තාත්තගේ දින පොතෙන් අලුත උපන් පුතු පැටියට ලිපියක්

Share this article with other mums

පිය පදවියේ සතුට සමග දැනෙන වගකීම් හා ආඩම්බරය ගැන මේ සංවේදී සටහන ඔබේ සිතේ මතකය අවදිකරනු ඇතැයි අපි සිතනවා.

අලුත් පුංචි පුතු පැටියව දැක්කහම තාත්තා කෙනෙකුගේ හිතේ ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනාවන් හා බලාපොරොත්තු රැසක් පොදි ගැහෙනවා. ඒ වගේම ඒ පුංචි ප්‍රර්ථනා ඉටු වේයැයි සිතමින් දරුවන්ගෙන් අපේක්ෂා කරන බලාපොරොත්තු කිහිපයකුත් තාත්තාගේ හිතේ තියෙනවා.

ආදරණීය පුංචි පුතාට

මුලින්ම ඔයාව මගේ අතට ගත්ත දවසේ මගේ හිතේ ඇතිවුණු හැඟීම් කියන්න වචන මදි. එතකොට ඔයා පුංචිම පුංචි කාගෙවත් උදවුවක් නැති අම්මගේ තුරුලටම ගුලිවෙන පුංචි පැටියෙක්. කිරි උරන්න හැදුවත් ඔයාට අම්මගේ තනපුඩු එකපාරට සොයා ගන්නවත් තේරුණේ නැහැ. ඒ වගේම ටිකක් මහන්සියෙන් වගේ තමයි හිටියේ.

ඔයාගේ අම්මි ඇඬුවා හැමෝම සැනසුම් සුසුමක් හෙලුවා. මට හරි ආඩම්බරයක් දැනුනා. කාලයක් පුරා අම්මගේ බඩේ ඉඳන් දැකපු ඔයාගේ දඟකාරකම්, අම්මගේ අප්‍රමාණ පරිස්සම මගේ ඇස් ඉදිරියේ සිනමා පටයක් වගේ දිග හැරුණා. ඉතින් මේ ලියන්නේ ඔයාටයි. මට කියන්න ඕනේ මට මේ හැඟීම දැනුනේ කොහොමද කියලා. ඔයා මාව තාත්තා කෙනෙක් කරලා. මට හිතෙනවා ඔයා ලොකු වෙලා මේ ලියුම කියවලා තේරුම් ගනීවි කියලා. මේ ලියුම එදාම ඔයාට කියවන්න කම්මැලි හිතුනත් මම වෙනුවෙන් පොඩ්ඩක් ඉවසලා මේක කියවන්න.

අපි අපේම කියලා ජීවිතයක් මේ ලෝකෙට දායාද කරන්න ඕනේ කියලා හිතන කොටම අපිට වගකීම් සමුදායක් ලැබෙන බව දැනගෙන හිටියා. එය ඔයා වෙනුවෙන් වගේම සමාජය වෙනුවෙන් ඉටු කළයුතු දේවල්. අපි ඔයාට ඕන හැමදේම දෙන්න ඕනේ කියලා හිතුවත් ඔබෙන් ලෝකයට කොයිතරම් දේවල් දෙන්න පුළුවන්ද කියන වගකීම හරි විශාලයි. ඉතින් මේ කරුණු කිහිපය පුතේ ඔබටයි.

ඔබ සුවිශේෂීයි. නමුත් හැම විටම අදාල කරගන්න බැහැ.

මේ ලෝකේ මටයි ඔයාගේ අම්මටයි ඉන්න උතුම්ම වස්තුව ඔයා විතරයි. මම ඔයාගේ ඇස් දෙක ඉස්සරහා මගේ මුළු ලෝකයම පේන ඔයාගේ මුහුණේ තියෙන සතුටු සිනහවල් මගේ දුක් සංකා නැති කරනවා. ඒ ඔයා සුවිශේෂී නිසයි.

අම්මයි මමයි ඇතිවෙන තුරු වෙහෙසෙනවා. ඒ ඔයා වෙනුවෙන්. අපේ ජීවිත වල හැමදේම දැන් තීරණය වෙන්නේ ඔයා ගැන හිතලයි.

සති අන්තයේ නිවාඩු දිනයන් හැමදේම ඔයාට අනුව වෙනස් වෙලා. ඒ ඔයා අපිට හුඟක් විශේෂ නිසයි. ඔයාට අවශ්‍ය දෙයක් තියෙනවනම් මම මොන විදිහකින් හරි ඒක අරගෙන දෙන්න පසුබට වෙන්නේ නැහැ. ඒත් අවශ්‍ය දේ මිසක් හිතෙන හිතෙන දේ අරගෙන ඉල්ලුවොත් මට ‘නැහැ’ ‘බැහැ’ කියන්න වෙනවා. ඔයාට අද ඒ ගැන කේන්තියක් ආවත් ඔයා ලොකු ළමයෙක් වුනදාට හිතෙයි එදා මම ‘නැහැ’ කිව්ව එකේ තේරුම කොයි තරම් ගැඹුරක් තියෙනවද කියලා. කිසිදෙයක් වාසියට හරවා ගන්න එපා. නිකන් ලැබෙන දේවත්, අපේ ගරුත්වයවත් කිසිසේත් වාසියට ප්‍රයෝජනයට තබා ගන්න එපා. 

