තනි දරුවෙක් පමණක් සිටීම පවුලකට බලපාන්නේ කෙසේද?

එක් දරු පවුලක ඇති වන අඩු පාඩු කීමට සමාජයේ බොහෝ අයවලුන් සැදී පැහැදී සිටින බැවින්, මේ කියන්නේ එක් දරුවකු සිටින පවුලක ඇති වන මහත් ඵලදායි දේවල් ගැනයි.

සුහද හමු වීම් වල මඟුල් ඉලව් ගෙවල් වල තනි දරුවෙක් පමණක් සිටින ඔබට නිතර දෙවේලේ ඇසෙන වාක්‍ය ඛණ්ඩ කිහිපයක් තිබෙනවා. “අනේ තවම එක්කෙනාද ඉන්නේ?” “පුතා අම්මිට කියන්නකෝ නංගියෙක් හරි මල්ලියෙක් හරි ගෙන්න කියලා” “ආහ්හ්! ඔහොම ඉඳල හරි යන්නේ නැහැ ආහ්හ්, මෙයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්න, හරිම පවු නැත්නම්”

මෙවන් කතා දරුවන් නොමැති සහකරුවන්ටත් ඉතාම පොදුයි. මෙහි වඩාත්ම විනෝදජනක පැතිකඩ වන්නේ මෙසේ කියන මොහොතේ ඇතැම් විට කියන්නාගේ දරුවන් වටපිටාව දෙවනත් කරමින් දඟලමින් සිටින්නේ හපොයි දරුවන් එක්කෙනෙක් නම් හොඳයි කියා නිතැතින්ම  කාටත් කියැවෙන සේය. එසේත් නැතිනම් කියන්නා එක්කෝ දරුවන් නොමැති කෙනෙක් හෝ අවිවාහක කෙනෙක් හෝ කල් ගොස් දරුවන් ලැබුණු කෙනෙක් හෝ ඇයත්/ඔහුත් එක් දරු මවක් හෝ පියෙක් හෝ වීමයි.

සාමාන්‍යයෙන් බොහෝ විට මෙවන් වදන් කියා තවකෙකුගේ පුද්ගලික ජීවිතය අලලා ඔවුන් අපහසුතාවයට පත් කරන්නේ බොහෝ විට ඔවුන්ගේ ජිවිත වල අඩු පාඩුවක් ඇති සේ දැනෙන්නෝ වෙති. ජිවිතය සතුටින් හා පිරිපුන් ලෙස ගත කරන්නන් කිසි විටෙකත් තව අයගේ පුද්ගලික මත හෝ අසීරුතා සමච්චලයට ලක් නොකරන බව අත්දැකීමෙන් මෙන්ම සමීක්ෂණ වලින්ද පෙන්වා දී තිබෙනවා.

දරුවන් වැඩිපුර සිටින පවුලක් බෙහෙවින්ම අලංකාර මෙන්ම ලොවට මහත් දායාදයක්. නමුත් පුද්ගලික තීරණ මත හෝ යම් ගැටළු නිසා හෝ ඔබට සිටින්නේ එක් දරුවකු පමණක් නම්, එක් දරු පවුලක ඇති වන අඩු පාඩු කීමට සමාජයේ බොහෝ අයවලුන් සැදී පැහැදී සිටින බැවින්, මේ ලිපියෙන් ගෙන එන්නේ වැඩිපුර කතා බහට ලක් නොවන එක් දරුවකු සිටින පවුලක ඇති වන මහත් ඵලදායි දේවල් ගැනයි.

සමාජයේ බහුතරයක් මේ තත්වය පිළිගන්නට මැලි වන පහත දැක්වෙන්නේ සැබවින්ම එක් දරු මාපියන් වීමෙන් ඔබ ලබන වාසි රැසකි.

