හැමදේම ගැන අශුභවාදීව හිතන දරුවා දිරිමත් කරමින් අවධානම අවබෝධ කර දෙන්නේ කොහොමද?

ළමයින්ගේ මනස කියවීමට ටිකෙන් ටික හුරුවීම මගින් දෙමාපියන්ට බොහෝ ගැටළු අවම කරගන්න පුළුවන් වගේම අනවශ්‍ය පීඩනයෙන් මිදෙන්නත් පුළුවන්.

දරුවන්ට අභියෝග හා ජයග්‍රහණ ගැන කුඩා කාලයේදීම වැටහීමක් නැති නිසා ඔවුන් පුංචි කාලයේ තමන්ට කළ නොහැකි දේවල් වලට නොයෙක් හේතු දක්වමින් පසුබසිනවා.

නමුත් දෙමාපියන් ලෙස ඔවුන් අභියෝග වලට බිය විය යුතු නැති බව ඉතා ඉවසිල්ලෙන් හා අවධානයෙන් කියා දිය යුතු වෙනවා. දරුවන් නිතරම අවධානමට බය වුනත් සමහර දරුවන් අවධානමට බය නැහැ.

නමුත් අවධානමට, අභියෝගයට සීමා සහිත ලෙස බිය නොවීම වැදගත්. නමුත් සීමාව ඉක්මවා බිය නොවීමත් අනතුරු දායක වෙනවා. ඒ නිසා නිතර ශුභවාදීව හිතන්න පුරුදු කරන්න යාමත්, අවධානම ගැනත් කියාදීම වටිනවා.

  1. කිසිම දෙයකට බිය නැති දරුවන්

සමහර දරුවන් උවමනාවට වඩා ශුභවාදීව සිතීම ඒ කියන්නේ කිසිම නරක දෙයකට බිය නොවීම සමහර විට දෙමාපියන්ට ගැටළුවක්. සතුන් ඇල්ලීම, ගින්දර වැනි අනතුරුදායක දේවල් ඇල්ලීම, වස විස ස්පර්ශ කිරීම වැනි දේවල් මේ අතරින් භයානක දේවල් විය හැකියි. සමහර දරුවන් මේවාට සීමාව ඉක්මවා බිය වෙනවා. සමහරුන් කොහෙත්ම බය නැහැ.

නමුත් මේ ලක්ෂණ දෙකම දරුවන්ට පොදුයි. නමුත් දෙමාපියන් ලෙස මෙහි අන්ත දෙකම දරුවන්ට වටහා දීම වැදගත්. සතුන්ට හිරිහැර කිරීම හොඳ නැහැ වගේම ඔවුන් හිරිහැර ඉවසා ගත නොහැකිව පෙරලා අපිට කරදර කරනවා.

අපිට කරදර කරන විට කේන්ති යනවා වගේ සතුන්ටත් එසේ වන බවත් ගින්දර වැනි දේවල් නිසා පිළිස්සුම් තුවාල ඇති අය පෙන්වීම, ගින්දරකින් විය හැකි දරුණු හානි ගැන පෙන්වා දීම වැනි දේවල් මගින් ඔවුන්ට යථාර්ථය අවබෝධ කර දෙන්න.

එකවරම ඔවුන්ට එය කරන්න එපා කීමෙන් ඊට හේතුව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා නිතර උදාහරණ ඇසුරෙන් යමක් වටහා දීම වැදගත්. නැතිනම් ඔවුන් කුඩා කළ සිටම අශුභවාදීව සිතන්න පුරුදු වෙන්න මෙයත් නැඹුරුවක් විය හැකියි.

  1. දරුවන්ගේ රුචිකත්වයට ඉඩ දෙන්න

සමහර දරුවන් ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා වලට කැමති වුනත් සමහර දරුවන් නර්තනයට කැමති වෙන්න පුළුවන්.

නමුත් ඔවුන් ඊට සුදුසු වයසක පසුවෙනවා නම් ඔවුන්ගේ රුචිකත්වය ශුභවාදීව දකින්න. එහි ඇති භයානක බව කීමට පෙර එය කිරීමේ වරදක් නැතත් ඉන් විය හැකි හානි ගැන සෙමින් කියා දෙන්න.

එකවරම ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කරනවාට වඩා සෙමින් ඒ ගැන වටහා දෙන්න. සමහර විට ඔවුන් රූපවාහිනියේ දකින දේවල් මත ගන්නා පූර්ව නිගමන නිසා විට ඉතා ඍණාත්මක ලෙසත් සමහර කරුණු කෙරෙහි උවමනාවට වඩා විශ්වාස කරන්නත් පුළුවන්.

