කිරිකැටියෙකු බලාගන්න කළහැකි අපූරු ලාංකික සම්ප්‍රදායික ක්‍රම

කිරිකැටියාට අත්තම්මාගෙන් ලැබුණු අපේ පිළිවෙත් අදටත් හරිම වටිනවා. මේ ඉන් වැදගත් වතාවත් කිහිපයක්.

එදා පුංචි කිරිකැටියා ගෙදරට ගෙනදා ඉඳන් කරන වතාවත් අදටත් එලෙසම ගැලපෙනවා. වර්තමානයේ කාලය සමග කරන අරගලය මේ දේවල් වලට හරස් වුනත් එම හැම සිරිතක් හා ක්‍රියාවක් පිටුපසම ජීව විද්‍යාත්මක සත්‍යක් තිබෙනවා.

හිල් පොල් කට්ටෙන් නෑවීම

එදා හිල් පොල් කට්ටක් දරුවන් නැහැවීමට භාවිතා කළේ දරුවාගේ හිස් කබලට ඉන් ජලය වැටෙන විට ඇතිවන පීඩනය අවම කිරීමටත් දරුවාට මුහුණට නළලට ඉතා ක්‍රමවත්ව වතුර දමමින් වතුරට ආදරය කැමැත්ත දක්වන දරුවෙකු ඇති කිරීමේ අරමුණිනුයි. එහි ප්‍රමාණය හා ගන්නා කාලය දරුවාට ඉතා සෞම්‍ය වගේම මෘදු බවකින් යුතු වුණා.

රත්මල් හා වෙනිවැල් ගැට තැම්බූ වතුර

එදා නාන වතුර බේසමට වෙනිවැල් ගැට තැම්බූ වතුර එක් කිරීම සිරිතක් ලෙස කරනවා. එය සිරිතක් වගේම ජීව විද්‍යාත්මක වන්නේ අලුත උපන් පැටියාට සමේ ඇතිවිය හැකි අසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණය මෙම වෙනිවැල් ගැට යුෂ වලට තිබීම මෙයට හේතුව ලෙස එදා විශ්වාස කළා. රත්මල් යුෂ වලත් ඉතා වටිනා විෂබීජ නාශක ගුණ ඇති අතර මෙම දෙවර්ගයම සමට පැහැපත් පෙනුමක්ද ලබා දෙනවා.

වදකහ

අලුත උපන් පැටියාගේ ප්‍රතිශක්තිය එතරම් වර්ධනය වී නැති බව එදා ඉඳන් අපේ ගම්වල දැනුවත්ව හිටියා. මේ නිසා අලුත් පැටියෙකු ගෙදරට ගෙන ආ දවසට වදකහ කුඩා කැබලි ලෙස අමුණා පැටියාගේ අතේ වළල්ලක් රඳවන්නේ විෂබීජ වලින් දරුවාට වන හානි වලින් බේරා ගන්නයි.

පෙරුම්කායම්

පෙරුම්කායම් පැරණි ඖෂධ වෙළඳසැල් වලින් ලබාගන්න පුළුවන් වගේම බෝවන රෝග වලින් වැළකීමට පෙරුම්කායම් වලට හැකියාව ඇති බව විශ්වාස කළා. පෙරුම්කායම් දරුවා සිටින කාමරයට හා දරුවා නිදන ඇඳ අසල තැබීමට එදා වැඩිහිටියන් පියවර ගත්තා. ඉන් දරුවා විෂබීජ වලින් ආරක්ෂා කරනවා.

ඉක්කාවට නූලක්

අලුත් පැටියන්ට නිතර ඉක්කාව ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් එදා අපේ අත්තම්මලා සීයලා දරුවාගේ ඇඳුමක නූලක් අරගෙන තෙමා දරුවාගේ නළලින් තබනවා. ජීව විද්‍යාත්මකව ඉක්කාව ඇති දරුවෙකුගේ නළල මත තෙත නූල් කැබැල්ලක් තැබීමට හේතුව දරුවා තුළින් ඉක්කාවට ඇති අවධානය දුරුවී ඔහුගේ අවධානය තෙත නූලට යොමුවීමෙන් ඉක්කාව ඉබේම මගහැරී යනවා.

පැටියාගේ ඇඳුම් සෝදා මිරිකන්න එපා

ඉස්සර අත්තම්මලා, ආච්චිලා, සීයලා අලුත් අම්මලාට දෙන තවත් පණිවිඩයක් තමයි පැටියාගේ ඇඳුම් සෝදා මිරිකන්න එපා කියන එක. සමහරු ඊට කිව්වේ දරුවා ඒ නිසා ඇඹරෙනවා, මිරිකෙනවා වගේ හැසිරෙන නිසා එහෙම නොකළ යුතුයි යන අදහස වුනත් එහි ජීව විද්‍යාත්මක අදහස වන්නේ ළදරු ඇඳුම් සෝදා මිරිකීම හා ඇඹරීම මගින් පුංචි සමට ඇඳුම් වෙළුණු පසු නැවත අඳින විට අපහසුවක් දැනෙන්නේ නැහැ. නමුත් ළදරු ඇඳුම් හොඳින් ගසා වේලාගන්නා විට හොඳින් වේලීමෙන් පසු එය ස්තිරික්ක කළ ආකාරයටම මෘදු ලෙස වේලෙනවා.

උදේ ඉර එළියට දරුවාව ගෙනියන්න

උදා ඉර වැටෙන කොට පුංචි පැටියා ඉර එළියට නිරාවරණය කිරීමෙන් දරුවාට ජීව විද්‍යාත්මක වශයෙන් සමට විටමින් D ලැබෙන බව විශ්වාස කරනවා. ඒ සත්‍ය එදා විද්‍යාත්මකව පැහැදිළි නොකළත් දරුවා ටික වෙලාවක් උදා ඉර එළියේ තබා ගැනීම පුරුද්දක් ලෙස සිදු කරනවා.

මේ හැම කාරණාවක් පිටුපසම ඇති ජීව විද්‍යාත්මක කතාව එදා අපේ මුතුන් මිත්තන් අපිට පැහැදිළි නොකළත් අදට වුනත් ඒවා කොයිතරම් යහපත් පුරුදු දැයි ඔබට දැන් හිතෙනවා ඇති. අවස්ථාවක් ඇත්නම් ඔබටත් පුංචි පැටියා ගෙදරට ගේන විට මේ පිළිවෙත් වලට සූදානම් වෙන්න පුළුවන් නම් එහි කිසිදු වරදක් නැති බව theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.