ආදරණීය තාත්තේ...මීට, චූටි පැටියා

lead image

"මං හින්දා ඔය දෙන්නා එකිනෙකා වෙනුවෙන් වද වෙන හැටි, ආදරය කරන හැටි, කැපවෙන හැටි දකින්න මං හරි ආසයි..."

මම උපදින්න හිටපු දවස් තාත්තාට මතක ඇති නේද? අම්මා වගේම තාත්තාත් මං ගැන හීන දකින්න ඇති නේද? අම්මායි තාත්තායි එකතු වෙලා ලස්සන හුරුබුහුටි දේවල් මං වෙනුවෙන් එකතු කරන්න ඇති නේද?

අම්මාව අතින් අල්ලගෙන ක්ලිනික් එකට එක්ක යනකොට අම්මා හතිවැටිලා නැවතුන හැටි මතකයි නේද? බණ්ඩිය ඇතුලේ මාව දාගෙන අමාරුවෙන් ඇවිදින අම්මා දැකලා ඔයාගේ ඔය ඇස් වලට කදුලක් ආවා නේද තාත්තේ?

අම්මා බත් කටක් උගුරෙන් පහලට යවාගන්න කප්පරක් දුක් උහුලද්දී ඔයත් බඩගින්නේම ඉදගෙන අම්මාට එක බත් කටක් හරි කවා ගන්න වද වුනා නේද තාත්තේ?

අම්මා මහා රෑ ඇහැරිලා කෙණ්ඩ පෙරලිලා අඩනකොට ඔයා නැගිටලා ඒ ඉදිමුණු කකුල් එලිවෙනකම් අතගෑවා නේද තාත්තේ?

අම්මාගේ කුස ටිකෙන් ටික මාත් එක්කම වැඩිලා අම්මා මහත් වෙද්දී කලු වෙද්දී අම්මා රූපය ගැන ලත වෙද්දී ඔයා ඒ රූපය හැමදාම ලස්සනට දැක්කා නේද තාත්තේ?

අම්මා මාවත් කුසේ දරාගෙන වැඩ කරගන්න බැරුව හති වැටෙද්දී ඔයා ආදරයෙන් ඇයව පසෙකින් වාඩි කරලා ඒ වැඩ කටයුතු ටික කරලා දුන්නා නේද තාත්තේ?

එදා මං ඉපදුන දවසේ අම්මා යටි ගිරියෙන් කෑගහද්දී ඒ හඩ අහලා තාත්තා ඉස්පිරිතාලේ බිම වාඩිවෙලා කාටවත්ම නොපෙනෙන්න ඇඩුව හැටි තාත්තාට මතකයිද?

නර්ස් ඇවිත් ඉස්සෙල්ලාම මාව දෝතට දෙද්දී මගේ ඇගට ඉහලින් ඉගිල්ලීලා ගිය ඔයාගේ ඔය ඇස් හෙව්වේ අම්මාව, ඉස්පිරිතාලේ ඇදේ වෙහෙසින් වැටිලා ඉන්න අම්මාගේ සතුටු කදුලු පිරුනු ඇස් දැක්ක ගමන් ඔයා සැනසුම් සුසුමක් හෙලුවා නේද? ඊට පස්සේ අම්මා ලගට ගිහින් ආදරයෙන් හිස අතගෑවා නේද ?

ඊට පස්සේ තමයි ඔයා මාව ආදරයෙන් තුරුල් කරගත්තේ තාත්තේ, ඒ හැමදාටම කියලා මම දන්නවා.

මං හින්දා ඔය දෙන්නා එකිනෙකා වෙනුවෙන් වද වෙන හැටි, ආදරය කරන හැටි, කැපවෙන හැටි දකින්න මං හරි ආසයි. මට සැප සම්පත් එපා අම්මේ, තාත්තේ, ඔයාලාගේ ලස්සන ආදරය යට මට පුංචි ඉඩක් දෙන්න. රණ්ඩු සරුවල් නැති සංසුන් ජිවිතයක් මට දෙන්න.

ඒක තමයි ඔයාලාගේ පුංචි පැටියාට දෙන්න පුලුවන් වටිනම තෑග්ග

මං මගේ අම්මාටයි තාත්තාටයි හුගාක් ආදරෙයි....