ඇයට අසුනක් දෙන්න අනාගත පරපුරට කියා දෙමු.

ආත්මාර්ථකාමී බව මොහොතකට අමතක කරමු. හිතන්න මොහොතක්, ඔබේ අම්මාත් ඔබව කුසේ දරාගෙන මෙහෙම යන්න ඇති නේද? ඔබ නැතිනම් ඔබේ බිරිද ඔබේ දරුවා කුස දරාගෙන මෙහෙම යන්න ඇති නේද? එහෙනම් ඔබේ දියණියත් ඇයගේ දරුවෙකු කුස දරාගෙන මෙහෙම යාවි...

පොදු ප්‍රවාහන සේවා තුල අනිවාර්යයෙන්ම අසුනක් ලැබිය යුතු කොට්ඨාස කිහිපයක් ඉන්නවා. පුජ්‍ය පක්ෂය, වැඩිහිටියන්, ආබාධිත අය, ගර්භණී මව්වරුන් හා දරුවන් වඩාගත් මව්වරුන් මේ අතරට ගැනෙනවා.

මේ අතරින් මම අවසාන කොට්ඨාස දෙක ගැන මදක් ඉදිරියට කථා කරන්න කැමතියි.

කාලය වෙනස් වෙලා දැන් ඉස්සර වගේ නෙමෙයි. අසුනක් ලැබිය යුත්තන්ට අසුනක් දීමටත් මිනිස්සු කැමති නෑ. මිනිස්සු හරිම ආත්මාර්ථකාමී වෙලා.

මගේ ගර්භණී සමයට මේ වේලාවේ මගේ හිත දුවගෙන යනවා. මම දවසකට උදේ හවස කිලෝමීටර් අසුවක් පමණ දුම්රියෙන් ගමන් කලා. මිනිස්සු අසුනක් දෙන්නේ කොච්චර අකමැත්තෙන්ද කියලා මම දැක්කා. ඔවුන් අසුනින් නැගිටින්නෙත් හිතින් බනිමින්, මුණේ ඉරියව් ප්‍රසන්න නෑ, අනේ මේ මිනිස්සු මගේ නුපන් දරු පැටියටත් බනිනවා  ඇති කියලා මම හිතින් දුක් වුනා.

මට මිනිස්සුන්ගේ අසුන් ගන්න උවමනාවක් තිබුනේ නැහැ. මට ඕනී වුනේ කාටවත් කරදරයක් නැතිව යන්න. අන්න ඒ නිසාම කොතරම් අපහසුකම් තිබුනත් මම කලින් එන්න පුරුදු වුනා.සමහරදාට දුම්රිය පොලට මුලින්ම ආවේ මම,ඒත් දුම්රිය ආපු ගමන් මට නගින්න අවස්ථාවක් නොදී මිනිස්සු පොර කා දුම්රියට නැගගත්තා. ඉන්පසු ඔවුන්  අසුන පිරිනමන්නට මැලි වුනා.

වරද කොතැනද?

ඇත්තෙන්ම මම මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබට මතක් කලේ අදද බොහොම  ගර්භණී කාන්තාවන්ට මේ තත්වය උදාවෙලා තියෙනවා කියලා මම දන්න නිසයි

ඇත්තටම වරද කොතැනද ? වරද තියෙන්නේ අපේ ආකල්ප වල, කාලයත් සමග අපි ආත්මාර්ථ කාමී වෙලා.

ඔව් ඔබට දුර යන්න තියෙනවා , ඔබට දවසම වැඩ කරලා මහන්සියි. ඔබට අසුනක් අවශ්‍යයි . ඒත් බලන්න ගර්භණී මවක් දිහා නැතිනම් දරුවෙක් වඩාගත් මවක් දිහා ඇයට ඔබට වඩා ඒ අසුන අවැසියි. බලන්න එයා ජීවත දෙකක් ලග තියාගෙන ඉන්නේ, වැටුනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.

ආත්මාර්ථකාමී බව මොහොතකට අමතක කරමු. හිතන්න මොහොතක්, ඔබේ අම්මාත් ඔබව කුසේ දරාගෙන මෙහෙම යන්න ඇති නේද? ඔබ නැතිනම් ඔබේ බිරිද ඔබේ දරුවා කුස දරාගෙන මෙහෙම යන්න ඇති නේද? එහෙනම් ඔබේ දියණියත් ඇයගේ දරුවෙකු කුස දරාගෙන මෙහෙම යාවි.

දැනට ආකල්ප වශයෙන් විනාශයට ගිය වැඩිහිටි පරපුර යථා තත්වයට ගෙන ඒම හරිම අසීරු කාර්යයක්, ඒත් අපගේ අනාගත පරපුර ඒ සදහා සුදානම් කලහැකි නේද?

මොනවාද අපිට කරන්න පුලුවන්.

1 . එවන් අයට දරුවා ඉදිරියේ අසුනක් පිරිනමා ආදර්ශමත් වෙන්න.

2. එවන් අයට අසුනක් ලබාදෙන්න දරුවාට අවස්ථාව දෙන්න.

3. එවන් අයට අසුනක් ලබාදිය යුත්තේ ඇයි යන්න දරුවාට වටහා දෙන්න

මෙවන් පුංචි ගුණාංග ප්‍රගුණ කිරීම මගින් ඔබේ දරුවාට හදවතක් ඇති සංවේදී දරුවෙක් වෙන්න ඉඩ දෙන්න.