ඇයට දවසක්ම නැතත් මොහොතක් දෙන්න. එය ඇගේ එකම සතුටයි

Share this article with other mums

"ඇය වෙනුවෙන් ලෝකයේ දිනයක් වෙන් වුනත් ඇය වෙනුවෙන් දවසකට මොහොතක්වත් ඉතිරි වෙන්නේ නැති විටෙක දිනයක් ගැන සිතීමත් ඇයට දුෂ්කරයි. නමුත් ඔබ මොහොතක් සිතන්න. ඇය නිවසේ නැති දවසක් කොයි වගේ තියේවිද?"

දවස පුරා බිරිඳකගේ මවකගේ වැඩ රාජකාරි ගැන ඇය මිස ගෙදර අය හුඟක් වෙලාවට දන්නෙවත් නැහැ. ඇය වෙනුවෙන් ලෝකයේ දිනයක් වෙන් වුනත් ඇය වෙනුවෙන් දවසකට මොහොතක්වත් ඉතිරි වෙන්නේ නැති විටෙක දිනයක් ගැන සිතීමත් ඇයට දුෂ්කරයි.

නමුත් ඔබ මොහොතක් සිතන්න. ඇය නිවසේ නැති දවසක් කොයි වගේ තියේවිද?

උදේ පාන්දරින් අවදි වෙන්න කණිසම හඬවන්නේ ඇයයි. ඉන්පසු උණු තේ කෝප්පයක්, පාසල් යන්නට අදිමදි කරන දරුවන් සනසමින් ඔවුන්ගේ කෑම වේල් පොත් බෑග් සුදානම් කරන්න, ඔවුන්ව සුදානම් කරන්න, ඔවුන්ගේ පාසලේ කටයුතු ගැන මතකයේ තබාගෙන ඒ ගැන දරුවන්ට මතක් කර දෙන්න.

මේ අතරේ කිරි කැටියෙක් සිටියොත් ඇයව එක අතකින් වඩාගෙන මේ කටයුතු ටික නොපමාව ඉටු කරන්න, ගෙදර ඒ ඒ සාමාජිකයා කැමති විදිහට කෑම වේල් සකසන්න, පමා නොවී රැකියාවට යන්න, සැමියට කෑම පාර්සලය ඔතන්න, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සොයා ළඟට දෙන්න.

ඔවුන් ගෙදරින් නික්ම ගිය පසු ඇය රැකියාවට යනවා නම් ඒ සමගම සුදානම්ව ඇයත් ගෙදරින් නික්ම යන්නට වෙනවා. එතකොට ගෙදර අනෙකුත් ඉතිරි වැඩ ටික ඇයට ආපසු සවස් කාලයේ අවසන් කරන්නට සිදුවෙනවා. එකී නොකී වැඩ කන්දරාවක් දවසේ පැය කිහිපයක් පමණක් මෙලෙස සටහන් කරන්නේ මේ ලැයිස්තුව ඉවරයක් නොවෙන නිසයි. ඒ පැය කිහිපය තුළ ඇය නොසිටියා නම් ගෙදර කොයිතරම් අවුල් සහගත දැයි ඔබ සිතා ඇත්ද?

අඩුම තරමින් ඒ ගැන ඔබ ඇයට කියන්නට කිසිදා සිතා ඇත්ද? නමුත් ගැහැනියකට ඒ ඇගයීම ලැබෙනවා නම් ඇය ඔය වැඩ කන්දට දෙගුණයක් වැඩ කරන්නට ශක්තිය ගන්නා බව ඔබ දන්නවද?

ඉතින් ඇයව අගයන්න දිනයක්ම නැතත් මොහොතක් ඇතැයි කියන්නේ ඒ නිසයි.

“අද කෑම එක හරි රසයි!”, සැමියාගේ කටින් එහෙම වචනයක් පිටවුණා නම් ඇගේ දවස ආදරයෙන් පිරි යනවා. “අම්මා practice වලට මාව එක්ක යන්න එනවට මම හරි ආසයි” අම්මට කොයිතරම් වැඩ තිබුනත් ඇය දරුවෙකු වෙනුවෙන් කාලය හොයා ගන්නේ ඒ වචන ටික ඇයට ප්‍රමාණවත් නිසයි.

