තාත්තායි දුවයි මේ ආදරයයි II

අද සෙනසුරාදා, දගයෝ තුන්දෙනාම ගෙදර, මල්ලී බබානම් තාම චූටී දරුවෙක් නිසා පොඩි සමාවක් දෙන්න පුලුවන්. ඒත් තාත්තාගෙයි අක්කාගෙයි දග වැඩ කෙලවරක් නෑ...

අද සෙනසුරාදා, දගයෝ තුන්දෙනාම ගෙදර, මල්ලී බබානම් තාම චූටී දරුවෙක් නිසා පොඩි සමාවක් දෙන්න පුලුවන්. ඒත් තාත්තාගෙයි අක්කාගෙයි දග වැඩ කෙලවරක් නෑ.

මම තේකක් හදාගන්න කියලා මුලුතැන්ගේ පැත්තට යන්නයි හැදුවේ, ඒත් සාලය පුරාම මොනවාදෝ පෑගෙනවා. මම හොදට පාත්වෙලා බැලුවා. මුං ඇට ගේ පුරාම විසිරිලා. මල්ලී බබා දැන් ගේ පුරාම දණ ගානවා. මේවා අහුල ගත්තොත් අනිවාර්යයෙන්ම එයා ඊලගට කටේ දාගන්නවා. හිරකර ගත්තොත් වෙන්නේ ලොකු අනතුරක්, ඔන්න මට ටිකක් තරහා ආවා.

" කවුද මේ මුං ඇට හැමතැනම දැම්මේ "

මං චුටී ශබ්දයක් දැම්මා. ටික වේලාවයි ගියේ මෙන්න කාමරයෙන් හොර ගෙඩියෝ දෙන්නෙක් එලියට ආවා.

" අම්මේ ඒක කලේ මේ අපි"

අක්කී හෙමිහිට කිව්වා. හැබැයි එයා හිටියේ බැනුම් අහන්න වෙයි කියලා බයෙන් වගේ, වරදක් කලහම පිළිගන්න එක කොච්චර හොද ගුණාංගයක්ද? අක්කා ලග තිබුන ඒ වටිනාකම මගේ තරහා සම්පුර්ණයෙන්ම නිවලා දැම්මා.

" එහෙම කලේ ඇයි රත්තරන්, මල්ලී මේවා කටේ දාගත්තොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්."

මං දුවට ආදරයෙන් කියලා දුන්නා.

" මට සමාවෙන්න අම්මේ මං ආයේ එහෙම කරන්නේ නැහැ"

අක්කා දැන් හරිම හොදයි එයා වරද පිළි අරගෙන සමාවත් ගත්තා. ඊටපස්සේ තාත්තාගේ අතින් ඇදගෙන මුලුතැන්ගේ පැත්තට දිව්වා. ටික වේලාවකින් දෙන්නම ආවේ කොස්සයි, කුණු ඉවත් කරනය අරගෙන ඇවිත් මුලු සාලෙම පිරිසිදු කලා.

" මෙහේ එන්න දූ, ඔයා මොනවටද මුං ඇට ගත්තේ,"

මං දුවව ලගට අරන් ආදරයෙන් ඇහුවා.

" ඔහොම ඉන්න  අම්මා "

එයා ආපහු දුවගෙන ආවේ පුංචි ජෑම් බෝතලයක් එක්ක. මං ඒක අරන් බැලුවා. ඒක ඇතුලේ තෙත පුලුන් දාලා ඊට පස්සේ මුං ඇට ටිකක් දාලා.

" අම්මේ අපි මුං ඇට පැල කරන්නයි හදන්නේ "

දුව කිව්වේ අහිංසකව, මම හෙමිහිට  එයාගේ හිස අතගෑවා.

සතියකට පස්සේ මුලුතැන්ගේ පැත්තේ හරිම අපූරු දෙයක් වුනා. ඒ තමයි මගේ පුංචි දුවගේ මුං ඇට තවාන සරුවට වැඩුනා. පුංචි කැලයක් වගේ. එයා හැමදාම උදේට නැගිට්ට ගමන් දුවලා ගිහින් බැලුවේ ඒ දිහා, හරිම හිත සනසන දසුනක්,

තාත්තාගේයි දුවගේයි ආදරයට හරි පුදුම දේවල් කරන්න පුලුවන්. මේ වගේ දේවල් එක්ක එයාලා ස්වභාව දහමට ලං වෙනවා විතරක් නෙවෙයි එයාලා ස්වභාව දහමට ආදරය කරන්නත් ඉගෙන ගන්නවා.

බලන්න කරන්න පුලුවන් අහිංසක වැඩ කොච්චරක් නම් තාත්තටයි දුවටයි තියෙනවාද කියලා.

මේ පුංචි කථාව ඔබත් එක්ක බෙදා ගත්තේ theAsianparent Sri Lanka විසිනි.