එය එසේ නිමා විය... කදුලු පමණක් ඉතිරි විය.

lead image

පමා වී ආ යකඩ යකා නොසැලකිලිමත් හා නොදැනුවත් රියදුරාගේ ජීවිතය පමණක් නොව අහිංසක කිරිකැටි ජීවිතයක්ද රැගෙන වහා වහා ඉගිල ගියේය...

පමා වී ආ යකඩ යකා නොසැලකිලිමත් හා නොදැනුවත් රියදුරාගේ ජීවිතය පමණක් නොව අහිංසක කිරිකැටි ජීවිතයක්ද රැගෙන වහා වහා ඉගිල ගියේය.

වර්ෂ කිහිපයකට පෙර මා උපන් ගමේ සිදුවු මේ ශෝකාන්තය ඔබටත් මතක් කරන්නට සිතුවේ මහමගදී ඔබේ දරුවා කොතරම් අනාරක්ෂිතද යන්න වටහා දෙන්නයි.

දරුවාට පාසැල් ප්‍රවාහන සේවා අපි සොයන්නේ දහසක් දේවල් හිතේ තියාගෙනයි. ඉන් ප්‍රමුඛත්වය ලැබෙන්නේ ආරක්ෂාවටයි. ඒත් අපි හිතන ආරක්ෂාව ඇත්තටම ලැබෙනවාද? අපේ හිතේ ඇති වෙන අන්න ඒ ප්‍රශ්නයට අනුවේදනීය උදාහරණයක් ලබාදෙමින් නිමාවු ජීවිත දෙකක ශෝකාන්තය මම මෙසේ සනිටුහන් කරමි.

ඒ ආදරණීය අම්මා නමින් අනෝමා වුවාය. මාතෘත්වයෙන් පිදුම් ලබන්නට ඕ ජිවිතයේ බොහෝ ගැහැට වින්දාය. සංකූලතාවයන් ගෙන් පිරුණු ඇයගේ සෑම ගැබිනි සමයකම බොහෝ දවස් ගෙවුනේ රෝහල් වලය. නමුත් ඒ හැම විටෙකම ඈ තනි කල ඇයගේ කිරි සිහිනය ලේ මස් වී දියවී ගියාය.

නමුත් එකම එක් වරක් ස්වභාව දහම ඇයගේ හඩා වැටෙන මව් හදවතටද ඇහුම්කන් දෙන්න හිතුවාය. අන්න ඒ නිසා ගැබිනි සමයේ වූ බොහෝ සංකූලතා අභිබවමින් ඈ අනුජ සිගිති පුතුට ජීවිතය දුන්නාය.

ජීවිතයේ බොහෝ ගැහැට මැද්දෙන් ලද මේ පුංචි පුතු ඇය තම ඇස් දෙක මෙන් රැක්කාය. කිසිම විටෙක පවා තනි නොකලාය. ඔහු සිය පෙරපාසැල් ජීවිතය පටන් ගත්විට පවා අම්මා සිගිති පුතුගේ ලගින්ම වුන්නාය.

දුර්භාග්‍ය ලගා වුයේ ඇයගේ නැවත සිදුවු ගැබ් ගැනීමත් සමගය. දරු ගැබට මාස දෙක සපිරෙද්දී ඇයගේ ජීවිතය රෝහලත් නිවසත් අතර දෝලනය වන්නට විය. තවත් තම පුතු පසුපසින්ම වැටී සිටින්නට තරම් නිරෝගි සුවයක් නොතිබුනත් සිය පුතුගේ අධ්‍යාපනය බිදවැටෙන්නට ඉඩ නොතැබු ඇය දරුවා පෙරපාසැල් ගෙන ගොස් ඒමට විනීත තිදරු පියෙක් වූ නිමල්ට භාර කලාය.

නිමල් ඉතා ආරක්ෂාකාරිව දරුවන් ප්‍රවාහනය කල අතර තමාට ලැබුන අලුත් දරුවාගේ වගකීමද සිය දෝතට ගත්තේය. නිමල්ට අනුජගේ පෙර පාසැල අලුත් තැනක් වුයේය. අනාරක්ෂිත රේල් ගේට්ටුවක් තරණය කර ඉතා විශාල පල්ලමක්ද තරණය කල යුතු විය.

