උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

දිනපතා එකම වෙලාවකදී උපත් පාලන පෙති එක බැගින් දින දර්ශනයක සටහන් තියාගනිමින් බොන්නට නියම කෙරෙනවා.  වඩාත් යෝග්‍ය වන්නේ සැමදා රාත්‍රියට පෙත්ත ගැනීමයි.

උපත් පාලන පෙති කියන්නේ අද කාලයේ විවාහක යුවලක් හෝ මව් පියවරුන් පමණක් නොව වැඩිවියේ පසුවන ඕනෑම ගැහැණු මෙන්ම පිරිමි දරුවකුද දැනගත යුතු උපත් පාලන ක්‍රමයක්.

අද සමාජයේ නොයෙක් හේතුන් නිසා විවිධ උපත් පාලන ක්‍රම ගැන තරුණ වැඩිහිටි කාවත් දැනුවත් කෙරෙනවා. මේ විවිධ ක්‍රම අතුරින් වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස උපත් පාලන පෙති සලකන්නට පුළුවන්.

උපත් පාලන පෙති භාවිතා වන්නේ කුමක් සඳහාද?

නමින්ම කියැවෙන පරිදි උපත් පාලන පෙති භාවිත වන්නේ උපත් පාලනය සඳහායි නැතහොත් එදිනෙදා ඇති විය හැකි ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා භාවිතා වන ඖෂධයකි. විවිධ වර්ගයේ උපත් පාලන පෙති වර්ග තිබෙන අතර දෛනික පාවිච්චියට නම් ප්‍රමිතියෙන් උසස් පෙති වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුය. ගැබ් ගැනීම වැළැක්වීමට අමතරව වෙනත් හෝමෝන අසමතුලිතතා වැනි රෝග වලටද උපත් පාලන පෙති භාවිතා  කෙරේ.

උපත් පාලන පෙති මගින් ගැබ් ගැනීමක් වලක්වෙන්නේ කෙසේද?

සරලවම කියනවා නම් මෙමගින් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වීම පාලනය කෙරෙනවා. මෙම පෙති වල අන්තර්ගත හෝර්මෝන වර්ග දෙකක් අඩංගු අතර එමගින් ඩිම්බ මෝචනය වීම පාලනය කෙරෙනවා. ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති ඇති අතර ප්‍රොජෙස්ටරෝන් පමණක් අන්තර්ගත පෙතිද වෙළඳපොලේ ඇත. මිතුරි පෙති නම් ඊට නිදසුනක්. මේ පෙති මගින් සිරුරේ ස්වභාවික හෝමෝන චක්‍රයට බලපෑමක් ඇති කොට ගැබ් ගැනීමක් වැළැක්වනු ලබනවා.

උපත් පාලන පෙති භාවිතා කරන්නේ කෙසේද?

ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් යන හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වල දවස් 21ක් ගන්නා පෙති මෙන්ම දවස් 28ක් ගන්නා පෙතිද අඩංගු වනවා.

සාමාන්‍යයෙන් මිතුරි පෙති ගැන සැලකුවහොත් එහි පෙති පැකට් එකක පෙති 28 ක් තිබෙනවා. එනම් කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණනට අනුව මේ පෙති පෙලගස්වලා තියෙනවා. පැකට්ටුවේ පිටුපස මෙම පෙති ගන්නා අකාරය පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

මේ සඳහා වැඩිපුර දැනුවත් කිරීමක් අවශ්‍ය නම් පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන්විමසන්නට පුළුවන්. දින දර්ශනයක සටහන් තියාගනිමින් බෙහෙත් ගන්නට හැකි නම් අමතක වීම් මග හරවා ගන්නට පුළුවන්.

දිනපතා එකම වෙලාවකදී පෙත්ත බැගින් බොන්නට නියම කෙරෙනවා.  වඩාත් යෝග්‍ය වන්නේ සැමදා රාත්‍රියට පෙත්ත ගැනීමයි. මෙය දිනපතා මග නොහැර පාවිච්චි කල යුතු අතර වැරදිලා හෝ එක දවසක් අමතක වුනොත් ඊට පහුවදා පෙති දෙකක් බොන්නට යැයි පෙති පැකට් එක පිටුපස හෝ ඖෂධ පත්‍රිකාවේ හෝ සඳහන් වී ඇති. නමුත් මෙසේ අමතක වුවහොත් දවසක් හෝ දෙකක් කොන්ඩමයක් වැනි වෙනත් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කිරීමද පරිස්සමට හොඳයි.

මෙම පෙති පත්‍රිකාව ඕනෑම දිනක පටන් ගත හැකි මුත් ඔසප් වීම ඇරඹිලා නම් පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත ගැනීම වඩාත් සුදුසුයි. නමුත් පෙති පාවිච්චි කරන්නට පටන් ගත මුල් දින සිට දින හතක්වත් යන තුරු ලිංගික සංසර්ගයේදී කොන්ඩම් භාවිතා කරන්නට යැයි උපදෙස් දෙනවා.

උපත් පාලන පෙති මගින් ඇතිවිය හැකි අතුරු අබාධ

උපත් පාලන පෙති මගින් වඩාත් සුලභ අතුරු ආබාධ වන්නේ ඔක්කාරය, හිසරදය, පියයුරු කැක්කුම, බර වැඩි වීම, අක්‍රමවත් ලේ ගැලීම සහ මනෝගෘත වෙනස්වීම් වේ.

මාස කිහිපයක පාවිච්චියෙන් පසු මෙම අතුරු අබාධ කෙමෙන් මග හැරෙනු ඇත.

කඩින් කඩ අක්‍රමික ඔසප් වීම් සිදුවිය හැකි නමුත් මෙය බොහෝ විට තාවකාලික තත්වයකි

ඉරුවාරදය (migrains) පිළිබඳ ඉතිහාසයක් ඇති කාන්තාවන්ට ඉරුවාරදයෙහි වැඩි වීමක් දැකිය හැක. අනික් අතට, හෝමෝන මට්ටම්වල සමතුලිත වීම හේතුවෙන් උච්ච ඉරුවාරද (migrains) තත්ව වලට මුහුණ දුන් කාන්තාවන්ගේ මෙම තත්වය සමනය වනු ඇත.

කලාතුරකින් ඇති විය හැකි අතුරු අබාධ විය හැක්කේ රුධිර පීඩනය, රුධිර කැටි ගැසීම්, හෘද ආබාධ සහ ආඝාතය වැඩි වීම හා මුඛ පිළිකා තත්වයන් වේ.

වයස අවුරුදු 35ට වැඩි දුම්පානය කරන කාන්තාවන්ටත්, විශේෂයෙන් වකුගඩු රෝගීන් සහ ඇතැම් රෝග තත්වයන් ඇති කාන්තාවන්ට, රුධිර කැටියකට හෝ පියයුරු හෝ එන්ඩෝමෙටික් පිළිකා වැනි රෝගාබාධවලට ගොදුරු වූ කාන්තාවන්ටත් උපත් පාලන පෙති භාවිතයෙන් වැලකි සිටීමට උපදෙස් දෙනවා.

දත්ත එකතුව අනිවා.lk සහ www.plannedparenthood.org වෙතිනි.

ඒ ඒ වයස් වලදී ගැබ් ගැනීම ආශ්‍රයෙන් තවත් ලිපියක් වයස අවරුදු 20, 30, 40 ගනන් වල ගැබ් ගැනීම ගැන ඔබ දත යුතු දේ මෙතැනින්.