දරුවකු තලා පෙලා දඬුවම් කරමින් අකුරු ඉගැන්වීමේ හදවත දවන දසුනක්

lead image

අන්තර්ජාලය පුරා සීග්‍රයෙන් සංසරණය වන මෙම වීඩියෝව දරුවනට ඉගැන්වීම සඳහා දැඩි දඬුවම් ක්‍රමවේදය සුදුසුද නැද්ද යන්න ගැන මත භේදයක් ඇති කරමින් පවතිනවා.

මේ සිත කළඹන වීඩියෝ මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසරන්නේ නරඹන්නන් රැසකගේ මෙන්ම සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පවා අවධානයට හා අප්‍රසාදයට පාත්‍ර වෙමින්. මෙය අපවාදාත්මක හා සංවේදී දසුනක් කියා ඔවුන් එකඟ වනවා.

දැරියගේ මව යැයි සිතන කාන්තාවක් විසින් අවුරුදු 4ක් හෝ 5ක් වයසැති පුංචි දැරියට බනිමින්, ගුටි දෙමින් බලහත්කාරයෙන් ඉලක්කම් ඉගැන්වීමේ යෙදෙන දර්ශන පෙලක් දිස් වන මෙම වීඩියෝ පටයේ පුංචි දැරියගේ මුහුණේ වේදනාව, කඳුළු, කෝපය, තදබල අප්‍රසාදය මිශ්‍ර හැඟීම් රාශියක් පිළිබිඹු වන්නේ නරඹන්නන් සංවේදී කරමින්.

කඳුළු පුරවාගත් පුංචි දැරියක් ඉලක්කම් 1 සිට 5 දක්වා කියවීමට හුරු කරනා අයුරු පෙන්වමින් ඇරඹෙන මෙම වීඩියෝව සිත කැළඹුණු දැරිය ඉලක්කම් පටලවාගන්නා විට එම මව කෝපයෙන් පුපුරමින්, තරවටු කරමින් කම්මුලට පහරක් එල්ල කරන අයුරු පෙන්වන දර්ශන ශෝකය දනවන සුළුයි.

දැරිය හඬා වැටෙමින්, මවට වඳිමින් අනුකම්පාව ඉල්ලා සිටිනවා

වැරදුනු තැන ගුටි ලැබෙන බව බියෙන් බලාපොරොත්තු වන පුංචි දැරිය මවගේ අනුකම්පාව ආයාචනා කර සිටිනවා. “ප්යාර් සේ පඩේදෙන්ගා” “කරුණාකර අපි ආදරයෙන් පාඩම් කරමු”

කෙසේ නමුත් වීඩියෝ පටිය අවසානය ලං වද්දී නිවැරදි ඉලක්කම කීමට අපොහොසත් වන පුංචි දැරියගේ කම්මුල හරහා මවගේ ගුටි පහරක් වැඩෙන්නේ හදවත දවන ලෙසයි.

මෙම වීඩියෝව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරැද් ක්හොලි විසින් ඔහුගේ  ෆේස්බුක් පිටුවේ පල කර ඇති අතර විදුලි වේගයෙන් එය සංසරණය වන්නට පටන්ගෙන ඇත්තේ ලොව පුරා දෙමාපියන්ගේ හදවත් කම්පාවට පත් කරමින්. මේ වන විට ඉන්දීය මාපියන් මෙම වීඩියෝව මුල් කරගෙන දරුවන්ට දඬුවම් කරමින් ඉගැන්වීමට එරෙහිව නැගී සිටිනවා.

