ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

lead image

ඔබේ පුංචි පැටියාගේ නිවස තුල ආරක්ෂාව විතරක් ප්‍රමාණවත්ද?

අපේ ජිවිතය තුල අප සතු වටිනම දේ දරුවන් වේ. දෙමාපියන්  වශයෙන් අපි අපේ දරුවන් වෙනුවෙන් සියලු දේ කැප කරන්නෙමු. එයිනුත් දරුවාට ඉතා ආරක්ෂා කාරී වටපිටාවක් සැදීමට අපි හැම විටම වෙහෙස වෙමු.

මොහොතක් හිතන්න.

නිවසේ අනාරක්ෂිත විදුලි උපකරණ කියක් නම් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉවත් කලාද? අනාරක්ෂිත පොකුණු ,වතුර වලවල් කීයක් නම් ඉවත් කලාද? දරුවා පාරට දුව යන එක වැලැක්වීම සදහා ගේට්ටුවක් වැටක් භාවිතා කලා නේද?

මේ සේරටම වඩා දරුවාගේ නිවසේ ආරක්ෂාව වගකීමෙන් යුක්ත වැඩිහිටියෙක් අතට පත් කලා නේද ? ඒත් ඔබේ පුංචි පැටියාගේ නිවස තුල ආරක්ෂාව විතරක් ප්‍රමාණවත්ද?

නිවසෙන් පිට සමාජයට යන ඔබේ දරුවා

ඔබේ දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම ඔහු බාහිර සමාජය වෙත යොමු කල යුතුවෙයි.එහිදි ඔබේ දරුවා පිටස්තර ස්ථාන ,දේවල් හා පුද්ගලයන් සමග ගනු දෙනු කිරීම ආරම්භ කරයි.

ඔබේ දරුවා සිටින්නේ තමන් හා සිටින අය අනුකරණය කරන වයසකය. ඒ වගේම ඔහු ජීවිතයේ නව අත්දැකීම් ලබමින් සිටියි. නිවසේ පරිසරය තුල ඔබට දරුවා පසුපසින් ඉදිමින් ආරක්ෂාව සැපයිය හැකි වුවද බාහිර පරිසරයේදි ඔබට ඒ සදහා මැදිහත් විය හැකි සීමාවන් ඇත.

මේ බාහිර සමාජය  හැම විටම සුරක්ෂිතද?

බාහිර සමාජය කිසිවිටෙක වත් සුරක්ෂිත නැහැ. බාහිර සමාජය ලෙස ඔබේ දරුවා මුලිකව ඇතුල් විය හැකි ස්ථාන කිහිපයක් ලෙස පෙර පාසැල,පාසැල, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ,පාසැල් වෑන් රථය,ටියුෂන් පංති වැනි ස්ථාන සැලකිය හැක.

ඔබ කොයිතරම් වෙහෙසිලා ප්‍රමිතියෙන් උසස් ස්ථානයක් සොයා ගත්තත් එම ස්ථාන සීයයට සීයක් සුරක්ෂිත බවට වගකීම් සහතිකයක් ලැබෙනවාද? එවැනි ස්ථාන වලත් දරුවන් අනතුරට ලක් වී නොමැතිද? ඔවුන් එසේ වගකීමක් දෙන බව ඔබට පවසාවි.එහෙත් ඔබේ පුංචි පැටියාට අනතුරක් වුවහොත් ඒ වගකීමෙන් ඇති ඵලය කුමක්ද ?

නිවසෙන් පිටදී දරුවා ආරක්ෂා කර ගත යුත්තේ ඇයි?

බාහිර පරිසරය කොතරම් අනතුරු දායක ස්ථානයක් වුවත් දරුවා නිසි කලට සමාජ ගත කල යුතුමය. එය මනා අවබෝධයෙන් කල යුතුය. විවිධ ශාරිරික අනතුරු වලට මුහුණ දීමෙන් ඔබේ දරුවා අබාධිත විය හැකි සේම මනසික හිංසා වලට ලක්වන දරුවා විකෘති මනසින් යුත් පුද්ගලයෙකු ලෙස අනාගතයේදී සමාජගත වේ.එමනිසා නිවස තරම් ආරක්ෂිත පරිසරයක් බාහිර සමාජයේ ඔබට නිර්මාණය කල නොහැකි වුවත් ඔබට දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය හැකිය .

