දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් (Role model) වන්නේ කෙසේද?

දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් වීමෙන් ශක්තිමත් අත්තිවාරමක් මත බිහිවෙන ගොඩනැගිල්ලක් ඉතාම ශක්තිමත් වන සේ, ස්ථාවර ආරම්භයක් ලැබෙන ඔබේ දරුවාගේ අනාගතය සුභදායක වනු ඇත.

අද  විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය වෙත අයේෂා චතුරාණි සිරිබද්දන විසින් සපයන ලද තවත් ලිපියක්. අප දරුවන්ට ආදර්ශමත් දෙමව්පියන් විය යුතු යැයි දන්නා මුත් එය කෙසේ කල යුතුද යන්න  මේ ලිපියෙන් ඇය දැනුවත් කරනවා. දරුවෙකු නිශ්චිත දින චර්යාවකට හැඩ ගැස්විය යුත්තේ ඇයි?  ලිපිය ඇතුළු තවත් ලිපි රැසකින් ඇය අප සැම හා ඇගේ දැනුම බෙදාගෙන තිබෙනවා.

"දරුවා කියන්නේ පිරිසිදු  සුදු කඩදාසියක්" අයේෂා නිතර කියයි. කිසිම දරුවෙක් නරක නපුරු හෝ වෙනයම් ලේබලයක් යටතේ ඉපදෙන්නේ නැහැ.

ටිකෙන් ටික සමාජය සමඟ ගැටෙද්දී සුදු කඩදාසිය තීන්ත පැල්ලම් උරා ගන්නවා වගේ  අවට සමාජයෙන් යහපත් අයහපත් දේ දරුවා ජීවිතයට උරා ගන්නවා.

මුල් අවුරුදු 3-4  වෙනතුරු දරුවාගේ කාලයෙන් 98%  පමණ ගත වන්නේ මව පියා හෝ රැකබලා ගන්නා ඇසුරේ .ඉතින් දරුවා අර සුදු කඩදාසියට උරා ගන්නා තීන්ත පැල්ලම් වලින්  98% ක් පමණ ම එකතු  කර ගන්නේ නිවස හා ඒ අවට පරිසරයෙන්. මව පියා හෝ රැකබලා ගන්නා අසුර ඇසුරෙන්.

 වයස අවුරුදු හතරෙන්  පස්සේ වුනත් අවුරුදු හයක් පමණ වන තුරු ( ළදරු පාසල් අධ්‍යාපනයට යොමු වුනොත්) දරුවා දවසේ පැය විසිහතරෙන් තවත් පැය තුන හතරක් පමණයි පිටත පරිසරයේ ඔබේ ඇසුර නැතිව ගතවෙන්නේ.

එනම් දරුවාගේ ජීවිතයේ මුල් අවුරුදු හයක  පමණ කාලය තුළ වැඩිම කාලයක් ගතවෙන්නේ ඔබේ ඇසුරේ. ඔබේ නිවස තුළ.

ඒ ඔබේ දරුවාගේ ජීවිතයේ හැඩතල තීරණය වන කාලය. ඔබේ දරුවාගේ ජීවිතයට ශක්තිමත් අත්තිවාරමක් දැමීමට මේ කාලය  සැබැවින් ම ප්‍රමාණවත්. ශක්තිමත් අත්තිවාරමක් මත බිහිවෙන ගොඩනැගිල්ලක් ඉතාම ශක්තිමත් සහ කල් පවතිනවා වගේම යහපත් ස්ථාවර ආරම්භයක් ලැබෙන ඔබේ දරුවාගේ අනාගතය  සුබදායක වෙන එක අනිවාර්යයි.

පුංචි දරුවාගේ පෝෂණය පිළිබඳ  අම්මාවරුන්ගේ ඇති උනන්දුව මේ සමූහයට ඒ පිළිබඳව දිනකට ඉදිරිපත් වන ප්‍රශ්න ප්‍රමාණය දුටු විට මනාව පැහැදිලි වෙනවා.

ලෝකයේ ඇති හොඳම  සහ ගුණම කෑම උපරිම පිරිසිදුවට ( හැකිනම් අම්මාද උණුවතුර භාජනයකට බැස  ජීවානුහරණය වන තරම් පිරිසිදුවට ☺️☺️) දරුවා ට හොඳම පෝෂණය ලබා දීමට  අම්මලා වෙහෙස වෙනවා.

