ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම (Diastasis recti) ගැන පැහැදිළි කිරීමක්

හැම ගර්භණී අම්මා කෙනෙක්ම සාමාන්‍ය වශයෙන් මෙම පුළුල් වීමට මුහුණ දෙනවා. ඒත් බබා ලැබුණට පස්සේ එය සාමාන්‍ය තත්වයට පත් වෙනවා. ඒත් 30% පමණ ප්‍රමාණයකට උදරය එල්ලා වැටීම නොහොත් diastasis recti තත්වය ඇති වන බව කියැවෙනවා.

උදරය එල්ලා වැටීම යනු අලුතින් බබා ලැබුණු ගොඩක් අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි. අපේ රටේ මේ තත්ත්වය පිළිබඳව හොඳ දැනුවත් කිරීමක් සිදු වෙන්නේ නෑ කියලා මට හිතෙනවා. මේ මමත් මුහුණ දුන්නු අත්දැකීමක් නිසා අපගේ පාඨකයින් සමඟ මේ අදහස්වැ බෙදාගන්න හිතුවා.

මෙසේ කියන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක් වන පබෝදනී තෙන්නකෝන් මහත්මිය විසින් සමුහය සමඟ බෙදාගත් ලිපියක් තුලිනි. පසුගියදා දරුවා පහසුවෙන්ම ද්විභාශා හෝ බහුභාශා චතුරත්වය ප්‍රගුණ කිරීම හා සම්බන්ධ මිත්‍යා මතදරුවාට භාෂාවන් වැඩි ගණනක් කතාකිරීමේ හැකියාව ප්‍රගුණ කරගන්නේ කෙසේද? ලිපි තුළින් අප දැනුවත් කල ඇය අද අප දැනුවත් කරන්නේ බොහෝ මව්වරුන් මුහුණ දෙන ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම ගැනයි.  එය ඇගේම වචන වලින් ඔබ වෙත ගෙන එමු.

මගේ පළවෙනි බබා ලැබිලා ටික දවසකින්ම මගේ උදරය සාමාන්‍ය තත්ත්වෙට පත් වුණා. හැබැයි අවුරුදු 4 කට පස්සෙ ලැබුණු දෙවෙනි බබාගෙන් පස්සෙ උදරය අඩු වුණේම නෑ. ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම මට හිසරදයක් වුනා. 

දැන් මගේ දූට වයස මාස 6 යි. උදරය එල්ලා වැටීම අඩු වෙලා නැහැ. තවමත් උදරය විශාලයි. බබා ලැබුණා කියලා දැන දැනමත්, බබා ලැබිලා මාස 2 කට 3 කට පස්සෙත් සමහරු තාම බබා ලැබුණෙ නැද්ද අහලා හිත රිදවපු වාරත් අනන්තයි. මම කොහොමත් ටිකක් මහත ශරීරයක් තියෙන කෙනෙක් වුණාට, බබා ලැබෙන්න ඉන්නකොට තිබුණු විදියටම උදරය විශේෂයෙන් කැපිලා පෙනුනා මෑතක් වෙනකල්ම.

මේ අතරෙ තමයි මං මේ ගැන ටිකක් හොයන්න ගත්තේ. මගේ වෛද්‍යවරයත් මට මෙහිදි හුඟක් උපකාර කළා. පස්සෙ දැනගත්ත විදියට ප්‍රසූතියෙන් පසු උදරය එල්ලා වැටීම යන තත්වයට කියන්නෙ diastasis recti කියලා. 

අපි බබාලා ලැබෙන්න ඉද්දි උදරය විශාල වෙනකොට අපේ උදර මාංශ පේශීන් ඇදීමකට ලක් වෙනවා. මේ නිසා අපේ උදරය මැදින් එකිනෙක හමුවන දෙපස තියෙන විශාල මාංශපේශීන් වෙන් වීමකට ලක් වෙනවා. ගර්භණී භාවය විසින් ඇතිවෙන හෝමෝන වර්ගත් මෙම මැද ඇති පටලය මෘදු භාවයට පත් කරනවා.

හැම ගර්භණී අම්මා කෙනෙක්ම සාමාන්‍ය වශයෙන් මෙම පුළුල් වීමට මුහුණ දෙනවා. ඒත් බබා ලැබුණට පස්සේ එය සාමාන්‍ය තත්වයට පත් වෙනවා.ඒත් diastasis recti 30% පමණ ප්‍රමාණයකට ඇති වෙන බව කියනවා. diastasis recti තත්වය පවතිද්දි උදරය මැද ඉදිමීමක් හෝ ගෙඩියක් වගේ දෙයක් පෙනෙන්නත් පුළුවන්. හාන්සි වෙලා ඉන්න අතර කැස්සොත්, හිනා වුණොත් මේ මාංශ පේශී අතර මැද කොටස ඉදිරියට නෙරා එනවා.

උදරය එල්ලා වැටීම සිදු වී ඇතිදැයි බැලීමට ස්වයං පරික්ෂාව 

තමන්ට diastasis recti තත්වය තියෙනවාද බලාගන්න පොඩි පරීක්ෂණයක් කරගන්න පුළුවන් තමන්ටම. ඇඳක හෝ බිම හාන්සි වෙලා කකුල් දෙක නවා පොළොවට තද කරගෙන ඇගිලි දෙකක් පෙකණිය මත තියලා හිස මඳක් උඩට ගෙන එනකොට ඇඟිලි දෙක අසල ඇඟිලි දෙකකට වඩා ඒ කියන්නේ සෙ.මී 2.7 කට වඩා ප්‍රමාණයක හිස් තැනක් එනවා නම් ඒ diastasis recti. මේ පරීක්ෂණය කරන හැටි ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් වලින්ම බලාගන්නත් පුළුවන්.

මේ තත්වයේදී සාමාන්‍ය ව්‍යායාම කරලා යථා තත්ත්වයට ඒම අපහසුයි. එහෙම කරල මේ තත්වය වැඩි වුණ කිහිප දෙනෙක්ම මම දන්නවා. ඒක නිසා ඒ සම්බන්ධ පුහුණු කෙනෙක්ගෙන් උපදෙස් ගන්නවා නම් හොඳයි.

මේ තත්වයෙන් පීඩා විඳින අය අපේ රටේ ගොඩක් හිටියට මේ ගැන හරියාකාර අවධානයක් ලැබෙන්නේ නැහැ. අපි ඉතිං පැත්තකට වෙලා දුක් වෙනවා. සමහර වෙලාවට මේ වගේ තත්වයක් තියෙන කෙනෙකුට නොදැන හිනා වෙන්නත් ඉඩ තියෙනවා.

පබෝදනී 

මෙම වටිනා දැනුම ශ්‍රී ලංකන් මම්ස් සමුහය තුළින් අප වෙත ගෙනා පබෝදනී තෙන්නකෝන්  මහත්මිය වෙත නැවතත් TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. රජයේ භාෂා පරිවර්තිකාවක් ලෙස කටයුතු කරන පබෝදනී මහත්මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා උපාධියක් ලබාගෙන ඇති අතර ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය හා සිංහල භාෂාව හා සාහිත්‍යයද විෂයන් ලෙස හදාරා ඇත. ජත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරා ඇති ඇය කොළඹ නගරයේ වෙසෙන දෙදරු මවකි.