1 දරුවන් කිහිපදෙනෙකු අතරේ බෙදාහදා ගැනීමේ ගැටළු නැති වීම

බෙදාගැනීම හොඳ දෙයක් වුවද දරුවන් කිහිප දෙනෙකු සිටීමේදී යම් යම් සිමා නිසා ඉස්තරම් දේ දෙතුන් දෙනෙකුට සම සේ සැලකීමේ අඩිය දුෂ්කරතා ඇති වන්නට පුළුවන්. තනි දරුවකුට උපරිම ලෙස හෝ සිත් සේ යම් යම් දේ ප්‍රධානය කිරීමේ නිදහස තිබීම සහනයකි.

2 දරුවාට නොබෙදුණු ආදරයක් දිව හැක.

දරුවන් කිහිප දෙනෙකු සිටිනා පවුලක දරුවෙකුට ආදරය පෙන්වීම පහසු කාර්යයක් නොවේ. දරුවන් අතර තරඟ කරන්නාක් මෙන් හැමෝටම සම සේ ආදරය නොපෙන්වුවහොත් දරුවන් අමනාප වන්නට පුළුවන්. සිත් සේ දරුවා හුරතල් කර ආදරය පෙන්වීමට හැකි වීම සිතට වද නොදෙන්නකි.

3 දරුවා ඉතාම ස්වාධින වේ

බොහෝ දේ තනිව කිරීමටත්, තනි තීරණ ගැනීමටත් ඇති හැකියාව නිසා දරුවා අතම විශ්වාසයෙන් පිරි ශක්තිමත් පුද්ගලයකු බවට පත්වීම පහසුවෙන් සිදුවන්නකි.

4 සාපේක්ෂව ආර්ථික දුෂ්කරතා අවම කරගැනීමේ හැකියාව

තනි දරුවෙකු හදා වඩා ගැනීමේදී ආර්ථිකමය වශයෙන් ඇති වන වාසි ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. වියදම් කිරීමේ හැකියාව සාපේක්ෂව හොඳ මට්ටමක තිබීම නිසා ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනයකුත් මෙන්ම අමතර ක්‍රියාකාරකම් වෙතද දරුවා යොමු කිරීමේ වැඩි හැකියාවක් දෙමාපියන්ට අත් වනවා.

5 දරුවාට හොඳ අවධානයක් දීමේ හැකියාව

දරුවාට නොබෙදුණු අවධානයක් හා වැඩිපුර කාලයක් දීමේ හැකියාව නිසා දරුවන් සමඟ විශ්වාසය මෙන්ම අන්යෝන්ය අවබෝධය ප්‍රගුණ කර හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබේ.

6 කල කෝලහාල වලින් තොර සාමකාමී පරිසරයක්

සොයුරන් අතරේ සිදුවන නිරන්තර ගැටුම් නිසා බොහෝ විට දෙමාපියන් මහත් පීඩනයකට පත් වන මුත් තනි දරුවෙකු මිතුරෙකු සේ ඇසුරු කරන බැවින් නිවෙස් වල සාපේක්ෂව ඇත්තේ මහත් සාමකාමී බවකි. මේ නිසා මාපියන්ට නිවසේ ඇත ශබ්ධ් හා පීඩනය අවම වේ.

7 දෙමාපියන් සමඟ ශක්තිමත් සබඳතාවක් තිබීම

සොයුරු සොයුරියන් නොමැති බැවින් තම දෙමාපියන් සොයුරන් මෙන්ම කටයුතු කරයි. මෙහිදී දෙමාපියන්ගේ ජිවිතයේ සතුට බෙදාගැනීම මෙන්ම ගැටළු හා දුෂ්කරතා වලටද සම සේ උර දෙන කෙනෙක් බවට තනි දරුවකු පත්වීම සැබවින්ම දෙමාපියන්ට සොඳුරු ශක්තියකි.

ඉතින් තනි දරුවෙකු සිටීමෙන් ඇති වන මේ වාසි නිසා ඔබේ පවුල ආර්ථික අතින් මෙන්ම ගුණ යහපත්කම් වලින්ද පිරිපුන් පවුල් ඒකකයක් වීම සැබවින්ම ලොවට දායාදයකි.

වියාචනය: මෙම ලිපිය ලේඛිකාවගේ පුද්ගලික මතයක් පමණක් පදනම් කරගෙන ලියන ලද්දකි.