වීඩියෝපටය පල කිරීමත් සමඟ විරාඩ් ඛෝලි සඳහන් කලේ “දරුවාගේ අධික කෝපය, දුක හා වේදනාව වැනි සියලු හැඟීම් සම්පුර්ණයෙන්ම නොසලකා හැර, කෙසේ හෝ ඉලක්කම් ඉගැන්වීමට පෙරැත්ත කරගෙන යාමට තරම් අධිමාන්නයක් එම මව සතු වීම ශෝකජනක මෙන්ම අදහාගත නොහැකි තත්වයක්. දරුවකු කෙරෙහි ඇති සංවේදී භාවය පස්ස දොරෙන් පැන ගොසින්. අවමානයට සහ පීඩනයට පත් වූ දරුවෙකුට කිසි සේත් සාර්ථකව ඉගෙන ගන්නට බැහැ. මෙය ඇත්තෙන්ම ශෝකජනකයි.”

දෙමාපියන් වන පිළිගත් සුප්‍රසිද්ධ පුද්ගලයින් පවා දරුවන්ට දඬුවම් දීමේ ක්‍රමය සම්පුර්ණයෙන්ම හෙලා දකිති.

විරාඩ් ඛෝලි මෙම වීඩියෝ පටය පල කල සැනින්, දෙමාපියන් වන පිළිගත් සුප්‍රසිද්ධ පුද්ගලයින් දරුවන්ට දඬුවම් දීමේ ක්‍රමය දැඩි ලෙස හෙලා දැක තිබුනා.

යුවරාජ් සිං සටහන් කලේ “ඔබ දරුවා ඇති දැඩි කරන්නේ මෙලෙසද? මෙම මවගේ හැසිරීම අතිශයින්ම අප්‍රියජනකයි, අපහසාත්මකයි. ඔබේ දරුවාට අවශ්‍ය ආදරය සහ සංවේදී බවයි. දරුවන් සාර්ථකත්වය පිළිබිඹු කරන්නේ එයයි. මෙම හැසිරීම කිසි සේත් පිළිගන්නට බැහැ.”

ශිකර් ධවාන් ඔහුගේ ට්වීට් ගිණුමේ සටහන් කලේ “මම සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ සැම විටම ඔවුන් සමඟ ඉවසිලිවන්නත වන ලෙසයි. කාලයාගේ ඇවෑමෙන් දරුවා හොඳින් ඉගෙන ගනියි. කරුණාකර ඔවුන්ට ගුටි බැට දෙන්න එපා. අපහාස කරමින් බනින්න එපා.”

නැවත වතාවක් මෙම විදියෝව නිසා දෙමාපියන් දරුවන්ට දඬුවම් දීමේ ක්‍රමය ගැන විවාදාත්මක වුනා. වේවැලක් පාවිච්චි නොකිරීමෙන් දරුවන් නොමඟ යන බව ඇතැම් දෙමාපියන් ප්‍රකාශ කලත් බහුතරයක් දෙමාපියන් විශ්වාස කරන්නේ දරුවන්ට තරවටු කල යුතු බවයි.

විශේෂඥයින් පවසන්නේ දරුවන්ට දැඩි දඬුවම් දීමේ ක්‍රමය අසාර්ථක බවයි!

මේ විවාධාත්මක මතය සම්බන්ධයෙන් theindusparentහි අපි සායනික මනෝවිද්යාඥයකු සහ wayForward.co.inහි සම නිර්මාතෘ වෛද්‍ය නාව්‍යා සිංට කතා කළා. ගුටි දීම දරුවා මාපියන් හෝ ගුරුවරුන් අතර ඇති කිසිම ප්‍රශ්නයකට විසඳුම නොවන බව ඇය තරයේ කියා සිටියා. දරුවෙකුගේ හැසිරීම වෙනස් කිරීමට බොහෝ දෙමාපියන් දඬුවම් ක්‍රමය අනුගමනය කරන  බව ඇය පැවසුවා. නමුත් පරීක්ෂණ වලින් ඔප්පු කර ඇති පරිදි දඬුවම් දීම තුලින් දරුවෙකුගේ නොසුදුසු හැසිරීම් වෙනස් කල නොහැකි බව ඇය විග්‍රහ කළා.