ඔබට උවමනා පුද්ගලයා වෙන්න. ඒත් ඔබ තුළ ඇති නිහතමානිත්වය නැතිකරගන්න එපා.

දරුවන් බලාගන්න එක ගැන හැම දෙයක්ම මම දන්නේ නැහැ. ඒත් ඔයා අලුත් දේවල් හොයන එකනම් මම නතර කරන්නේ නැහැ. ඔයාගෙ ඇස් වලින් ඔබ නිතරම කුතුහලයෙන් ඉන්න දරුවෙක් බව පේනවා. මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාට ඊට ඉඩ දෙනවා කියලා. ඔයාට ඕන තරම් ප්‍රශ්න මගෙන් අහන්න. මම ඔයාට පුළුවන් තරම් උත්තර දෙන්නම්. මට බැරි උනොත් දන්නා කෙනෙකුගෙන් හරි මම ඒ ගැන අහලා දැනගෙන ඔයාට කියනවා.

ඔබේ අත්දැකීම් වලින්ම ඔයාගේ අනාගතය තෝරාගන්න ඉඩදෙන්නයි මම එහෙම කරන්නේ. ඒත් … නමුත් මේ ගමනේදී අපේ මූලාරම්භය අමතක කරන්න එපා. ඔයා පැවත එන්නේ අවංක වැඩ කරන අය ඉන්න පවුලකින්. බොහෝ අත්දැකීම් මත මමත් ඔයාගේ අම්මත් තීරණය කරලා තියෙන්නේ ලොකු උපාධියකට වඩා මගේ පුතා සංවේදනා දැනෙන දරුවෙකු වීම වැදගත් බව. ඔයා ලොකු වෙනකොට දකින හමුවෙන අත්දැකීම් එක්ක අන් අය වෙනුවෙන් සංවේදී වෙන්න. සාර්ථකත්වය කරා යන්න. හැබැයි අන් අයගෙන් උවමනාවට නම් නෙමෙයි. අන් අය පරයා ගොස් ලබන සාර්ථකත්වයෙන් අපට සතුටු වෙන්න බැහැ. 

ඒ වගේම සමහර දේවල් නොදැක්කා වගේ ඉන්න.

මේ වෙනකන් මම ඔයාට කිව්වේ සංවේදී මිනිහෙක් වෙන්න කියලා. ඒ වගේම හුඟක් ආදරණීය ඔබට සමීප අයව රැකගන්න දරුවෙකු වෙන්න. ඒ වගේම කාරණා කිහිපයක් ගැන ඔබ තැකීමක් නොකර ඇස් වසාගෙන ඉන්න පුළුවන් නම් මට හුඟක් සතුටට පත් වෙනවා.

තරඟකාරීත්වයට ඇස් වහන්න. ඔබ තවත් කෙනෙක් නිසා ඔබේ කටයුතු අරමුණු වෙනස් කරගන්න එපා. මගේ ජීවිතය පුරාම මම මටම කියලා මතයක් ගොඩනගාගන්න උත්සාහ කළා. ඒ හැම මතයකම පදනම මට තිබු උවමනාව මත හඳුනාගත් දේවල් මිසක් අන් අයගේ උවමනාව මත හැදුනු දේවල් නොවෙයි.

හැම කෙනාටම ඔයා එකවගේ සලකන්න පුළුවන්නම් මම හුඟක්ම සතුටු වෙනවා. හුඟක් පොහොසත් කෙනෙක් ඔයාගේ යාළුවෙක් වුණා කියලා ලැබෙන ආඩම්බරය වගේම හුඟක් දුප්පත් කෙනෙකුත් ඔබේ යහළුවෙකු වීම ගැනත් ඒ වගේම ආඩම්බර වෙන්න. ඒ වගේම අනෙක් අයගේත් බලාපොරොත්තුව ‘ඔබ’ වෙන්න පුළුවන් නම්

පුතේ මට තවත් ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා. මම ඒවා ඔයාට කියන්නම්. ඒත් දැන් නෙමෙයි. මම දන්නවා ඔයා මේ ලෝකෙට ආවේ ඔයාගේ උවමනාවට නෙමෙයි අපේ ආත්මාර්ථකාමී හැඟීම් නිසා. ඔයා මේ ලෝකෙට ආපුවහම හැකි උපරිමයෙන් බලාගන්නත් උවමනාවන් ඉටු කරලා දෙන්නත් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ලොකු වෙලා හොඳ මිනිහෙක් වෙන්න.

හැමදාම ආදරෙන්,

තාත්තා.

පිය පදවියේ සතුට සමග දැනෙන වගකීම් හා ආඩම්බරය ගැන මේ සංවේදී සටහන ඔබේ සිතේ මතකය අවදිකරනු ඇතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

For dads