දරුවා අනාරක්ෂිත විය හැකි අවස්ථා කිහිපයක්

නිවසින් පිටදි දරුවා අනාරක්ෂිත විය හැකි අවස්ථා බොහෝය. ඔබගේ අවධානය පිණිස  ඉන් කිහිපයක් මා මෙහිදී මතක් කරන්නම්.

  • පාසැල් වාහනය - පසු ගිය දින වල අනාරක්ෂිත රිය පැදවීම නිසා පාසැල් වාහන කිහිපයක් අනතුරට ලක් වීම මත දරුවන්ද තුවාල ලැබුවා එමෙන්ම පාසැල් වාහන රියදුරන් අතින් අතවරයට ලක් වු දියණියන් මෙන්ම පුතනුවන් ගැනද ශෝචනීය පුවත් අසන්න ලැබුනා.
  • පෙර පාසැල්,පාසැල් තුල ඉදිවෙමින් පවතින ගොඩනැගිලි,අනාරක්ෂිත වාහන හා ගස් නිසා සිදු වු අනතුරු සේම ගුරුවරුන් හෝ යහලුවන් අතින් සිදුවුන මානසික වද හිංසන අපට අසන්න ලැබුනා.තවද දරුවන් පැහැර ගැනීම්ද වාර්තා වුනා
  • දිවාසුරැකුම් මධ්‍යස්ථාන  තුල දරුවන්ට විවිධ නිද්‍රා ඔසු ලබා දීම් හා අතවර සිදු වු අවස්ථා වාර්තා වී තිබෙනවා
  • ටියුෂන් පංති වල අතවර සිදුවීම් මෙන්ම එකතු වු දරුවන් කණ්ඩායම් මත දරුවා නොමග ගිය අවස්ථා වාර්තා වී තිබෙනවා .

මේ ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි.ඔබ අවට ලෝකය දෙස විමසිල්ලෙන් බැලුවොත් මීට වඩා සංකීර්ණ උදාහරණ බොහොමයක් සොයා ගත හැක.

නිවසින් පිටදීද දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද ?

නිවසින් පිටට යන ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට ඔබට මහත් වෙහෙසක් ගැනීමට සිදුවෙයි. ඒ සදහා අනුගමනය කල හැකි සරල පියවර කිහිපයක් අපි බලමු.

  • දරුවා බාහිර පරිසරයට යවන සෑම විටම එම පරිසරයේ වට පිටාව අතීතය හා වර්තමානය ලෙසින් ගැඹුරින් සොයා බලන්න.
  • දරුවාට අවට පරිසරයෙන් සිදු විය හැකි අනතුරු සරලව වටහා දෙන්න .එමෙන්ම එම අනතුරු වලින් වලකින අයුරු ඔවුන්ට කියා දෙන්න.
  • දරුවාට ලංවෙන්න.දරුවා සමග කතා කරන්න.ඔවුන් පවසන දෑ අවධානයෙන් අසා සිටින්න.
  • දරුවාගේ වෙනස් හැසිරීමක් දුටුවහොත් ඉක්මනින්ම දරුවා හා කථා කරන්න.ඒ වගේම ඔහු ගැවසෙන පරිසරය තියුණුව නිරීක්ෂණය කරන්න.
  • දරුවා ගැවසෙන බාහිර පරිසරයේ ස්ථාන වලට මසකට දවසක් වත් ගොස් සොයා බලන්න.

මේ සරල පියවර කිහිපයක් පමණි. මවක් හෝ පියෙකු වශයෙන් ඔබේ දරුවා හා බාහිර පරිසරය අතර සිදුවන ගණුදෙනු  වලදී  දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබට වැදගත් කාර්‍යභාරයක් ඇති බව අමතක නොකරන්න.