නොකියාම ආ අමුත්තාගෙන් මං ඉගෙන ගත් පාඩම : උණ වලිප්පුව

උණ වලිප්පුවට ඔබත් බයයිද?

මේ උණ වලිප්පුව ගැන අහලා තිබුන පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක්, ඒත් මට හිතුනා මගේ මේ පෞද්ගලික අත්දැකීම ලිපියක් කරලා අනෙක් අම්මලාටත් මේ දැනුම දෙන්න ඕනී කියලා.

මමත් මගේ දුව නිසා උණ වලිප්පුවෙන් බැට කාපු අම්මා කෙනෙක්,මගේ දුවට ෆිට් එක එනකොට අවුරුදු දෙක පහු වුනා විතරයි .මට පුංචි කාලේ හැදිලා තිබුන නිසා දුවට හැදුනා වුනත් මගේ අම්මාටයි තාත්තටයි හැදිලා නැති වුනත් මට හැදිලා තිබුනා .හැබැයි තාත්තාගේ පරම්පරාවේ ඒ ලෙඩේ තිබුනා.

එදා මට අද වගේ මතකයි. එදා අම්මලා ගෙදර හිටියෙත් නැහැ. බබාට උණ තිබ්බ නිසා මායි, මහත්තයායි ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත් අරන් ආවා. එයාට පැරසිටමෝල් පොවලා. මං රාත්‍රියට  උයන්න පටන්ගත්තා. එදා මගේ නංගි හිටියෙත් ගෙදර , එකපාරටම නංගි යටිගිරියෙන් කෑගැහුවා.

මමත් මහත්තයාත් සාලෙට දුවන් ආවේ එකටම , අනේ අපි දෙන්නාගේ දරු පැටියා නංගිගේ අතේ ගැහෙමින් හිටියා. අපි උණ වලිප්පුව ගැන වැඩිය දැනන් හිටියේත් නැහැ. ඒ වේලාවේ ඒක මතක් වුනෙත් නැහැ . ප්‍රථමාධාර දැනන් හිටියෙත් නැහැ.

අපි කලේ ෆිට් එක හැදිලා ගැහෙන දරුවාව උඩට වඩාගෙන හොදටම කලබල වෙලා රෝහලටම දුවපු එක. ඊටපස්සේ රෝහලේදී එක පාරක් ෆිට් එක හැදුනාහමත් මං කලේ තුරුල්  කරන් අඩපු එක, වාසනාවකට දරුවාට අනතුරක් වුනේ නැහැ. ඒත් එදා අපි කරලා තියෙන්නේ කොච්චර අවදානම් සහිත දෙයක්ද කියන එක මතක් වෙනකොටත් මගේ ඇග හිරිවැටෙනවා.

ඇත්තටම එදා අපි අනුගමනය කරපු පිළිවෙල හරිම වැරදියි කියලා මට හිතෙන්නේ දැන්, තවත් අම්මා කෙනෙකුට එහෙම නොවෙන්න මං එකතු කර ගත්ත මේ දැනුම මං ඔයාලට දෙනවා.

පෙනුමෙන්  බොහොම  භයානක වුනත් අහිංසක ලෙඩක්,හැබැයි සෙම හිරවීමෙන් හරි ෆිට් එක හැදිලා වැටෙනකොට වෙන අනතුරකින් හරි දරුවාට මාරාන්තික අනතුරු වෙන්න පුලුවන්.ඒ වගේම උණ හැදෙන ඕනෑම වෙලාවක ෆිට් එක එන්න පුලුවන් .උණ හැදුන පළමු පැය 48 තුල ෆිට් එක එන්න වැඩි අවදානමක් තියෙනවා.හොදම දේ තමා ශරීර උෂ්ණත්වය පාලනය කර ගෙන සිටීම ,මේ සම්බන්ධව වැදගත් වෙන තොරතුරු ටිකක් මං ඔයා එක්ක  බෙදා ගන්නම්.

1. උණ හැදුන වහාම පැරසිටමෝල් නියමිත මාත්‍රාව දෙන්න.

2. හිස සිසිල් කිරීමට ඕඩික්ලෝන් ටිකක් ඔලුවට දමා ඕඩික්ලෝන් පෙගවුමක් නලලේ අතුරන්න.උණ බසින තුරු ඔලුව සිසිල්ව තබා ගන්න .

3.මද රස්නේ වතුරෙන් කිහිලි යට, ඉකිලි යට, බෙල්ල යට ,යටි පතුල් හා අත්ල ශරීරයේ උෂ්ණත්වය අඩු වෙන තුරු තෙමන්න.

4,බර අනුව නියමිත දියර ප්‍රමාණයක් පානයට සැලැස්වීමෙන් ශරීර උෂ්ණත්වය පාලනය කර ගත හැක.

5.දරුවා ගැන විමසිල්ලෙන් සිටින්න .දැඩි උණ අවස්ථා වල කෑම කැවීම දියර පෙවීමට යෑමෙන් එම අවස්ථාවේ ෆිට් එක ආවොත් පිටි උගුරේ යෑමේ අවදානමක් ඇත.

6. ෆිට් එක ඒමේ අවදානම අඩු කරන බෙහෙත් ඇත .වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ලබා ගන්න.මතක තබා ගන්න ඒ මගින් ෆිට් එක එම නවතින්නේ නෑ අවදානම අඩු වෙනවා පමණයි..තව දුරටත් ඔබේ දැඩි විමසිල්ල දරුවාට අවශ්‍යයි.

ෆිට් එක හැදුන විට

බය වෙන්න එපා.ඔබේ දරුවාට ප්‍රථමාධාර අවශ්‍යයි .ඔබ ශක්තිමත් වෙන්න .

ෆිට් එක හැදුන දරුවා වහාම සමතලා බිමක වම් ඇලයට හරවා තබන්න .දරුවාගේ මුහුණද වම් ඇලයට හැරී තිබිය යුතුය .එවිට සෙම මුඛයෙන් ඉවතට බේරේ .විනාඩි කිහිපයකට පසු දරුවා ගැහීම නතර වු පසු මුර්ජා තත්වයට හෝ නින්දට වැටෙනවා.ඉන් පසු සිටින ඉරියව්වෙන්ම( වම් ඇලයට ) ලගම ඇති රෝහලක් වෙත ගෙන යන්න.ෆිට් හැදි සිටින දරුවාගේ මුවට කිසිම දෙයක් ඇතුල් කරන්න එපා.බයවෙන්න එපා කිසිම විටෙක දරුවාගේ දිව හැපෙන්නේ නෑ .

ෆිට් එක හැදිලා දරුවාව රෝහලට ගෙනියනවාට වඩා ෆිට් එක හැදෙන එක වලක්වගන්න එක හුගාක් වැදගත් .