බොහෝ දෙමාපියන් නොදැන කරන අත්වැරද්දක් තමා නින්දෙන් කිරි දීම

lead image

චූටි බබා රෑට කුක්කු බෝතලේ කටේ තියාගෙන නිදා ගන්නවද? එහෙනම් මේ ලිපිය කියවන්නම ඕනේ.

දරුවන්ට නින්දෙන් කිරි දීම

දරුවන්ට නින්දෙන් කිරි දීම තුළින් නින්දේදීම බෝතලයෙන් කිරි බීමෙන් පසු ඒ කිරි මුඛයේ ඇති දත් අතර රැඳෙනවා. මෙලෙස රැඳුන කිරි මුඛය තුල රාත්‍රිය පුරාම රැඳීම නිසා ඇතිවන බැක්ටීරියා මගින් සීනි ඇසිඩ් බවට පත් කරනවා. මේ මගින් දරුවන්ගේ දත් නරක් වෙනවා.

ඔබටත් වයස අවුරුදු 5 ට අඩු දරුවන් ඉන්නවනම් ඔවුන්ගේ දත් කළු පැහැ ගැන්වීම හා නරක් වෙලා තියෙනවා නම් ඊට හේතුව මෙය වෙන්න පුළුවන්.

"Nursing bottle Syndrome" (NBS) නම් මෙම රෝග තත්වය ඇතිවෙන්නේ දරුවන්ගේ කිරි දත් සීනි සහිත කිරි හෝ බීම වර්ගයන් බීමෙන් බොහෝ වෙලාවක් මුව තුළ රැඳීම නිසයි කියා Huffington Post පළකර සිටිනවා.

“මේ නිසා හුඟක් දුරට දත් නරක් වෙනවා. ඉන් අවුරුදු දෙකක් පමණ යන විට දරුවන්ගේ දත් පිරවීමට හෝ වෙනත් පිළියම් යෙදීමට සිදුවෙනවා”. ළමා ග්‍රන්ථ කතෘ හා මෙම වාර්තාවේ කතෘවරිය දන්ත වෛද්‍ය හුමාරියා සාහ් පවසන ආකාරයට දරුවන්ගේ දත් පරික්ෂා කරන විට කුඩා දරුවන්ගේ දත් වල NBS රෝග තත්වය ඉතා බහුලව දැකගත හැකි බවත් කියනවා.

“දරුවන්ට නින්දෙන් කිරි දීම කිරි බෝතලයෙන් හෝ මව් කිරි හරි බිව්වම ඒවා කට තුළ තැම්පත් වෙලා තියෙනවා. මුව තුළ ඇති බැක්ටීරියා සීනි ඇසිඩ් බවට හැරවීම නිසා දත් නරක්වීම සිදුවෙනවා”. ඇයට අනුව අවුරුද්දට අඩු දරුවන් කිරි බිව් පසු දීමට වතුර බෝතලයක් සූදානම් කර තබා ගැනීම සුදුසුයි කියලයි ඇය පවසන්නේ. කිරි බිව් පසු වතුර පොඩ්ඩක් දුන්නහම දත් අතර රැඳුන කිරි ටික සේදිලා යනවා.

“ඒ වගේම රාත්‍රියේදී දරුවාට කිරි ලබාදෙන වාර ගණන ක්‍රමයෙන් අඩු කරන්න. ඒ වගේම අවසානයේ NBS තත්වය නිසා දරුවන්ට මුල් දත් අහිමි වී යාම හා ඒ වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට සැලකිය යුතු මුදලක්ද වෙන් කිරීමට සිදු වෙනවා. ගොඩක්ම NBS රෝගයට ගොදුරු වෙන්නේ අවුරුදු 5 ට අඩු ළමයි.

මම දැකල තියෙනවා මිට ප්‍රතිකාර කරන විට දරුවෝ වේදනාවෙන් අඬනවා සහ ඒ වේදනාව දැකල දෙමාපියනුත් අඬනවා. නමුත් මුලදී මේ ගැන සැලකිලිමත් වුනා නම් අපිට වේදනාවන් විඳින්න වෙන්නේ නැහැ.”

 

NBS දන්ත රෝගය වළක්වා ගත හැකි ක්‍රම

  • මාස 12-14 වයස වන විට දරුවන් බෝතලයෙන් කිරි බීමෙන් වෙන් කරන්න.
  • දරුවාට කිරි බෝතලය බොමින් මිනිත්තු 20 කට වඩා ගත කරන්න දෙන්න එපා.
  • දරුවන්ගේ දත් ඒම ආරම්භයේ සිට පිරිසිදු කරන්න. නැතිනම් තෙත රෙදි කැබැල්ලකින් පිරිසිදු කරන්න.
  • දත්වල ප්‍රශ්නක් ඇති බව වැටහුනහොත් මාස 12 හෙදී හෝ ඊට පෙර වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
  • ජූස් හා බීම වර්ග දත් වලට හානි කරන නිසා හැකි තරම් ඉන් වළක්වන්න. දවසකට දරුවෙකුට අවුන්ස 4 ක් පමණ ජූස්  ලබාගැනීම ප්‍රමාණවත්.
  • දරුවන්ට ආහාර දිය යුත්තේ සෑම පැය දෙකකට වරක් විතරයි.
  • ඔවුන්ගේ දෛනික කාල සටහන උදේ ආහාරය 8.00 ට, උදේ 10.00 ට පමණ කෙටි කෑමක් දහවල් 12.00 දවල් ආහාරය ආදී වශයෙන් කාලසටහනකට අනුව ආහාර ලබා දීම කළ යුතු වෙනවා.
  • මේ කාල සටහනට අමතරව දරුවා වතුර පානය කිරීම එතරම් අත්‍යවශ්‍ය නැහැ.

ජිවිත කාලයටම ලැබෙන දත් ටික පරෙස්සම් කරලා දෙන එක දෙමාපියන් වන අපේ වගකීමක්. ඒ වගකීම වෙනුවෙන් තමයි theAsianparent Sri Lanka අපි ඔබව අද මෙහෙම දැනුවත් කළේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

theAsianparent

app info
get app banner