දරුවන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන තැලසීමියාව (Thalassemia)

දෙමාපියන් වන්නට පෙරුම් පුරන ඔබට තැලසීමියාව වැනි භයානක රෝග වලින් දරුවන් සම්පුර්ණයෙන්ම ආරක්‍ෂිත කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද?

දෙමාපියන් වන්නට පෙරුම් පුරන ඔබට තැලසීමියාව වැනි භයානක රෝග වලින් දරුවන් සම්පුර්ණයෙන්ම ආරක්‍ෂිත කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද?

වර්තමානයේ ඉතා සීග්‍රයෙන් පැතිරී යන භයානක රෝගයක් ලෙස සැලකෙන තැලසීමියාවෙන් සිදුවන්නේ රතු රුධිරාණු බිඳ වැටීමයි. රුධිරය රතු පැහැ  කරන හිමොග්ලොබින් වල ඇති ග්ලොබින් නිපදවීම අඩු වීම මෙයට ප්‍රධානම හේතුව වෙනවා. රතු රුධිරාණු බිඳ වැටීම සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිදුවන්නේ මාස 3 කට සැරයක්. නමුත් තැලසීමියා රෝගියෙකුගේ මසකට වරක් රතු රුධිරාණු බිඳ වැටීම සිදු වෙනවා. 

තැලසමියව වැළඳිය හැකි ආකාරය

මෙය දෙමාපියන්ගෙන් දරුවන්ට ජාන මගින් ඇතිවන රෝගයක්. සුළු තැලසීමියාව ඇති දෙමාපියන් දෙදෙනෙකුට දාව උපදින දරුවා මහා තැලසීමියා රෝගියෙකු වීමේ අවධානම ඉතාම ඉහළ බව පැවසෙනවා. නමුත් දෙමාපියන්ගෙන් එක් අයෙකුට පමණක් සුළු තැලසීමියාව ඇත්නම් එසේ උපදින දරුවා තැලසීමියා රෝගියෙකු වීමේ සම්භාවිතාවය ඉතාම අඩු බව වෛද්‍ය මතයයි.

තැලසීමියාව හඳුනාගත හැකි ලක්ෂණ

දරුවා ඉපදී පළමු අවුරුද්දේදිම මෙය හඳුනා ගත හැකි අතර රුධිර පරීක්ෂාවකින් එය නිවැරදිව සනාථ කර ගැනීමට හැකිවේ. එතැන් සිට ප්‍රතිකාර කිරීම සඳහා යොමුවීම වැදගත් වෙනවා. තැලසීමියා රෝගය වැළඳුණ දරුවෙකු හඳුනා ගත හැකි ලක්ෂණ

  • කුඩා දරුවන් කිරි බීම ප්‍රතික්ෂේප කරයි.
  • දරුවාගේ වර්ධනය අඩාල වීමට පටන් ගනී.
  • දරුවා සුදු මැලි වීම.
  • නිතරම උණ ගැනීම.
  • විවිධ අසාත්මිකතා වලට නිතරම ගොඳුරු වීම.
  • හුස්ම ගැනීමට අපහසු වීම.
  • පපුවේ වේදනා.
  • අත් සහ පතුල් සීතල වීම.
  • කකුලේ මස් පෙරලීම.
  • හදගැස්ම වේගවත් වීම.
  • හිසේ කැක්කුම සහ කරකැවිල්ල.

වැනි දේ දැක ගත හැක.

තැලසීමියාව කොටස් දෙකකින් යුක්ත වේ.

  1. සුළු තැලසීමියාව
  2. මහා තැලසීමියාව

සුළු තැලසීමියා තත්වය එතරම් භායානක වන්නේ නැහැ. නමුත් සුළු තැලසීමියා වාහකයින් දෙදෙනෙකු කිසි විටකත් විවාහ වීම නම් සුදුසු නැහැ. ඉන් උපදින දරුවා මහා තැලසීමියා රෝගියෙකු වීමේ අවධානම ඉතාමත් වැඩියි.

