ඔබේ තරුණ දරුවාගේ ඇතුළාන්තය ඔබ කොතෙක් දුරට හඳුනනවාද?

lead image

හිතුමතේ ගත් වැරදි හදිසි තීරණ නිසා යෞවන මල් කැකුළක් මිලින වී යනවා. අපගේ තරුණ දූ දරුවන්ගේ ගැටළු වියවුල් වලට සංවේදී වීමෙන් මෙවන් වටිනා ජිවිත අකලට මලින වීම වලකාගත හැකි වේවි.

අන්තර්ජාලය පුරාම තරුණ දූපුතුන්ගේ දිවි නසාගැනීම ගැන පුවත් නිතර සංසරණය වෙනවා. ලංකාවේ පවා මෙය බහුල තත්වයක්. අප මේ පුවත් කියවා එම දරුවන්න ගැන නොයෙකුත් නිගමන වලට එළඹෙනවා. පාඨකයින්ගේ නොයෙකුත් නිගමන, දොස් පැවරුම්, අපහාස හා උපහාස කිරීම් වැනි නොයෙක් මතිමතාන්තර වලින් අන්තර්ජාලය පිරී යනවා. කෙසේ වෙතත් නැති ජිවිතයට යලි පණ පොවන්නට බැහැ. අකලට අහිමි වූ ඒ සුන්දර, වටිනා ජීවිත වලට යලිත් ජිවය දෙන්නට බැහැ. බොහෝ දෙනා වේදනාව හා කෝපය මිශ්‍ර හැඟීම් වලින් මේ සිදුවීම් ගැන සංවේදී වනවා. මෙම දරුවන්ඇ ආදරෙන් හැදු වැඩු මාපියන් හට ඇති වන වේදනාව කෙතරම් වන්නට ඇත්ද.

මේ සියළු හැඟීම් වලට අමතරව මට දැනෙන්නේ මහත් බියක්.  උගත්, විනෝදශීලි චරිත පවා, අහිමි වූ ප්‍රේම කතන්දර නිසාවෙන් පහසුවෙන්ම දිවි නසාගැනීම වැනි බරපතල් තීරණ වලට එළඹීම  අදහා ගත නොහැක්කක්.

ජිවිතයේ අසීමිත වූ තනිකම් දැනෙන අවස්ථා අප හැමෝගේම ජිවිත වල නැතුවා නොවේ. එහෙත් ජිවිතයේ අන්තයට ඇද වැටෙන අවස්ථා වලදී පවා දිචි නසා ගැනීම කිසි සේත්ම පිළිතුරක් වන්නේ නෑ. මට නිතැතින්ම පැන නැගෙන ප්‍රශ්ණ සමුදායෙන් කිහිපයක් නම්...

  • ඉගෙනුමේ ඉහළම ඉනි පෙත්තට ඒමට මේ දරුවන්ට මං පෑදු අපගේ අධ්‍යාපන ක්‍රමය කෙතරම් දැනුම මෙන්ම බුද්ධියත් ලබා දෙනවාද?
  • මේ දරුවනට සමීපතම මිතුරු මිතුරියන් සිටියාද?
  • මොවුන්ගේ දෙමාපියන් අතර තිබු සම්බන්දතාව කෙතරම ශක්තිමත්ද?
  • මොවුන් ආශ්‍රය කලේ කෙබඳු මිතුරන්ද?

මෙම දරුවන්ගේ දිවි නසාගැනීම ගැන තීරණ වලට එළඹී හේතු වලට පිළිතුරු දෙන්නට මේ දරුවන් අප අතර නැතත්, මොවුන්ගේ ජීවිත තුළින් මාපියන් වන අපට දෙන්නේ දෑස් කඩතුරා හැර විවර කර බලන්නට ආයාචනයක්.

අපගේ දු දරුවන්ගේ මානසික ශක්තිය තීව්ර කර, ජිවිතයට එඩිතරව මුහුණ දෙන්නට උදව් විය හැකි ක්‍රම කිහිපයක් සලකා බලමු. දිවි නසාගැනීම පරදවමු! 

  1. දරුවාගේ මිතුරෙක් වන්න

දරුවා සමග මිත්‍රශීලි වීමෙන් කෙතරම් හිතකර ප්‍රතිපල ඇති වේදැයි අප නිතර මතක් කරනවා. දරුවා සමග එදිනෙදා කුළුපග වීමෙන් කාලයක් තිස්සේ මේ මිතු දම පළ දරනවා, ශක්තිමත් වෙනවා. දරුවාට විශ්වාස කල හැකි මිතුරෙක් වීමෙන් දරුවන් තමන් තනි නොවන බව නිතර තේරුම් ගෙන මනා ආත්ම ශක්තියකින් වැඩෙනවා.   

  1. දරුවාට සවන් දීම

සවන් දීම ඉතා සුළු දෙයක් සේ හැඟුනද, අද දෙමාපියන්ගේ බහුතරයක් දරුවන්ට නොලැබෙන දෙයක් තමා සවන් දීම. සවන් දීමට කාලය වෙන් කිරීම පමණක්  නොව, තමන් අවෙගශීලි නොවී, ඉතා ඉවසීමෙන් , අනිසි නිගමන වලට නොඑළඹී සවන් දීමෙන් ඔබට දරුවා ගැන මනා අවබෝධයක් ඇති වනවා. මෙහිදී දරුවාට කුඩා හෝ ප්‍රශ්නයක් ඇත්නම්, එකම බැල්මකින් ඔබට එය තේරුම් යනවා.

  1. දරුවාගේ මිතුරන් ගැන අවබෝධයෙන් සිටින්න

දරුවන් ආශ්‍රය කරන ඇය කවරුන්ද යන්න දැනගෙන සිටීම අතිශයින්ම වැදගත්. දරුවෙකුගේ ජිවිත වැදීමේදී, තමුන්ගේ පවුලෙහි පැවැත්මට දෙවෙනි වන්නේ දරුවන්ගේ ආශ්‍රයයි. දරුවාගේ මිතුරන් ගැන දැනුවත් වනවා පමණක් නොව, ඔවුන්ගේද හොඳම මිතුරෙකු සෙ කටයුතු කිරීමෙන් ඔබගෙන් එම දරුවන්ටද වන්නේ නොමද සේවයක්.  

  1. දරුවාගේ ප්‍රශ්න වලට උවමනාවට වඩා සම්බන්ධ වන්නට එපා.

බොහෝ මාපියන් අතින් වන වරදක් තමා කුඩා කල සිටම දරුවන්ගේ හැම කටයුත්ටකටම උවමනාවට වඩා දායක වීම. පාසලේ ගුරුවරුන් අතර ප්‍රශ්න, දෙමාපියන් සමග ඇති වන ප්‍රශ්න ආදිය විසඳීමට දෙමාපියන් උවමනාවට වැඩිය මැදිහත් වන නිසා තනිව ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව ක්ෂය වනවා. කුඩා කල පටන්ම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ආකාරය කියා දෙනු විනා ප්‍රශ්න විසඳා දීම සිමා කිරීම සුදුසුයි.

දරුවන් අපගේ පණ වැනිය. දරුවන්ට උපරිම අධ්‍යාපනයක් සපයන අතරම දරුවාගේ ආත්ම ශක්තිය පරිනත කිරීමට කටයුතු කිරීමෙන් එඩිතර, ශක්තිමත් දරුවන් ලොවට දායක කරන්නට අපට හැකි වනවා.