 ඔබ, ඔබේ දරුවාගේ ශරීරය ආහාරයෙන් පෝෂණය කරන්නට දරණ වෑයම තරමට ම ඔහු ගේ මනස පෝෂණය කරන්නටත් වෙහෙසෙනවද? ඔව්....බහුතරයක් අම්මලා එපමණටම  වෙහෙස වෙනවා .

අපි ඊලඟට බලමු ඔබේ දරුවාගේ මනස යහපත් ගුණාංග වලින් පෝෂණය කරලා ඔවුන්ගේ ජීවිතයට යහපත් ආරම්භයක් ලබා දෙන්නේ කෙසේද කියා.

පිරිසුදු සුදු කඩදාසියක කළු තීන්ත පැල්ලම් එකතු කිරීම මඟහරවා වර්ණවත් තීන්ත පැල්ලම් එක් කිරීමට උපකාරී වන්න. එතකොට ඔබේ දරුවා හැමෝගෙම හිත් සනසන රසගන්වන අපූරු චිත්‍රයක් වේවි.

මේ අපූරු චිත්‍රය  හැඩගන්වන්න බලපාන ප්‍රධානම සහ වැදගත්ම සාධකය මොකක්ද කියා ඔබ දන්නවාද? ඒ අන් කිසිවක් නො වේ  “ඔබ” ම ය .

දරුවාගේ පළමු ගුරුවරයා වන්නේ මව..  පියා  ... රැකබලාගන්නා ය.. දරුවාගේ පළමු පාසල නිවසය .

ඉතින් ඔබ ඔබේ දරුවාට යහපත් දේ කියා දීමේදී ... හොඳ දරුවෙකු බිහි කිරීමට වෙහෙසීමේදී  අතිශයින්ම වැදගත් ප්‍රධානම කාරණය වන්නේ ඔබ ආදර්ශමත් වීමය (being  a role model )

* ඔබ, ඔබේ දරුවාට සතුන්ට හිංසා නොකරන්න උගන්වයි. නමුත් ඔබ හෝ ඔබේ නිවසේ සිටින අය ගෙදර බල්ලා  පූසාට ආදරයෙන් සලකන ගමන්ම පිටින් එන බල්ලෙකුට පූසෙකුට පහර දී එළවා හරි.

දරුවා එතැනදී වටහා ගන්නේ කුමක් ද? තමන්ගේ අයට පමණක් ආදරය සැලකිය යුතු බවත්, තමන්ගේ නොවන අයට පහරදී පළවා හැරිය යුතු බවත් නොවේද? අපි ඒ විදියට හැසිරීමෙන් ලෝකයට ආදරය කරන දරුවෙකු බිහි කර ගන්නේ කෙසේද?

* ඒ වගේම ඔබ බල්ලට, පූසාට, හරකාට ආදරයෙන් සලකන අතරම නිවසේ මීයන් මැරීමට උගුලක් අටවයි නම්, කැරපොත්තන්ට කෘමීන්ට මැරෙන්නට බේත් ගසයි නම් ,මේ දෙස බලා සිටින ඔබේ දරුවා වටහා ගන්නේ කුමක්ද?

ඔබට සේවය කරන පිහිට වෙන සතුන්/ පුද්ගලයන් ආරක්ෂා කළ යුතු බවත් එසේ නොවන අය මරා දැමීමත් නොවේ ද ?

* අපි අපේ දරුවන්ට බොරු නොකියන ලෙස කුඩා කළ සිටම උගන්වයි. එසේ කියා දෙන අපිම අපේ දරුවාව ජනප්‍රිය පාසලකට ඇතුලත් කරගැනීමට බොරු තොරතුරු කියන්නට දරුවාට උගන්වයි.

එමගින් දරුවා වටහා ගන්නේ තමන්ට වාසිදායක දෙයකදී කොතරම් බොරු කිව්වත් කමක් නෑ කියා නොවේද ?

ඔබ නිවසේ සිටියදී ඔබ සොයා එන්න කරදරකාරී නෑයෙකුට, ණය හිමියකුට ඔබ නිවසේ නැති බව කියන්නට ඔබේ දරුවාට කියන්නේද ?

එසේ නම් එයින් ඔබ ඔබේ දරුවාට උගන්වන්නේ කිසියම්  දෙයකින් බේරී පළා යාමට බොරු කීවාට කමක් නැති බව ය.

