ලංකාවේ රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල් හා ඉංග්‍රීසි අධ්‍යාපනය

ලංකාවේ ඉංග්‍රීසී අධ්‍යාපනය දරුවෙකුගේ අධ්‍යාපනයේ අඩිතාලමේ සිට පියවරෙන් පියවර ඉහළට ගෙනයාමට අඩු කාල පුහුණුවකින් පැමිණි ගුරුවරුන්ට හැකිද යන්න ගැටලු සහගතය.

ඉතාම කාලෝචිත මාතෘකාවක් වන ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන අපගේ සහෘද  ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක් වන ඉරංගා චත්‍රීනී ජයසුන්දර  මහත්මිය විසින් සමුහයට ලියු ලිපියක් ඔබ හා බෙදාගන්නට අදහස් කලේ එය ඉතාමත් කාලෝචිත මෙන්ම ප්‍රයෝජනවත් ලිපියක් ලෙස දුටු බැවිනි.

ඇයගේම වචන වලින් ලිපිය පහත උපුටා දක්වමු.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය

අද ලංකාවේ දරුවන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීමට දෙමාපියන් ලොකු සටනක් දෙනව. ඒත් දෙමාපියන් දරන ඒ මහා මහන්සියෙ ප්‍රතිඵල අපේක්ෂිත ලෙස ලැබෙනවද... අනෙකුත් සියලුම විෂයයන් අභිබවා ඉංග්‍රීසී සඳහා දෙමාපියන්, බාහිර පංති ගණනාවකට තම දරුවා ඇතුල් කර මහා සංග්‍රාමයක් කරත්, අද ලංකාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දත්ත විශ්ලේෂණයේදි සමස්තයක් ලෙස අඩුම ප්‍රතිඵල ඉංග්‍රීසි විෂයට ලැබෙන්නේ ඇයි. මම හිතන්නේ මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මුතු කැට ටිකේ භාරකාරයෝ විදිහට අපි හිතන්නේ නැති ඒත් සිතිය යුතුම ගැටලුවක්.

හරි! ඇයි අපිට මෙතරම්ම ඉංග්‍රීසි වැදගත්. ලංකාව අපේ අත්ත මුත්ත කාලේ සිට අවාසනාවකට අපේ දරුවන්ගේ කාලය වෙනකල්ම තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටක්. එය වෙනස් වන්නේ නැත්තේ අපේ රටේ බොහෝමයක් අංශවල පද්ධති වල වැරැද්ද ලෙසයි මා නම් දකින්නේ. ඉතිං තුන්වෙනි ලෝකයේ රටක් වෙන අපිට ලෝකයේ අනෙකුත් රටවල සම්බන්ධතා නැතුව ඉදිරියට යන්න අමාරුයි.

ගෝලීයකරණයත් සමඟ මුසුව හරි හරියට අපි මේ ගමන යා යුතු වෙනව. අන්න එතනදි අපිට සන්නිවේදනය සදහා එක් භාෂාවක් ඕනෙ වෙනව. එහෙනම් ඉංග්‍රීසී කියන්නේ සන්නිවේදනය සඳහා අවශ්‍ය මෙවලමක්. ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය මෙම මෙවලම ශක්තිමත් කරන්නක් විනා විෂයක්වත් සම්ප්‍රදායක් වත්, විලාසිතාවක් වත් නෙමෙයි. අපේ රටේ අධ්‍යාපන පද්ධතිය මෙන්ම අම්මලත් ඉස්සෙල්ලාම වරද්දගන්නේ ඔතන. ලංකාවේ අධ්‍යාපන අංශයට අනූව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය විෂයක්. අම්මලාට අනූව මෙය විලාසිතාවක්. ඒත් ඇත්ත ඉංග්‍රීසී යනු සන්නිවේදන මෙවලමක්. හරිම ප්‍රායෝගිකයි. 

ඒත් දරුවා මෙය දකින්නේ කළුම කළු පාට යකෙක් විදිහට. වසර ගණනක් දුෂ්කර සේවයේ පාසල් කීපයකම යෙදුන මම හැම පාසලකදීම ඉංග්‍රීසි කාලච්ජේයේදී මුලින්ම පංතියට දරුවන්ගේ මුහුණු අවපැහැ ගැන්වුනු හැටි තවමත් මතකයි.

මේ කළු යකාව මවල තියෙන්නේ ලංකාවේ අසාර්ථක අධ්‍යාපන ක්‍රමයයි. මම මේ විදිහට කියන්න කිසිලෙසක පසුබට නොවන්නේ මෙය පරම සත්‍ය නිසාමය. මෙහි මා දකින මූලිකම අඩුපාඩුව නම් පාසල් පද්ධතිට ඉංග්‍රීසී ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රමවේදයයි.

ඉංග්‍රීසි විෂය සදහා මූලික ලෙස විද්‍යාපීඨ හා උපාධි ගුරුවරුන් පාසල් පද්ධතියට බදවා ගනී. විද්‍යාපීඨ ගුරුවරුන් වසර තුනකින් ඒ විෂය සදහාම වූ සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුවකින් පත්වීම් ලබාදේ.

උපාධි ගුරුවරුන් බඳවා ගැනීමේදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයන් හදාරපු පිරිස් බදවා ගනී.

ලංකාවේ පාසල් ඉංග්‍රීසි අධ්‍යාපනයේ අවාසනාවන්තම කොටස ලෙස මා දකින්නේ ඉංග්‍රීසී භාෂා උපාධි ඇති ලංකාවේ හොඳම ඉංග්‍රීසි භාෂා දැනුමැති අය ලංකාවේ පාසල් අධ්‍යාපනයට දායක වීම ඉතා අඩු අගයක පැවතීමයි... බොහෝවිට ඉංග්‍රීසි උපාධියක් තිබුණත් ඇත්තේ විද්‍යාපීඨ අවසන් කළ පැමිණි ගුරුවරුන්ටය.

මා සිතන්නේ මව්වරුන් ලෙස ඔබ මේ යථාර්ථය දැනගතම යුතුය. වෙනත් විෂයයන් ඉංග්‍රීසී මාධ්‍යයෙන් හැදෑරූ අය සඳහා මසක පමණ පුහුණුවක් ලබා දී පත්වීම ලබාදේ. දරුවකුගේ ඉංග්‍රීසී අධ්‍යාපනය අඩිතාලමේ සිට පියවරෙන් පියවර ඉහළට ගෙන යාමට මෙවැනි අඩු කාල පුහුණුවකින් පැමිණි ගුරුවරුන්ට හැකිද යන්න ගැටලු සහගතය.

මීලඟට බොහෝ ඉංග්‍රීසී ගුරුපුහුණු වැඩසටහන් යාවත්කාලීන නොවූ කොල ගොඩකට පමණක් සීමා වී ඇත. පාසල් ඉංග්‍රීසී අධ්‍යාපනය ප්‍රබල ලෙස පහළ බැසීමට මෙයද එක් හේතුවක් ලෙස මම දකිමි.

රජයේ ඉංග්‍රීසි පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන ඉරංගා ජයසුන්දර මහත්මිය ඇයගේ අත්දැකීම් හා අදහස් ඔබ සැමත් සමඟ බෙදා ගත්තේ එය ඇගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සලකායි. මෙම කාලෝචිත දැනුවත් කිරීම වෙනුවෙන් අපගේ හෘදයංගම ස්තූතිය පිරිනමනවා.

 

දරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද? ලිපියත් බහු භාෂා සම්බන්ධයෙන් දෙමාපියන්ට වැදගත් වන තවත් ලිපියකි.