තාත්තායි දුවයි මේ ආදරයයි: වැලි සෙල්ලම්!

lead image

තාත්තාගේයි දූවගෙයි මේ ලස්සන දවස් වල මතකයන් තාත්තාට ඉතුරු කරලා දුව දවසක එයාගේ ලෝකයකට යන්න යාවි. ඒත් හිස් අතින් නම් නෙවේ තාත්තාගෙන් ඉගන ගත් ජීවිතයේ පන්නරය අරන්.

කාලෙකට පස්සේ අම්මා මිදුල අතුගාලා. හරිම ලස්සනයි. මේ වැඩත් එක්ක අපිට කොහේද ඕවට වේලාවක්, මේ ටිකේම අඹ කොළ වැටිලා මුලු මිදුලම හැඩි වෙලා තිබුනේ.

අම්මා හැඩ කරලා තිබුන මිදුල දැකලා ඇති වුන සැනසීමත් එක්ක මං ගෙට ගොඩ වුනා.

නිවාඩු දවස් වලට වැඩ වැඩියි. නිවාඩු දවස ගෙවෙනවා දැනෙන්නෙම නෑ. මේ වැඩ අස්සේ වුනත් මං හින්සීරුවේ තාත්තයි දුවයි මොනවාද කරන්නේ කියලා බලන්නත් අමතක කරන්නේ නැහැ.

මේ දෙන්නා අද ශබ්දයක් නෑ. මම ගේ හැමතැනම හෙව්වේ ඒ දෙන්නාව. ඒත් කෝ?

ඔය ඇහෙන්නේ දෙන්නාගේ හිනාව මිදුල පැත්තෙන්, මම ඉතින් ඒ පැත්තට ආවේ ටික වේලාවකින් දැක්කේ නැති හින්දා.

මිදුල දැක්කාහම නම් මට තරු පෙනුනා. දෙවියනේ මේ මොකද කරලා තියෙන්නේ, දැන් ටිකකට කලින් ලස්සනට තිබුන මිදුල පුරාම දැන් පස් ගොඩවල්, තාත්තයි දුවයි දෙන්නම කෝම්පිට්ටු හදනවා.

" මොකද ඔය කරන්නේ, දෙවියනේ ඔය මිදුල ඔය කාලෙකින් අතුගෑවා විතරයි"

මම චුට්ටක් කෑගැහුවා.

" ඒකනේ අපිට සෙල්ලම් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ."

එහෙම කිව්වේ  තාත්තා.

" අම්මේ එන්නකෝ, පොඩි බඩුවක් පෙන්නන්න තියනෝ "

දුව ඇවිත් මගේ අතින් අල්ලගෙන මිදුලට ගියා. එතැනට ආපු මං දැක්කේ හරිම ලස්සන දෙයක්,

මගේ පුංචි දෝණී එයාගේ තාත්තා එක්ක එකතු වෙලා හරිම ලස්සන කෝම්පිට්ටු මාලිගාවක් හදලා. පාට පාට මල් වලින් සරසලා.

මං චුට්ටක් කෑගහපු එක ගැනත් දුක හිතුනා. මිදුල නම් ටිකක් හැඩි කලත් කරලා තියෙන නිර්මාණය අගය කරන්න වටිනවා.

" මගේ අම්මි මාත් එක්ක තරහයිද?"

දුව ඇහුවේ අහිංසකව,

" ඒ මොකටද පැටියෝ"

මං ඇහුවේ ආදරෙන් එයාව තුරුළු කරන්,

" මං මිදුල හැඩි කලානේ. මට සමාවෙන්න අම්මි"

දුව කිව්වේ වේදනාවෙන්,

" ඒකට කමක් නෑ පැටියෝ, මම මිදුල අස්කර ගන්නම්, එන්නකෝ අපි ඔයාගේ කෝම්පිට්ටු මාලිගාව ලගට ගිහින් බලමු"

මං එහෙම කියද්දි පුංචි දුවගේ මුවේ හිනා මලක් පිපුනා. මම එයාගේ පුංචි අතින් අල්ලගෙන කෝම්පිට්ටු මාලිගාව ලගට යනකොටත් තාත්තා තාම ඒක ලස්සන කරන්න උදව් වෙනවා.

දග වැඩ අතරට තාත්තලාට දූවලත් එක්ක කරන්න පුලුවන් කොතරම් නිර්මාණාත්මක දේවල් තියෙනවාද?

පුංචි දරුවොත් එක්ක අපි කරන මේ දේවල් කරන්න තියෙන්නේ හරිම පුංචි කාලයක්, ඊට පස්සේ ඒවා මතක් කර කර තමයි අපට ඉන්න වෙන්නේ. ඔයාලාත් දරුවෝ එක්ක සතුටින් කරන මේ වගේ දේවල් තියෙනවාද?