උදාහරණ ලෙස නොයෙක් වීරයන් ගැන ඒ කියන්නේ බැට් මෑන්, සුපර් මෑන් වැනි වීරයන් කරන දේවල් සැබෑ ජීවිතයේ කළ හැකි බවත් ඔවුන් කරන දේවල් පහසුවෙන් අත්හදා බලන්නත් ඔවුන් යොමුවෙන්න පුළුවන්.  නමුත් තිරයේ දකින වීරයන් සැබෑ ලෝකයේ වීරයන් නොවන බවත් අපේ සැබෑ ජාතික වීරයන් ගැනත් ඔවුන්ට වැටහීමක් ලබා දෙන්න.  

  1. ශ්‍රේෂ්ඨ චරිත ගැන කතා කියා දෙන්න

ලෝකයේ මහා වීරයන් සාර්ථකත්වය ලැබූ පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ ජීවිත කතා පිටුපස ඇති කටුක බව දරුවන්ට කතාවක් ලෙස කියා දෙමින් ඔබට ඔවුන්ට අභියෝග ජය ගැනීමට යොමුකරවන්න පුළුවන්.

හැම සාර්ථක මිනිසෙකුගේ කතාවකින්ම අපට ඉගෙන ගත හැකි දේ ගැන දරුවන්ට කියා දෙන්න. ඔවුන් පසුබට වන විට, යමක් දෙස අශුභවාදීව සිතන විට ඔවුන්ට ඒ පුද්ගලයාව මතක් කර දෙන්න.

ඔවුන් නිවී සැනසිල්ලේ ඉන්න විට ඔවුන් ප්‍රිය කරන මාතෘකාවක් ඊට මුසු කරමින් අවස්ථානෝචිතව ඔවුන්ට කතා කරන්න. එය අවවාදයක් ලෙස නොව මිතුරෙක් කතා කරන ලෙස ඔවුන්ට කතා කරන්න.

  1. දරුවන්ගේ උපායන් උපායශීලි ලෙස හඳුනා ගන්න

හුඟක් දරුවන් තමන් අකමැති දේවල් නැතිනම් අලසකම, ශාරීරික අපහසුතා වැනි දේවල් කියාපාමින් කල් දැමීම් කරනවා. පාසල් යන්න බැහැ බඩ රිදෙනවා, අකුරු ලියන්න බැහැ අත රිදෙනවා වැනි දේවල් කියන්න පුළුවන්.

එවිට ඔබට ඔවුන්ට ඉන් ලැබෙන අනිසි විපාක පෙන්වා දෙන්න පුළුවන්. පාසල් නොයනවා නම්, බඩ රිදෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත යා යුතු බව, පාසල් නොගියොත් ලොකුමහත් වී රැකියාවක් නැතිව ගෙදරට වී සිටින්නට වන බව ආදී විපාක ඔවුන්ට ඉතා සංයමයෙන් කියන්න.

නැතිව ඒ වෙනුවට ඔවුන්ට පහර දීම හෝ ඔවුන් හෙලා දැකීම කරන්න එපා. ඉන් දරුවන් තවත් මුරණ්ඩු වන අතර සමහර විට ඔවුන් කැමති දේවල් මේ නිසා නොලැබී යන බව ඔබට කියන්න පුළුවන්.

  1. බිය පහ කරන්න ඔබත් මොහොතකට දරුවෙකු වෙන්න

සමහර දරුවන් ජලයට, කඳු නගින්න වැනි දේවල් වලට පමණක් නොවෙයි සමහර ක්‍රියාකාරකම් වලටත් බිය වෙන්නේ හේතුවක් නැතිවයි. නැතිනම් සම වයසේ දරුවන් කරන බිය වැද්දවීම් වැනි දේවල් හිතේ තැන්පත් වීම නිසයි.

නමුත් පළමුව ඔබට දරුවාට එහි විශාල අවධානමක් ඇති බව පෙන්වීමට එය ඔහු ඉදිරියේ කර පෙන්වන්න පුළුවන්.

පිහිනන්න බය දුව ඉදිරියේ ඔබට පළමුව පිහිනුම් තටාකයට බැස පිහිනන්න පුළුවන්. නමුත් ඊට ඇයව තල්ලු කරන්න එපා. දිරිගැන්වීම මිස බලහත්කාරයෙන් එය කරවීමට යාම සාර්ථක නැහැ.

නිරන්තරයෙන් ඊට කැමැත්තක් ඇති කරවන්න. දරුවන් අකමැති දේ ඉතා ප්‍රියමනාප වන ලෙස ඔවුන් ඉදිරියේ කර ඊට උත්සාහ කරන්න පෙළඹෙන්න පුළුවන්.

මොකද නිතර දරුවන් වැඩිහිටියන් වන්නට කැමති නිසා ඔවුන් එමගින් ඔබව අනුකරණය කරන්නට කැමති වෙනවා. නමුත් ඊට ඔබ උපක්‍රමශීලි වීම වැදගත්.

ළමයින්ගේ මනස කියවීමට ටිකෙන් ටික හුරුවීම මගින් දෙමාපියන්ට බොහෝ ගැටළු අවම කරගන්න පුළුවන් වගේම අනවශ්‍ය පීඩනයෙන් මිදෙන්නත් පුළුවන්.