* සම්ප්‍රලාප කීම, කේලාම් කීම, පරුෂ වචන කථා කිරීම, හිස්  වචන කථා කිරීම යහපත් නොවන බව ඔබ ඔබේ දරුවාට උගන්වයි ද? එසේ නම් ඔබත් ,ඔබේ දරුවා ඉදිරියේ ඔබේ මිතුරියන්/මිතුරන් සමඟ සම්ප්‍රලාප කතා නොකළ යුතුය. කේලාම් නොකිය යුතුය. හිස් වචන හෝ පරුෂ වචන කතා නොකළ යුතුය.

* තරමක් වැඩුණු ඔබේ දරුවාට යහපත් සම්බන්ධතා පවත්වා ගැනීම පිළිබඳ කියා දෙයි නම්, අනිසි/අයුතු සම්බන්ධතා පවත්වා නොගත යුතු බවට කියා දෙනවා  නම් ඔබත් රහස් පෙම්වතුන් / පෙම්වතියන් ඇසුරු නොකළ යුතුය. ඒ පිළිබඳව දරුවන් ඉදිරියේ එකිනෙකාට චෝදනා නොකළ යුතුය.

* අනුන්ගේ දේ හොරෙන් ගැනීම යහපත් නොවන බව ඔබ දරුවාට කුඩා කළ සිටම කියා දෙයි. එහෙත් ඔබ, ඔබේ සැමියා අනුන්ගේ දේ ගනී නම්, අල්ලපු වත්තේ බව බෝග හොරෙන් ගනී නම්, කාර්යාලයේ හාෆ්ෂීට් පැකට්, පෑන් ගෙදර අරගෙන එයි නම්, ඔබේ අවවාද ඵල රහිත වේවි.

සුරා පානය අයහපත් බව ඔබ ඔබේ දරුවාට කියාදෙන්නේ ඉතාම කුඩා අවධියේ සිටමයි.

නමුත් දානයට, බණට, මඟුලට, පිරිතට ඔබේ නිවසට මත්පැන් ගෙනෙනවා නම්, සති අන්තයේ පියා මිතුරන් සමඟ මත්පැන්  සාජ්ජ දානවා නම්, ඔබේ දරුවා ඔබේ උපදෙස් පිළිගනු ඇතැයි ඔබ සිතනවාද?

* දරැවට රූපවාහිනියෙන්, ජංගම දුරකතනයෙන්, කම්පියුටරයෙන් ඈත් වන ලෙස බල කරන ඔබ හැන්දෑ වන විට රූපවාහිනිය ඉදිරියේ ඉඳගන්නවා නම්, උදේ සිට රෑ වන තුරු ජංගම දුරකතනයේ රැදෙනවා නම් ඔබේ දරුවාට ඔබ දෙන උපදෙස් අකුරටම පිළිපදිනු ඇතැයි නොසිතන්න.

* සංකර ඇඳුම් අදින්න එපා, නොගැලපෙන කොණ්ඩ මෝස්තර දමන්න එපා යැයි ඔබ ඔබේ තරුණ දුවට/පුතාට අවවාද දෙනවා නම් ඊට පෙර ඔබ ඔබේ වයසට ගැලපෙන ලෙස ඇඳුම පැලඳුම සකස් කර ගන්න.

* නොගැලපෙන මිතුරන් ආශ්‍රය කරන්න එපා යැයි ඔබ ඔබේ දුවට පුතාට අවවාද දෙනවා නම් ඔබ යහපත් මිතුරන් ඇසුරු කර දරුවාට පෙන්වන්න .

* ඉතිරි කිරීම, අරපිරිමැස්ම , පිළිවෙලට වැඩ කිරීම, අනලස්වීම, වැඩිහිටියන්ට සැලකීම වැනි බොහෝ සද්ගුණාංග ඔබට ඔබේ දරුවාට ක්‍රියාවෙන් සිදු කර පෙන්විය හැක.

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පැරැන්නන් කීවේ නිකමට නොවේ. ඔබේ වචන වලට වඩා දහස් ගුණයක බලයක් ඔබේ ක්‍රියාවේ ඇත.

දරුවාගේ ආදර්ශමත් දෙමව්පියන් වෙන්නටැයි දෙමාපියන්ට කියූ විට ඔවුන් ඉදිරිපත් කරන පොදු තර්ක

1. “අහ්හ්හ්...එයා තාම පොඩියි. එයාට ඕවා තේරෙන්නේ නෑ... එයාට තේරෙන කාලෙට මම ඕවා නවත්වනවා...”

