තාත්තායි දුවයි මේ ආදරයයි

lead image

තාත්තා පුංචි පැටව් එක්ක දගවැඩ කරන්න ආසයි. මේ දග වැඩ අතරේ තාත්තාට පුලුවන් පැටියාට ජීවිතයේ වටිනා පාඩම් කියලා දෙන්න.

අද නිවාඩු දවස නිසා මං කතුරුමුරුංගා කොළ මිටියකුත් එක්ක මුලුතැන්ගේ පැත්තට ගොඩ වුනේ පැටව් දෙන්නාට මැල්ලුමක් හදලා දෙන්න ඕනි කියලා හිතාගෙන, කතුරුමුරුංගා පෝෂ්‍ය ගුණයෙන් පිරි ආහාරයක් නිසයි මම විශේෂයෙන්ම එහෙම හිතුවේ.

මුලුතැන්ගෙට ගිහින් ටික වේලාවක් යද්දි  මම කසුකුසුවක් ඇහිලා කර කර හිටපු වැඩේ නවත්තලා හැරිලා බැලුවා. මෙන්න මගේ උදව්වට සහයට ඩැනීලා දෙන්නෙක්ම ඇවිත්, ඒ කියන්නේ තාත්තයි දුවයි මගේ උදව්වට ඇවිත්. 

මමත් ඉතිං වේලාවේ හැටියට ඒ දෙන්නාව සාදරයෙන් පිළිගත්තා. ඊට පස්සේ කතුරුමුරුංගා කොළ ටික අහුලලා සෝදන එක ඒ දෙන්නට භාර කරලා මම ඉතුරු කෑම ටික හදන්න ගත්තා.

හිනාවෙවී හිටපු තාත්තාගෙයි දුවගෙයි හිනා ශබ්දේ එකපාරටම නැතුව ගියා. හෝද හෝද හිටපු කොළ ටික එහෙම්ම සින්ක් එකට දාලා දෙන්නා අතුරුදහන් වෙලා.

" අනේ මෙයාලාගේ වැඩ කියලා" හිතලා මම කොළ ටික සෝදන්න ගත්තා විතරයි.

" අම්මා මට ජෑම් බෝතලයක් ඕනා"

ඒ දුව. 

" ඒ මොකටද දරුවෝ", මං ඇහුවා.

ශබ්දයක් නෑ. ඒත් එයා ජෑම් බෝතලයක් දෙනකම් බලාගෙන ඉන්නවා. මට දුක හිතුනා. මම සෝදලා තිබුන ජෑම් බෝතලයක් එයාට දුන්නා. දුව දුවගෙන ගියේ රටක් රාජ්ජයක් ලැබුනා වගේ. 

මම  හෙමින් සැරේ තාත්තයි දුවයි ඉන්න පැත්තට ගියා. අනේ මෙන්න එයාලත් එක්ක තවත් අමුත්තෙක් ඉන්නවා. ඒ තමා කතුරුමුරුංගා පණුවෙක්. 

" පව් අම්මා අපි කොළ විසික් කලහම මෙයා මැරෙයිනේ, අපි මේ එයාට සමනළයෙක් වෙන්න උදව් කරන්නයි යන්නේ ."

මාව දැකපු දුව එහෙම කිව්වේ හරි සතුටින්, ඒ දෙන්නත් එක්ක පණුවා එක්ක කොළ ඉත්ත ජෑම් බෝතලය ඇතුලින් පරිස්සමට තියලා. හිල් විදපු කඩදාසි කැබැල්ලකින් ජෑම් බොතලයේ කට ආවරණය කලා. ඊට පස්සේ පරිස්සමට තිබ්බා.

තාත්තයි දුවයි කරන්නෙම දග වැඩ වුනාට ,මේ කලේ කොයිතරම් හොද වැඩක්ද? පුංචි දුවගේ පුංචි හිතේ අනුකම්පාව, අනෙක් අයට උදව් කිරීමේ ආසාව ඇතිවෙලා. තාත්තත් ඒකට උදව් කරනවා.

මෙන්න මේ පුංචි සිදුවීම ඔබට ගෙන ආවේ තාත්තලාට හා දුවලාට දගවැඩ වලට අමතරව කරන්න පුලුවන් මේ වගේ දරුවන් තුල හොද ගුණාංග වඩවන්න පුලුවන් ක්‍රියාකාරකම් තියෙනවා කියලා මතක් කරන්නත් එක්කයි.

ලගදිම දවසක් ඒ පණුවා සමනළයෙක් වෙලා ඉගිළිලා යාවි. එදාට මගේ පුංචි දුවගේ පුංචි මුවට සිනහවක් ඒවි. හරිම අහිංසක සිනාවක්.