එය අපහසු කාර්යයක් වූ අතර නිමල් එයට පහසු විසදුමක් සොයා ගත්තේය. අවසාන දුම්රියද පෙරවරු 7. 20 නික්ම යන බැවින් 7.45 ට තම වැන් රිය දුම්රිය පාර හරහා නවතා දරුවා වඩාගෙන ගොස් ඒ අසලම වූ පෙර පාසැලේ ගුරුතුමියට දරුවා භාර දී පැමිණීම අනාරක්ෂිත නැතැයි ඔහු සිතුවේය. එවිට ඔහුට රිය පසුපසට ගෙන හරවාගෙන යෑමට පහසු විය.

මෙම පුරුද්ද මාසයක් දෙකක් එක දිගට සිදුවුවත් කවුරුත් එහි වරදක් නොදුටුවේය. නමුත් මාරයාගේ මොහොත උදාවිය. කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රියට එදා වේලාව වැරදිනි. රැකියාවට යන්නන් පුරවාගත් ඕ හරි හරියට ඊලග නැවතුම වෙත ගමන් ගනිමින් වුන්නාය.

මාරයා ඕනෑම මොහොතක ඕනෑම තැනකදී ඕනෑම වේශයකින් පැමිණිය හැක. ඒ බව නොදැන වුන් නිමල් සුපුරුදු පරිදි අනාරක්ෂිත රේල් පාර මත සිය වාහනය නැවැත්තුවේය. ඉන්පසු  වාහනයෙන් බැස්සේය. වේගයෙන් එමින් තිබු දුම්රිය ඔහු දුටුවේ එවිටය. ඉවතට දිව සිය ජීවිතය බේරාගන්නවා වෙනුවට ඔහු සිගිත්තාගේ ජීවිතයද රැකගැනීමට වාහනයේ පසුපස දොර වෙත ගොස් එය ඇර අනුජට  කථා කලේය.

නමුත් ඒ වනටත් අනුජ වුන්නේ ජීවිතයේ පළමුවරට ලබන අත්දැකීමෙන් මන්මත්වය. ඔහු ඉදිරියට දිව එන යකඩ යකාට හිත්පිත් නොමැති බව නොදැන අතක් වනමින් සිනාසෙමින් සිටියා මිස නිමල් වෙත ආවේ නැත.

ක්ෂනිකව සියල්ල තීරණය විය. සියල්ල පොඩිපට්ටම් කරගෙන යකඩ යකා යන්නට ගියේය. නිමල්ගේ හිසසුන් සිරුර පසෙකින් වැතිරුනේ දරු තිදෙනෙකුට ආදරණීය පියානන් අහිමි කරමිනි. යකඩ යකා හා ඉදිරියට ඇදි ගිය වෑන් රිය තුල පුංචි අනුජ නොඑන ගමන් ගොස් සිටියේය. ඔහු වනමින් අත සිරුරෙන් වෙන් කරන්නට තරම් යකඩ යකා සාහසික වී තිබුනි. අනේ අසරණ අම්මාට සිය එකම පුතුද අහිමි වුවාය.

මේ කථාව දෙස බලා අනේ අපොයි කියනවාට වඩා දෙමාපියන් වශයෙන් අපි දෙනෙත් අවදි කල යුතු වෙනත් පැතිකඩක් මෙහිදි විවරවෙන බව අප මතකයේ තබාගත යුතුය. අතක් නැති පාසැල් වෑන් රියදුරෙකුට පවා දරුවන් භාර කල මව්වරුන් සිටින රටක මම මේ ටික පැහැදිලිව සටහන් කර තබමි.

• දරුවා නිවසෙන් පිටට යන සෑම මොහොතක්ම අවදානම්,  කොතරම් විනීත රියදුරෙකුට දරුවා භාර දුන්නත් ඒ ගැන විමසිල්ලෙන් ඉන්න.

• එම රියදුරන් මහමගදී අධික වේගයෙන් යනවාද, නියමිත මාර්ග නිතී අනුව රිය පදවනවාද යන්නද සොයා බලන්න.

• දරුවා වාහනයට නැංගවීම, බැස්සවීම, පාර මාරු කිරීම කරන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න.

• දරුවා ප්‍රවාහනයේදී  ආරක්ෂිත දැයි තහවුරු කරගන්න.

අනතුරක් සිදුවෙන්න නොසැලකිල්ල හා නොදැනුවත් කම බලපාන බැවින් ඒ දේවල් වලින් තොර වී සැලකිල්ලෙන් හා පිරිපුන් දැනුමෙන් ඔබ ලෝකය දෙස බලන්න. දරුවාටද එසේ කිරීමට කියා දෙන්න.