දවසක් අවසානයේ “දැන් ඔය වැඩකළා ඇති. ඔයා දැන් නිදාගන්න” ඇයට නින්ද අහලකටවත් නොඑන්නේ ඔබේ අගය කිරීම මත තවත් ගෙදර වෙනුවෙන් වැඩ කරන්නට සිතෙන නිසයි. “මට අද අර මීටින් එක සම්පුර්ණයෙන්ම අමතක වුණා. ඔයා නැත්නම් මට ඒක මගහැරෙනවා”, වගේ පුංචි ඇගයීමකින් ඇයව අගය කරන දේවල් වල ඇති වටිනාකම, ගෙදර සාමාජිකයන්ට ඇයව දැනෙන බව ඇයව තේරුම් ගැනීම, ඇයට විශාල ශක්තියක් ලැබෙනවා. තෑගි බෝග නැතත් ඇය ඉන් සැනසෙනවා.

ගෙදර වැඩ කරන කාන්තාවත් රැකියාවට ගෙදරින් පිටතට යන කාන්තාවත් එක වගේම වැඩ කරන බව සිතන්න.

හුඟක් වෙලාවට ඔබේ බිරිඳ, අම්මා, රැකියාවකට යනවද කියලා ඇහුවොත් නිවසේ වැඩකරන අම්මලා හෝ බිරිඳ සඳහා ලැබෙන පිළිතුරු “නෑ. ගෙදර ඉන්නවා”. ගෙදර ඉඳන් මොකද කරන්නේ? “නිකන් ඉන්නේ…”. මේ තරම් ඇයට අගෞරව වන කතාවක් තවත් නැති බව මොහොතකට හිතන්න.

ඇය එක මොහොතක් ගෙදර නිකන් ඉන්නේ නැති බව ඔබ දන්නවද? අතලොස්සක් එසේ ගත කළත් බහුතර ආසියාතික කාන්තාවන් තම පවුල වෙනුවෙන් අපරිමිත වෙහෙසක් ගන්නේ ඇගේ සතුට වෙනුවෙන් නොව පවුල වෙනුවෙන් බව සිතන්න.

නිවසින් පිට වැඩකරන කාන්තාවට වුනත් එහි වෙනසක් නැහැ. ඇය රැකියාවක් කරන බව ගෙදර අය දැන සිටියත් ඇයගේ වගකීම් අඩුවන්නේ නැහැ. ඇගේ දවස, ඇගේ රාජකාරියෙන් නිම වෙන්නේ නැහැ. ඇයට යළි නිවසට ආපසු මොහොතක සැනසීම, ඔබේ වචන දෙකක් විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඇයට ඒ මොහොත දෙන්න. දවසක් නැතත් මොහොතක් දෙන්න.

ලෙඩට දුකට, සතුටට සිනහවට ඇගේ ගමන නවත්තන්න ඇයට බැහැ. ඇය නැවතුන තැන තවත් සාමාජිකයන් ගණනාවකගේ ජීවිත ගමන නැවතෙනවා. ඒ නිසා ඇය වෙනුවෙන් සැමරුම් නැතත්, ඇගයීම් නැතත්, නොනැවතී ඔබේ ගමන වෙනුවෙන් ඇය ඉදිරියටම යනවා.

ඇය කිසිවිට සිතින් ඇඬුවත්, වතින් එය පෙන්වන්නේ නැහැ. සිතේ ඇති සියලු දුක් සිනහවක මුසු කර ලෝකය ඉදිරියේ සිනාසෙන්නට ඇයට ඇති ශක්තිය කොයිතරම්ද? ඒ ශක්තිය වෙනුවෙන් හැම දවසකම මොහොතක් ඇයට දෙන්න.

ඊට එය පුටුවක හිඳගෙන සතුටු සමිච්චියකින් අවසන් විය යුතු දිග කතාවක් උවමනා නැහැ. සැමියෙකුට බිරිඳකගේ නළලට දෙන උණුසුම් හාදුවකින් එය කරන්න පුළුවන්. දරුවන්ට අම්මගේ ගෙල බදාගෙන ආදරය දෙන්න පුළුවන්. පුංචි වුනත් ලොකු මහත් වුනත් දරුවන්ට අම්මලාව බදා වැළඳ ගන්න බැරි ඇයි? දිනයක එක මොහොතකට අම්මව, බිරිඳව තුරුළු කරගන්න.

theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ඉල්ලනේ ඇයගේ ඒ ‘මොහොත’ විතරයි. ඇයට මොහොතක් දෙන්න. ඇගේ සතුට එයයි.  

(Featured image via Flickr, by Thalib).

For mum