්න

  • ඔහු සමඟ රිද්මානුකූල ගී, ගීත සහ කවි ගායනා කිරීමෙන් කථන සංවර්ධනය දිරිමත් කරන්න. මෙම ක්‍රියාකාරකම එක්ව කරන්න  කාලය වෙන් කරන්න. එවිට ඔහු තුල  වැඩි උනන්දුවක් ඇතිවේවි.
  • ඔබ අන් වැඩිහිටියන්ට මෙන් ඔහු හා කතා කරන්න.
  • ඔහුගේ සහෝදර සහෝදරියන්, දෙමාපියන් සහ ආච්චිලා සීයලා වැනි පවුලේ සාමාජිකයින්ගේ නම් නැවත නැවත සිහිපත් කරන්න. ඒ මගින් මතකයට නැංවීමේ හැකියාවන් වැඩි දියුණු කරන්න.
  • ඔහුගේ දවස ගැන ඔහුගෙන් විමසන්න. ඔබට ඔහුගෙන් මෙසේ අහන්න පුළුවන් : “ඔයා අද කළේ මොනවාද ?”

“ඔයාගේ යාළුවා කුමාර ගස ගැන ඔයාට  කිව්වේ  මොනවාද ?”

“අද දවල් කෑම එකේ ඔයා වැඩිපුරම ආසාවෙන්  කෑවේ මොනවාද?”

  • ඔහුගේ මවාගත් ලෝකවලට ඇති ආදරය ඔහුට භුක්ති විදීමට ඔහුට ඉඩ දෙන්න. මේ ලෝක ගැන  කතන්දර   ඔබට විස්තර කරන්න ඔබේ දරුවා ධෛර්යමත් කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

අනෙකුත් සන්ධිස්ථාන මෙන්ම, කථනය සහ භාෂා සංවර්ධනය ද දරුවා ගෙන් දරුවාට  වෙනස් වෙනවා.  සමහර දරුවන්  අනෙක් අයට වඩා බුද්ධිමත් විය හැකි නමුත් සමහරුන්ට වැඩි කාලයක් ගතවෙනවා.

කෙසේ වෙතත්, ඔබ පහත අනතුරු ඇගවීමේ ලක්ෂණ දුටුවහොත් වෛද්‍යවරයා හමුවෙන්න.

  • ඔහුට සම්පූර්ණ වාක්‍ය සැකසීමට නොහැකි නම් හෝ ඔහුගේ සම්පූර්ණ නම කීමට නොහැකි නම්
  • ඔහුගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ඔහුගේ ස්වරය වෙනස් කිරීමට ඔහුට නොහැකි නම්
  • ඔහු අසතුටු වු විට වචනයෙන් ප්‍රකාශ කරනවා වෙනුවට උද්වේගකාරීව හැසිරෙනවා නම්
අවුරුදු 4 මාස 8 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවාගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය වැඩිවෙනවා.  ඔහුට දැන් දිනකට අවම වශයෙන් 7,100 kJ (1,700 kcal) අවශ්‍ය වන අතර උස  104cm - 115cm දක්වා වර්ධනය වෙලා තියෙනවා.

වැඩිහිටි ශරීර අනුපාතයට ඉතා ලග නිසා ඔහුගේ බර කිලෝග්‍රෑම් 18 ත් 19 ත් අතර වෙනවා. මෙතැන සිට ඔහුගේ උස වසරකට සෙන්ටිමීටර 5 සිට 8 දක්වා වැඩි වෙනවා.

පෝෂක දිනපතා අවශ්‍ය ප්‍රමාණය ඔවුන්ට පෝෂණය කළ යුතු දේ
කැල්සියම් සහ විටමින් ඩී කැල්සියම් මිලිග්‍රෑම් 1,000 හා විටමින් ඩී  3000   IV (ජාත්‍යන්තර ඒකක) කිරි කෝප්ප 2 ක්, අඩු මේද යෝගට් කෝප්පයක් සහ චීස්.
යකඩ මිලිග්‍රෑම් 10 යි චිකන් සැන්ඩ්විච් 2 ක්, තැම්බූ බිත්තරයක් හෝ මාළු පැටිස් එකක් එක්ක බේක් කල බෝංචි, නිවිති සහ තක්කාලි
විටමින් සී දිනකට මිලිග්‍රෑම් 650 කට වඩා වැඩි නොවන පරිදි නැවුම් කැපු තක්කාලි, බතල,  ග්‍රීන් පෙපර් පිගානකින් 1/4  සහ ස්ට්‍රෝබෙරි කෝප්පයක් හෝ දොඩම් ගෙඩියක්
එන්නත් සහ පොදු රෝග:

මේ මාසයේ ලබාදීමට වෙනත් එන්නත් නැහැ.

මේ වන  විට ඔබේ දරුවාට ලබාගෙන තිබිය යුතු එන්නත්

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

 උණ, පැපොල,  පෝලියෝ,  සරම්ප, කම්බුල්ගාය සහ කක්කල් කැස්ස වැනි රෝග වැළදිය හැකි  බැවින් සැලකිලිමත්  වෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

පෝෂ්‍ය පදාර්ථ හා එන්නත් වලට අමතරව, ඔබේ දරුවා නිතිපතා වෛද්‍යවරයාගේ වෙත  රැගෙන යා යුතුය. සාමාන්‍යයෙන්, ඔහු දරුවාගේ  උෂ්ණත්වය සඳහා පරීක්ෂා කරනු ලබනවා. 

කෙසේ වෙතත්, පහත දැක්වෙන අනතුරුදායක සලකුණු  ඔබ දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න

  • ඔබේ දරුවා වෙනදාට වඩා බොහෝ සෙයින් රෝගී වුවහොත් (සෑම සති දෙකකටම වරක්)
  • ඔහුගේ සිරුරේ තැලීම් හෝ ගැටිති දක්නට ලැබේ නම්
  • ඔහු වේදනාවක් ගැන පවසයි නම්

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 09

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

Written by

Niloufer Perera