බොහොමයක් මවුවරු/පියවරු එසේ පවසයි. ඔබ දන්නවාද ඔබේ පුංචි බිළිදාගේ මනස ඔබ සිතනවාට වඩා සිය දහස් ගුණයකින් තීව්‍ර බව.

මේ ඔබ සුදු කඩදාසියට එකතු කරන්නේ කළු තීන්ත පැල්ලම්. ඔවුන්ට තේරෙන කාලයට එනවිට ඔවුන්ගේ චිත්‍රය ඇද අවසන්‍. ඇද අවසන් වූ චිත්‍රයකට ඔබට අවශ්‍ය වර්ණ ගැල්වීම පහසු නොවනු ඇත. එනම් ඔබ, ඔබේ දරුවාගේ ජීවන චිත්‍රයට වර්ණ එකතු කළ යුත්තේ එය හිස් කඩදාසියක් ව තිබියදීමයි. එනම් ඉපදුනු දා සිටමයි. එවිට ඔබට කැමති වර්ණයක් එකතු කර විචිත්‍ර චිත්‍රයක් නිර්මාණය කර ගනු හැකි වනු නොඅනුමානයි .

2. “අපි ලොකුයි, අපි වයසයි, අපි කරාට කමක් නෑ.. අපි මේවා කරන්නේ හරි වැරැද්ද දැනගෙන. අපි ඉගෙන ගෙන ඉවරයි. අපි ඒ දවස්වල මේවා කරේ නෑ. දැන් කරාට කමක් නෑ...”

ඔබ කිසියම් අවස්ථාවක එසේ පැවසුවාද?

එය අසන ඔබේ දරුවා එළඹිය හැකි නිගමනය ගැන ඔබ සිතුවාද?

ඔබ වැරදියි, නරකයි කියා දරුවාට හඳුන්වා දෙන දෙය කුඩා කළ නොකළ යුතු බවත්, වයසින් වැඩුණු පසු, රැකියා කරන විට කළාට කමක් නැති බවත් නොවේද?

මල් වැනි සුන්දර දරුවන්, වැඩිහිටියන් වූ පසු දහසක් අකටයුතුකම් කරන නොමිනිසුන් බවට පත් වෙන්නට මෙවැනි දේ බලපෑවේ නැතැයි ඔබට කිව හැකිද?

දරුවා ලෝකය දකින්නේ ඔබ තුළින්. කුඩා දරුවාගේ ලෝකයේ වීරයා මවය, පියා ය. ඔවුන් ජීවිතය අරඹන්නේ ගොඩනඟන්නේ, මව පියා දෙස බලාගෙයි. එයින්, ඔබ ඔවුන්ගේ ආදර්ශකය විය යුතුමයි.

ඔබ ඔවුන්ට කියා දෙන හොඳ, නරක, අවවාද එලෙසම ඔබත් අනුගමනය කළොත්, ඔබේ දරුවා තුළ ඔබ ගැන ඉතා ඉහළ විශ්වාසයක් ඇති වෙනවා පමණක් නොව දෙවරක් නොසිතාම ඔබව අනුගමනය කිරීමටද පෙලඹෙනු ඇත.

ඒ සඳහා සුදුසුම දේ කායිකව පමණක් නොව මානසිකව ද මවක්, පියෙක් වීමට ඔබ සූදානම් වූ පසු පමණක් දරුවන් බිහි කිරීමය.

එනම්, ඔබේ කැමැත්ත, අකමැත්ත පසෙක ලා, ඔබේ ගති සිරිත් සකස් කරගෙන, අති විශාල කැප කිරීමක් කරන්නට ඔබ කායිකව මෙන්ම මානසිකවද සූදානම් නම් පමණක් දරුවෙකු බිහි කිරීමෙන්, ඒ දරුවාට ආදර්ශකයක් වීමට (role model) ඔබට අපහසු වන්නේ නැහැ.

මෙම රසවත් මෙන්ම හරවත් ලිපියෙන් අපට දැනුම දුන් අයේෂා චතුරාණි සිරිබද්දන වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. දැනට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන අයේෂා පූර්ව ළමාවිය අධ්‍යාපන වේදිනියක්(Educator of Early childhood Education and care)ලෙස ඔස්ට්‍රෙලියාවේ ප්‍රමුඛ ආයතනක පූර්ණ කාලීනව සේවය කරනවා.