ජනවාරි පළවෙනිදා බිරිදට හා සැමියාට උදා වු හැටි

"දරුවොත් කිරි බත් කන්න ආසයි කිව්වා. මට නම් ඉතින් වැඩ වැඩිවීමක් , මොනවා කරන්නද මං කිරිබතක් හදලා , ලුණු මිරිසකුත් හැදුවා..."

බිරිද

අද ජනවාරි පළවෙනිදා. අදත් වෙනදා වගේම දවසක්, හරියටම හතරට නැගිට්ටා. උදේම කෑම ලෑස්ති කලා. දරුවන්ගේ වැඩ ටිකත් පිළියෙල කලා. අද කිරිබතක් හැදුවොත් හොදයි කියලා ඊයෙ අපේ මහත්තයා  කිව්වා.

දරුවොත් කිරි බත් කන්න ආසයි කිව්වා. මට නම් ඉතින් වැඩ වැඩිවීමක් , මොනවා කරන්නද මං කිරිබතක් හදලා , ලුණු මිරිසකුත් හැදුවා. ඒවා මේසෙන් තියලා කබඩ් එකේ තිබුන කැවිලි ටිකකුත් මේසෙන් තිබ්බේ පොඩ්ඩාන්ගේ හිත හැදෙන්නත් ඒක්ක.

ඊට පස්සේ ආයෙමත් සුපුරුදු වැඩ රෙදි හොදන්න, බබාලාගේ කෑම හදන්න , ගෙදර අස්පස් කරන්න. ජනවාරි පළවෙනිදා මට තවත් එක දවසක් විතරයි

සැමියා

අද ජනවාරි පළවෙනිදා. පොය නිසා නිවාඩුයි. ටිකක් වැඩිපුර නිදා ගත්තා. නැගිටින කොට කොත ගහපු කිරිබත් පිගානක් මේස උඩ, ආයේ කට හොදන්නෙත් නැතිව අඹරලා ඇරියා පිගානක්ම මදි  නොකියන්න.  

කොල්ලො දෙන්නත් මට දෙවැනි නැහැ. සාලේ වාඩි වෙලා පත්තරයක් බැලුවා. එතකොටම අපේ නෝනා මහත්තයා රස තේකක් ගෙනත් දුන්නා. ඊට පස්සේ නිව් ඊයර් විෂ් එවලා තිබුන හැමෝටම විෂ් කරලා මැසේජ් යැව්වා.

නාලා ඇවිත් බලන කොට දවල් කෑමත් මේසේ, ඒකත් බෙදා ගෙන ටීවී එක ලගින් වාඩි වුනාහම ලස්සන ෆිල්ම් එකක් යනවා. එකත් බලන්න කියලා වාඩි වුනා නෝනා මහත්තයා හොද වේලාවට අතයි පිගානයි හේදුවේ. නැත්තම් අත සෝදගන්න මේ අවුරුද්දම පොගවන්න වෙනවා.