මහා තැලසීමියාව ඇති දරුවන්ගේ රතු රුධිරාණු බිඳ වැටීමේ හේතුව නිසා ඔවුන්ට මසකට වරක් රුධිරය ලබා දීම සිදු කළයුතු වෙනවා. මේ හේතුවෙන් අක්මාව, ප්ලීහාව ඉදිමී දරුවා අසාධ්‍ය තත්වයට පවා පත්වීමට පුළුවන්. මහා තැලසීමියාවට ලබා දෙන ඖෂධ වල යකඩ අඩංගු නිසා මේවා ශරීරයේ තැම්පත් වෙනවා. ඒවා ඉවත් කිරීමටත් මෙම රෝගීන්ට එන්නත් ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ඉතා භයානක ප්‍රතිඵල අත්විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

රෝගීන් සංඛ්‍යාව

උතුරු මැද, මධ්‍යම හා ඌව පළාත් වල වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති මෙම රෝගය ලංකාවේ ජනගහනයෙන් 2-3% අතර ඇති බව අධ්‍යන වාර්තා සඳහන් කරනවා. මේ වන විට 3000 කට අධික සංඛ්‍යාවක් රෝග වාහකයින් වන අතර 60 කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව මෙයට ඇතුළත් වන බව පැවසෙනවා.

ප්‍රතිකාර

රුධිර පරවියලනය

රුධිරය පාරවියලනය මගින් හිමොග්ලොබින් ප්‍රමාණය හා රතු රුධිරාණු ප්‍රමාණය නැවත සාමාන්‍ය මට්ටමට පත් කර ගත හැකි වෙනවා. තැලසීමියා රෝගීන් සඳහා අවුරුද්දක් තුළ වාර 8 සිට 12 දක්වා ප්‍රමාණයක් රුධිරය පාරවියලනය කිරීමට සිදු වෙනවා. අඩු තැලසීමියා රෝගීන්ට වුවත් බරපතල අවස්ථාවන් වලදී අවුරුද්දක් තුළ වාර 8 කට වඩා රුධිරය පාරවියලනය කිරීමට සිදු වේ. රුධිරය පාරවියලනයේදී අධික ලෙස ශරීරයේ යකඩ තැම්පත් වෙනවා. ඒ මගින් හෘදයට සහ ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන්ට හානි වීමේ අවධානමක් පවතිනවා. මේ නිසා මේ තත්වය නැති කිරීමටත් ඖෂධ ලබා ගැනීමට සිදුවේ. රුධිරය පාරවියලනය කළ රෝගීන් ෆෝලික් ඇසිඩ් ඖෂධය ලබා ගත යුතු අතර එය රතු රුධිරාණු වර්ධනයට උදව් වෙනවා. 

ඇටමිදුළු බද්ධය

ඇටමිදුළු බද්ධය මගින් රතු සහ සුදු රුධිර සෛල හිමොග්ලොබින් සහ පට්ටිකා වර්ධනය වන අතර මෙම සැත්කම් මේ වන විට ලංකාව තුළත් සිදුවෙනවා. නමුත් ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදුවෙනවා.

ජාන තාක්ෂණය

තැලසීමියා රෝගය සඳහා ජාන තාක්ෂණය යොදා ගැනීමට විද්‍යාඥයන් කටයුතු කරමින් ඉන්නවා.

තැලසීමියා රෝගයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්

මෙම රෝගය සුව කර ගැනීම එතරම් පහසු නොවන නමුත් ඉන් වැළකීමට කටයුතු කිරීමයි වැදගත් වන්නේ. මේ සඳහා රට පුරා විවිධ ස්ථාන වල දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ සමගම කළ යුතු විශේෂම දේ වන්නේ තම රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීමයි. මේ සඳහාම රුධිරය පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන මේ වන විටත් රෝහල් කිහිපයකම පවත්වාගෙන යන අතර ලේ පරික්ෂා කිරීමෙන් පසුව තැලසීමියා රෝගියෙකු නම් රෝස පැහැති කාඩ් පතක්ද, රෝගියෙකු නොවේ නම් කොළ පැහැති කාඩ් පතක්ද ලබා දීමට කටයුතු කරනවා. රෝස පැහැති කාඩ් පතක් හිමි අයෙක් තවත් රෝස පැහැති කාඩ්පතක් හිමි අයෙක් සමග විවාහ වීම සුදුසු නැහැ. එහි බලපෑම සිදුවන්නේ ඉන් උපදින දරුවාටයි. රෝස පැහැති කාඩ්පතක් හිමි අයෙක් අනිවාර්යයෙන්ම කොළ පැහැති කාඩ් පතක් හිමි අයෙක් සමග විවාහ විය යුතුයි.

හැමකෙනෙක්ම දෙමාපියන් වන්නට පෙරුම් පුරනවා. ඉතින් ඔබ රුධිර පරීක්ෂාවක් කරගෙන දැනුවත් වී මේ අවධානමෙන් මිදෙන්න.