තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්

"දඟ වැඩ කරන අතර මේ වගේ ප්‍රයෝජනවත් වැඩක් කරන්න පුළුවන් කියන එක තාත්තාගේ දුවයි මට කියා දුන්නා. දඟ කරන කාලයෙන් ටිකක් වැය මේ දෙන්නා කලේ කොච්චර හොද වැඩක්ද?"

උදේ ඉඳලම දුවට කෑම කවාගන්න මං විදින දුකක් , දැන්නම් මට ටිකක් තරහ ගිහින් ,කවන කවන කටක් ගානේ බිම දානවා.

තාත්තා දැක්කා මට හොඳටම තරහ ගිහින් තියෙන්නේ කියලා.

"එන්න පැටියෝ අපි පික්නික් එකක් යමු"

තාත්තා දුව ලඟට අඬගහ ගත්තා.

ඒ ගමන මොකද වෙන්නේ කියලා මං බලාගෙන හිටියා. දෙන්නත් එක්ක බඩු මලු දෙකක් ලෑස්ති කර ගත්තා. මගේ අතේ තිබුණු බත් පිඟානක් තාත්තා අරගත්තා.

සෙල්ලම් බඩු මලු දෙකත් අරගෙන මිදුලේ තිබුන අඹ ගහක් යටට දෙන්නත් එක්කම ගියා. ඊට පස්සේ අඹ ගහ යට කුඩයක් ඉහලා ගත්තා. ඊටපස්සේ පුංචි බංකු දෙකක් තියලා ඉදගත්තා . ලේන්සු දෙකක් අරගෙන දෙන්නගේම ඔලුව ගැට ගහ ගත්තා.

ඊට පස්සේ දෙන්නත් එක්ක කතා කර කර කෑම කන්න පටන් ගත්තා. පුදුමෙ කියන්නෙ මෙච්චර වෙලා කෑම කන්න බැහැ කියපු දුව හරි ලස්සනට කෑම කන්න පටන් ගත්තා.

" අම්මේ  මෙන්නෝ"

ටික වේලාවකින් දුව මට හිස් පිගාන ගෙනත් දුන්නා.

" මගේ හොද දුව"

මම දුවගේ හිස අතගෑවා. එයා ඉක්මනින්ම ආපහු අඹ ගහ යටට දිව්වේ තාත්තාත් එක්ක සෙල්ලම් කරන්න හිතාගෙන වෙන්න ඕනී.

මේ තුලින් මම තේරුම් ගත්ත එක්ම දෙය දුවගෙ අරමුණ වෙනස්  කරලා එහෙම නැත්නම් අලුත් අත්දැකීමක් ලබා දුන් විට  ඇයට  නොදැනෙන්න කෑම ටික කවාගන්න පුළුවන් කියන එක, ඒ වගේම එතකොට  එයා නොදැනීම  කෑම ගන්නවා.

දඟ වැඩ කරන අතර මේ වගේ ප්‍රයෝජනවත් වැඩක් කරන්න පුළුවන් කියන එක තාත්තාගේ දුවයි මට කියා දුන්නා. දඟ කරන කාලයෙන් ටිකක් වැය මේ දෙන්නා කලේ කොච්චර හොද වැඩක්ද?