කෙසෙල් ගෙඩියක් හිර වීමෙන් අවුරුදු දෙකක දරුවෙක් මරුට

කෙසෙල් ගෙඩියක් මරු කැඳවාවී යැයි කවරකු සිතයිද? අවුරුදු පහක් දක්වා දරුවාගේ ආහාර ගැනීම ගැන සැලකිලිමත් විය යුත්තේ මේ නිසයි.

මාස කිහිපයක උඩදී ජනයුගය පුවත්පතෙහි සඳහන් අනුවේදනීය පුවතකට අනුව වයස අවුරුදු දෙකක පුංචි පුතෙක් කෙසෙල් ගෙඩියක් හිරවීම නිසා මියගිය පුවතක් වාර්තා වුනා.

වැල්ලවාය කණ්ඩියායගම ප්‍රදේශයෙන් වාර්තා වන මෙම අදහාගත නොහැකි අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ ආණපල්ලම කණ්ඩියායගම පදිංචිව සිටි කේ.ආර්. දසුන් ලක්සර නම් පුංචි පුතා. මිය යන විට පුතාගේ වයස හරියටම අවුරුදු දෙකයි මාස තුනයි. නිවසේ තිබුණු භාගෙට ඉදුණු සීනි කෙසෙල් කැනක ගෙඩියක් කෑමට ගැනීමේදී ඉන් කෑල්ලක් උගුරේ හිරවීමෙන් දරුවා මෙම අනතුරට පත් වූ අතර සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ පියා ගෙමිදුලේ ගඩොල් වගයක් ඇස කරමින් සිටි බව තමා වාර්තා වන්නේ.

දරුවා රෝහලට ගෙන යමින් සිටි අවස්ථාවේ මිය ගිය බවටයි වාර්තා වුනේ.

විවිධ පලතුරු, පලතුරු කොටස් හා ඝන ආහාර වර්ග උගුරේ හිර වීම නිසා මිය යන පුංචි දරුවන් ගැන පුවත් දැන් එන්න එන්නම වැඩි වන සෙයක් දිස් වනවා. අවුරුදු දෙකක දරුවකු උගුරේ කෑම හිර කර ගනීවි කියා අපි බොහෝ විට හිතන්නේ නැහැ. වයස අවුරුදු පහක් දක්වා දරුවන්ගේ උගුරේ ආහාර සිර විය හැකි බවත් ඒ ගැන අප ඉතා සැලකිලිමත් විය යුතු බවත් අප මතක තබා ගත යුත්තේ මේ නිසයි.

මීට ඉහත ලිපියකින් මිදී මාරාන්තික විය හැකි ආකාරය ඇසුරින් ආහාර හිර වීම දරුවාට මාරාන්තික විය හැක්කේ කෙසේද යන්න අප සාකච්චා කළා.

දරුවන්ට ඝන අහාර කෑමට දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

පහසුවෙන් හිරවිය හැකි අහාර මොනවාදැයි දැනුවත් වීම  

මිදී, ලොසින්ජර, ඇට වර්ග, පොරි, භාගෙට ඉදුණු පලතුරු, හොඳින් තැම්බී  නොමැති එළවලු, කෙටියට නොකැපූ දැල්ලන් ආදිය. මේවා සුලභව දරුවන්ගේ උගුරේ හිර වන අහාර වන මුත් මෙහි සඳහන් වී නොමැති ආහාර වර්ගද හිර විය හැකි අතර දරුවාගේ ආරක්ෂාව ගැන හොඳ විපරමින් නිරතුරුවම සිටිය යුත්තේ ඒ නිසයි.

වාඩි වී පිළිවෙලකට අහාර ගැනීමට දරුවා හුරු කිරීම

දරුවා පිළිවෙලකට එක තැන වාඩි කර ආහාර ගැනීමට හුරු කිරීමෙන්, දරුවාගේ පිළිවෙල, සංහිඳියාව පමණක් නොව  ආරක්ෂාවත් සැපයෙන බව මෙයුඉන් තහවුරු වනවා. දරුවන් ගේ පුරා දුවමින්, හති දමමින් නිවසේ සැම තැන කෑම හලා අපිරිසිඳු කරමින් ආහාර ගැනීමෙන් කෑම උගුරේ හිර වීමටත් ඉඩ කඩ තියෙන බැවිනි.

ආහාර හැම විටම කුඩා කැබලි වලට කපා හෝ පොඩි කර දරුවාට දීම

දරුවාට දෙන කුමන ආහාර වර්ගයක් වුවද අදාල කෑම වට්ටෝරුව ට අනුව කුඩා කැබලි වලට කපා හෝ, සිහින්ව ලියා හෝ, පොඩි කර කෑමට දීම කළ යුතුමය.

දරුවා ආහාර ගන්නා සැම විටම ඔහු හෝ ඇය තනි නොකා මනා විපරමකින් සිටීම.

දරුවාට තනියම කෑම කන්නට හුරු කිරීම ඉතා වැදගත් බව අප නිතර පවසනවා. නමුත් මෙසේ දරුවා අහාර ගන්න විට දරුවන් පසු පසම ඇස ගසාගෙනම සිටීම ඉතා වැදගත්. අනතුරක් විය හැක්කේ ඇසි පිල්ලම් ගසනා ක්ෂණයකින්.

ඉතින් දරුවාට අහාර දීමේදී මේ කාරණා ගැන අවබෝධයෙන් කටයුතු කිරීමෙන් දරුවාට සිදු විය හැකි අනවශ්‍ය අනතුරු වලින් දරුවා රැක ගන්නටත් දරුවාට සන්විදියාව හා හොඳ පුරුදු ඇති කරවන්නටත් හැකි වීම කෙතරම් අගනේද?

චයාරුප - මව්බිම පුවත්පතින්