තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව

lead image

තම දිවි පරදුවට තබා අපගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ රණවිරුවන් හට අප සාදා ණයගැති නොවේද? අපගේ දරුවන්ට ඔවුන්ගෙන් වන සේවය හා ඔවුන්ගේ කැප වීම් ගැන කියා දෙමු.

මේ දින වල පවතින අහිතර කාලගුණය ශ්‍රී ලංකා ද්වීපයේ මහා ව්‍යසනයක් ඇති කර තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාව අවතැන් කරමින් සිය ගණනකට මාරු කැඳවමින් ඇති වූ මේ ස්වභාධර්මයේ කෝප වීම ඉතාමත්ම භයංකරයි, දුක්මුසුයි. නමුත් ජනතාවක් හැටියට එකට පෙළ ගැසී විපතට පත් වූවන් මුදා ගැනීමට හා ඔවුනට අවශ්‍ය සහනාධාර සැපයීමට දිවයිනේ සැම සියළු කොනකින්ම පෙළ ගැසී උපකාර කිරීම අතිශයින්ම ප්‍රශංසනීයයි. මෙවන් ක්‍රියාවන් ශ්‍රී ලාංකිකයින් හැටියට අපට අභිමානයක් ගෙන දෙනවා.

මේ අතර නොකා නොබී මිළ කල  නොහැකි නිහඬ සේවයක් කරන අප ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනා ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරමු. පසුගියදා අහිතකර කාලගුණයෙන් විපතට පත් වුවන් මුදා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටියදී ගුවන් අනතුරකට පත් වූ යාපාරත්න ගුවන් හමුදා සැරයන්වරයා  තම බිරිඳ හා දරු දෙදෙනා මෙලොවෙහි තනිකර අවසන් ගමන් යෑමේ අනුවේදනීය පුවත හද කම්පා කරවන්නක්. මේ කතාවෙන් අප රට වෙනුවෙන් දිවි පුජා කර ලොවින් සමුගත් තව දස දහස් ගණන් රණ විරුවන් මට සිහිපත් වන්නේ මෙවැනිම දස දහස් ගණන් බිරින්දෑවරුන් හා දු දරුවන් මෙලොව තනි කර දමා යන්නන් නොවේදැයි සිහි කරවමින්.

විපතට පත් වුවන් මුදා ගැනීමේ නියැලී සිටියදී හෙලිකොප්ටරයේ කේබලය කැඩී යාමෙන් මේ අනතුර සිදු වූ බව මේ හිරුfm පුවතින් අනාවරණය වෙනවා.

අපට නිදහසේ සැරි සරමින් නිදහස් සුළගේ හුස්ම ගන්නට සැලසී තිබෙන්නේ මේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නොමද සේවය නිසයි. ඔවුන්ගෙන් වන අප්‍රමාණ සේවයට කෘතගුණ දැක්වීමක් වශයෙන් මේ ලිපිය ලියන්නට අදහස් කළා. විවිධ මාද්‍ය හා නානාවිද සමාගම් එකමුතුවන් ඔස්සේ අවතැන් වුවන්ට සහන සැලසෙන අතර මාද්‍ය හා සමාගම් නාම තරමටම මෙම ත්‍රිවිධ හමුදාවන්ගේ සේවය ගැන ඉස්මතු වෙන්නේ නැති තරම්.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවනගේ පවුල් වලට එම රණවිරුවන්ගේ අඩු පාඩුව අල්ප මාත්‍රයකින් හෝ පුරවන්නට අපට බැහැ. කී දහසක් දූ දරුවන්, බිරින්දෑවරුන් ඔවුන් නැති සොවින් අසරණ වී ඇත්ද? මාපියන් හැටියට මේ උත්තරීතර රණවිරුවන්ගේ සේවය පුංචි හෝ ආකාරයකින් අගය කිරීමට අපට කුමක් කල හැක්දැයි මා කල්පනා කළා. පහත සිතුවිලි වලට ඔබත් එකඟ වේ යැයි කියා මා සිතනවා.

  • දිවි පිදූ රණවිරුවන්ගේ අසරණ වූ දරු පවුල් ගැන වෙනදාට වඩා සංවේදී වෙමු.
  • රණ විරු පවුල් වලට උපකාර කළ හැකි අවස්ථාවන් මග නොහරිමු.
  • රණ විරුවන් ගැන මෙනෙහි කරමු. අපගේ දරුවන්ට ඔවුන්ගෙන් වන සේවය හා ඔවුන්ගේ කැප වීම් ගැන කියා දෙමු.
  • රණ විරුවන් අගය කිරීමේ ක්‍රියාදාමයන්ට සහභාගී වෙමු.
  • එකිනෙකාගේ ආගමානුකුලවදිවි පිදූ රණ විරුවනට පින් අනුමෝදන් කරමු.
  • අපගේ ආගමික විශ්වාසයන්ට අනුව අසරණ වූ රණ විරු පවුල් වලට ආසිරි පතමු, යාච්ඤා කරමු.

අපගේ විරෝධාර රණ ශුරීන් මෙන්ම ඔවුන්ගේ පවුල් කෙරෙහිත් සංවේදී බවක් ඇති කරන්නටත් ඔවුන්ගේ අමිල සේවය විශේෂාකාරයෙන් අගය කරන්නට මේ ලිපිය ඉවහල් වුනා යැයි සිතමි.