ගර්භාෂයට සිසිල සදන මේ දේශීය ආහාර ගැන ඔබ දන්නවාද?

lead image

මේ ආහාර ඔබේ ගර්භාෂය ඇතුලු මුළු සිරුරම සිසිල් කරනවා.

ගර්භාෂය සිසිල් කරන ආහාර ගැන කථා කරන්න කලින් අපි ගර්භාෂය ගැන ටිකක් දැනුවත් ‌වෙමු ‌නේද?

ගර්භාෂය කියන්නේ කාන්තා සිරුරක තියෙන වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන අවයවක්, එය ජීවයේ අඛණ්ඩත්වය පවත්වා ගැනීමේ කාර්‍යයට ඍජුවම උර දෙනවා.

එය මාසිකව ඔබව ගැබ් ගැනීමට සුදානම් කරවන අතර එසේ සාර්ථකත්වය ලබන අවස්ථාවක ඔබේ දරු පැටියාට මාස දහයක රැකවරණයක් ලබා දෙන්න මුලික වෙනවා.මාස දහයක් පුරා ඔබේ ආදරණීය ප්‍රාණය ජීවත් කරවන මේ ගර්භාෂය ලෙඩ වෙන බව ඔබ දැන සිටියාද?

ගැහැණු දරුවෙකුගේ ගර්භාෂය සකස් වෙන්නේ ඇය මව් කුස තුල සිටියදීමයි. උපතින් පසු පරිණත වෙන එය මල්වර වීම සමග ප්‍රජනන කාර්‍යයට නොමසුරුව දායක වෙනවා. එහෙත් විවිධ හේතුන් මත ගර්භාෂයේ විවිධ ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්.

 ගර්භාෂයේ ඇතිවෙන සුලභ රෝගාබාධ 

  • දරු ඵල ප්‍රමාදවීම
  • දරු ඵල අහිමි වීම
  • ෆයිබ්‍රොයිඩ් (fibroid) තත්වයන්
  • පිළිකා
  • සුදයෑම
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

ගර්භාෂයේ ඇතිවෙන ලෙඩ රෝග සදහා හොමෝන වෙනස් කම් වගේම සිරුරේ උෂ්ණ ස්වභාවයත් බලපෑම් කරනවා. සමහර කාන්තාවන්ට ස්වභාවයෙන්ම උෂ්ණ සිරුරු තියෙන අතර සමහර විට අප ගන්නා ආහාර නිසා සිරුර උෂ්ණාධික වෙනවා.

බොහෝ විට ගර්භාෂයේ ඇතිවෙන උෂ්ණාධික බව බොහෝ සෙයින් බලපෑම් කරන්නේ ඔබේ ජිවිතයේ වටිනාකම සිහිනයටයි. ඒ නම් ඔබට දරු ඵල අහිමි වීම හෝ දරු ඵල ප්‍රමාද වීම සිදුවෙන්න පුළුවන්.

මේ උෂ්ණාධික ආහාර වලට අමතරව මානසික ආතතිය, අධික උණුසුම් ස්ථාන වල සිටීම සිරුර උණුසුම් වීමට හේතුවෙනවා.

සිරුර උෂ්ණාධික කරන ආහාර 

  • අබ, විනාකිරි, මිරිස්‌ අධික ආහාර
  • අච්චාරු, චට්‌නි, සෝස්‌, මෝජු, බිලිං, ලුණු දෙහි
  • ටින් මාළු, ජාඩි, ඉස්‌සන්, දැල්ලන්, කකුළුවන්,බල කරවල, බල මාළු
  • හරක්‌ මස්‌
  • අන්නාසි, රට දෙල්, රාබු, කොල්ලු, තක්‌කාලි, සුදුලූනු
  • මධ්‍යසාර

මේ ආහාර ඔබේ සිරුර උෂ්ණාධික කරන අතර එම තත්වය පහ කරගැනීමට ඔබ අනිවාර්යයෙන්ම සිරුර සිසිල් කරන ආහාර පාන ඔබේ ආහාර වේලට එකතු කරගත යුතු වෙනවා.