වෛද්‍ය සිං තවදුරටත් පැවසුයේ දරුවාට කෑ කෝ ගසා තරවටු කිරීම වෙනුවට කල යුත්තේ ඔවුන්ගේ නුසුදුසු හැසිරීම නිසා අත්වන අහිතකර බලපෑම් ගැන අවබෝධ කර දීමෙන් දරුවා වෙනස් කල යුතු බවයි. දරුවන්ට අපහාස කිරීම හා ගුටි දීම නිසා පසු කලකදී දරුවාගේ ආත්ම විශ්වාසය විනාශ කර, දරුවට හීන මානයක් ඇති විය හැකි අතර ඔහු/ඇය ආක්‍රමණකාරී පුද්ගලයකු විය හැකි බවයි.

"මෙය දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ දමා දරුවාව කනස්සල්ලෙන් පිරි, අප්‍රසන්න, අසුභවාදී පුද්ගලයෙකු බවට පත් කරයි. අප තේරුම් ගත යුත්තේ දරුවාගේ මෙම නිෂේධාත්මක හැසිරීමට තුඩු දෙන හේතුවක් ඇති බවයි. දරුවාට සාංකාව, දුක, කලකිරීම හෝ සිතට වද දෙන වෙනස් හෝ හේතුවක් නිවසේ ඇති බව අප තේරුම් ගත යුතුයි.”  වෛද්‍ය සිං පැවසුවා.

දරුවාට ගුටි දීමෙන් අප ඔවුනට දෙන පණිවුඩය නම් අනෙකෙක්ට ගුටි දීම සාමාන්‍ය ක්‍රියාවක් බවත්, ගුටි දීම තමන්ගේ හැඟීම් සන්නිවේදනය කරන මාධ්‍යයක් බවත්ය. මෙවැනි අවස්ථා වල දරුවන් අනෙක් දරුවන් සමඟ ආක්‍රමණකාරී ලෙස හැසිරෙනවා.

දරුවන්ට ගුටි බැට නොදී හික්මවීම සඳහා ධනාත්මක ක්‍රියාමාර්ග 3 ක්

ඉතින් මේ තියෙන්නේ දරුවන්ට ගුටි බැට නොදී, තරවටු නොකර ඔවුන් හික්මවිය හැකි ක්‍රම කිහිපයක්.

සන්නිවේදනය:

දරුවාගේ නුසුදුසු ක්‍රියාව නිසා ඇති වන ප්‍රතිවිපාක ගැන ඔහු/ඇය සමඟ කතා කරන්න. ඔවුන්ගේ අදහස් ඔබ හා බෙදා ගන්නට උත්සාහ කරන්න. බොහෝ අවස්ථා වලදී දරුවන් ආවේගකාරී ලෙස හැසිරෙන්නේ නම් එයට පාදක වූ යම් හේතුවක් තිබෙනු ඇත. සංවේදී මවක්/පියෙක් ලෙස ඔබේ යුතුකම වන්නේ දරුවා සමඟ සාර්ථක විවෘත සන්නිවේදනයක් තුළින් ඔහුගේ/ඇයගේ හිතට වද දෙන තත්වය ගැන දැනුවත් වීමයි.

දඬුවම් නොකරන්න, අගය කරන්න:

දරුවා කල වැරදි දෙයට දඬුවම් දීමට ඉක්මන් වනවා වෙනුවට දරුවා කරන පුංචි හෝ හොඳ දෙය දරුවා කැමති ආකාරයට අගය කරන්න.  

සන්සුන් වන්න:

ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දෙය වන්නේ දරුවන් සමඟ කටයුතු කිරීමේදී සංසුන්ව සිටීම ඉතාමත්ම වැදගත් බවයි. ඔබ ඔබේ දරුවන්ගේ ආදර්ශය වන බව අමතක කරන්න එපා. ඉතින් කිසි සේත්ම ප්‍රචණ්ඩත්වය හා ආක්‍රමණශීලි බව ප්‍රදර්ශණය නොකිරීමට වග බලාගන්න. 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා