ආදර පුතුනේ...

"...හොයා ගන්නට ඉස්තරම් දෙය ලොවේ, නොයා මා හැර ඉන්න ඔබ මගේ ලොවේ..."

අම්මාගේ ආදරය හරිම ගැඹුරුයි. කැප කිරීම අසමසමයි. ඒ ආදරය ඒ කැපකිරීම ලියා නිම කරන්නට බැහැ . ඒ උතුම් ආදරය සෙනෙහස කවි මලක් වු සුන්දර මොහොතක්:

ආදර පුතුනේ...

දරා නුඹ දස මසක් කුස පුරා

අරා පුන්සද සේ ආදරය  දරා

පුරා පැය ගණන් විද විලි රුදා

සරා  සසරේ නුඹ ආවා මා කරා

 

බලා මග නුඹ එන දිනක් තුරා

ගලා ආ සෙනෙහස හදවත පුරා

සලා අත්පොඩි නුඹ  දග කරා

හලා සිනා කැටි අපේ නිවස  පුරා

 

වලා කැටි අතරේ සැගවුන සිනා

බලා මගේ මව් හදවත මවිත  වුනා

සලා කදුලැල් ලපැටි ඇස් බොද වෙනා

ගලා ආ ආදරයෙන් මං අතරමං වුනා

 

මවා සුරලොව මිහිපිට නුඹටම පුතා

වවා සෙනෙහසම සේ සොදුරු තුරු ලතා

කවා ලොකු මහත් කලේ නුඹේ සුවපතා

දවා මව් හදවත දැවටුනා නුඹේ දුක් කතා

 

සොයා ජීවිතේ රස ඉගිලිලා ලොවේ

නොයා පසුපස  මිරිගුවක් වන මේ බවේ

හොයා ගන්නට ඉස්තරම් දෙය ලොවේ

නොයා මා හැර ඉන්න ඔබ මගේ ලොවේ