මෙම සිරුර සිසිල් කරන ආහාර ඔබේ අනෙක් සියලුම අවයව වලට මෙන්ම ගර්භාෂයටද සිසිලසක් ලබාදෙනවා.එහෙනම් ගර්භාෂයද සිසිල් කල හැකි ආහාර පාන ගැන අපි මදක් විමසා බලමු.

*මේ ලිපිය සකස් කිරීමේදී අවශ්‍ය තොරතුරු වලින් දායක වු විශ්‍රාමික ආයූර්වේද වෛද්‍ය පි.වී.දයා මහත්මියට අපගේ ස්තුතිය පුද කරනවා.

ගර්භාෂය සිසිල් කරන ආහාර 

ගර්භාෂයට සිසිල ද‌ෙන ආහාර අපිට පහසුවෙන් සොයා ගත හැකි වගේම නිතර ගන්නා ආහාර අතර වෙනවා. මෙම ආහාර එළවළු, පළතුරු හා පාන වර්ග ලෙස ඔබට එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න පුළුවන්.

ගර්භාෂයට සිසිල සදන මේ දේශීය ආහාර ගැන ඔබ දන්නවාද?

ගර්භාෂය සිසිල් කරන පලතුරු 

ගර්භාෂය සිසිල් කරන්න පුළුවන් පළතුරු වර්ග මොනවාද?

1. තැඹිලි
තැඹිලි ඔබට පහසුවෙන් හොයා ගන්න පුළුවන් . වෙනම සකස් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.ඒ නිසා සොයාගැනීම වගේම ආහාරයට එකතු කර ගැනීමත් හරිම පහසුයි.

2. නෙල්ලි
නෙල්ලි කිව්වාහම අපි සාමාන්‍යයෙන් කරන්නේ නෙල්ලි ගෙඩි ආහාරයට ගන්න එක, ඒත් නෙල්ලි වලින් රසවත් පානයක් සකස් කරන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?

ඒකට කරන්න ඕනී, අමු නෙල්ලි ටිකක් ඇට ඉවත් කරලා අරගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
ඊට පස්සේ සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. එය ඉතාම රසවත් වගේම ගුණයෙන් පිරිපුන් පානයක් වෙනවා.

3. බෙලි

බෙලි කියන්නෙත් අපේ රටේ පහසුවෙන් හොයාගන්න පුළුවන් ලාබදායක පළතුරක්, බෙලි පානයක් විදියට කදිමයි. 
 
හොඳට ඉදුණු බෙලි ගෙඩියක්  ඇට ඉවත් කර බෙලි යුෂ ලබා ගෙන දෙහි යුෂ ස්වල්පයක්, සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරලා බීම එකක් විදිහට  හදලා බොන්න පුළුවන්. ඒ වගේම තමයි බෙලි කටු ,  බෙලිමල් තම්බලා බොන්න පුළුවන්.

4. කොමඩු

කොමඩුත් අපේ රටේ පහසුවෙන් හොයාගන්න පුළුවන් රසවත් පළතුරක්. කොමඩු පළතුරක් විදියට ඍජුවම ආහාරයට එකතු කර ගන්න පුළුවන්. නැතිනම් ඇට ඉවත් කරපු කොමඩු මදය සූරලා අරන් එයට දෙහි යුෂ , ලුණු එකතු කරලා බීම එකක් හදා ගන්නත් පුළුවන්.

ගර්භාෂය සිසිල් කරන එළවළු

පළතුරු වගේම ගර්භාෂයට සිසිල ලබාදෙන එළවළු බොහොමයක් තියෙනවා

5. පිපිඤ්ඤා

පිපිඤ්ඤා ඔබට පහසුවෙන්ම සොයාගන්න පුළුවන්, එය ලූණු, දෙහි එක්කරලා සලාදයක් විදියට සකස් කර ගත්තාහම හරිම රසවත්, ඒවගේම පිපිඤ්ඤා මිටිකිරි ටිකක් දාලා පිස ගත්තාහම හරිම රසවත් වෑංජනයක් වෙනවා.

6. අළුපුහුල්

අළු පුහුල් වලින් ඉතාමත් රසවත් ව්‍යාංජනයක් සකස් කරගන්න පුළුවන් . නගරයට වඩා ගමේ ගෙවල් වල යහමින් හැදෙන ඉතා රසවත් ආහාරයක් වෙනවා.

7. මෑ

මෑ සීතල ආහාරයක් ලෙස ප්‍රසිද්ධයි. ඔබට මෑ වලින් රසවත් ව්‍යාංජනයක් සකස් කර ගන්න වගේම මෑ තෙල් දාලා ආහාරයට ගන්නත් පුළුවන්.

8. වම්බොටු

වම්බොටු මාළුවත් ඉතාම රසවත්, ඒ වගේම වම්බොටු බැදලා රසවත් සලාදයක් සකස් කර ගන්නත් පුළුවන්.

9. කැකිරි 

නිවසේ සකස් කරන කැකිරි ඇඹුල එහෙම ඔබ රස විදලා තියෙනවාද? ඔව්, කැකිරි කියද්දී අපට එතරම් ප්‍රියමනාප නොවුනත් ඉතා රසවත් ලෙස එය පිලියෙල කරගන්න පුළුවන්.

ගර්භාෂය සිසිල් කරන පාන වර්ග

අපි නිතර ගන්න ස්වාභාවික පාන වර්ග බොහොමයක් වගේම සිරුර සිසිල් කිරීමේ ගුණයෙන් සපිරියි. කොළකැද නිතර බොන්න පුළුවන් නම් බොහොම ගුණදායකයි.
ගර්භාෂයට සිසිල සදන මේ දේශීය ආහාර ගැන ඔබ දන්නවාද?

රණවරා. Image: peckishme.com

10. කෝමාරිකා යුෂ

කෝමාරිකා නම් අපි නිතර ආහාරයට ගන්න සුපුරුදු ආහාරයක් නම් නෙමෙයි නේද? ඒත් කෝමාරිකා කොළයේ මදය බොහොම ගුණදායකයි. එය කෙලින්ම ආහාරයට ගන්න අපහසු නිසා පානයක් ලෙස සකස් කරගත්තාට වරදක් නැහැ.

11. රණවරා

ම‌ෙහිදි රණවරා කොළ තම්බලා පානයට ගන්න පුළුවන්. ඔබට තේ කෝපී බොන්න හිතෙන වේලාවට රණවරා කෝප්පයක රස බලන්නකෝ. ඒ වගේම රණවරා දළු මැල්ලුම් විදිහට ලියලා ආහාරයට ගන්නත් පුළුවන්.

12. සව්

සව්, පොල් කිරි, සිනී ස්වල්පයක් දමා තම්බන්න, රසවත් කැඳ පානයක් වගේම ඔබට අවශ්‍ය එය ශීත කර රසවත් අතුරුපසක් විදියට ගන්නත් පුළුවන්.

13. බාර්ලි

බාර්ලි තම්බලා ඒ වතුරට සිනී ටිකක් එකතු කරලා නිතර බොන්න.

14. පොල්පලා

ගමේ නම් පහසුවෙන් හොයාගන්න පුළුවන් පඳුරු විශේෂයක්, පොල්පලා තම්බලා ඒ වතුර සිනී ටිකක් එක්ක බොන්න පුළුවන්. මේ ගර්භාෂය ඇතුලු සිරුර සිසිල් කරන ආහාර කිහිපයක් පමණයි. ශ්‍රීලංකාව වගේ ගස් වැල් හොදින් වැඩෙන රටක සිරුර සිසිල් කරන ගුණදායක ආහාර ඕනි තරම් තියෙනවා.
 
නිතර සිරුරට හිතකර මෙවන් ආහාර ගෙන නිරෝගිමත් වෙන්න. ඔබේ ගර්භාෂය මනාව පවත්වන්න. නිරෝගී දරු සම්පත් ලබන්න.