දරුවන්ගේ උපන්දින සාදයක සැබෑ සතුට විඳින්න ඔබ කියා දුන්නද?

Share this article with other mums

පළමු උපන් දිනය මහ ඉහළින් සමරන්න දෙමාපියන් කතා කරගන්නවා වෙන්න පුළුවන්. යන්තම් අවුරුද්දක් සම්පූර්ණ පුංචි දරුවාට ඒ ගැන දැනෙන්නේ මොනවද? ඔබ සිතා බැලුවාද?

ඔබේ ලෝකයට ඔබේ පැටියා පැමිණි දින ඔබ සැබවින්ම සතුටට හා සොම්නසට පත් වන දවසක්. අමතක නොවෙන දවසක්. ඒ නිසාම ඒ දිනය සමරන්න හුඟක් දෙමාපියන් උනන්දු වෙනවා. ලෑස්ති වෙනවා.

සමහර විට පළමු උපන් දිනය මහ ඉහළින් සමරන්න දෙමාපියන් කතා කරගන්නවා වෙන්න පුළුවන්. යන්තම් අවුරුද්දක් සම්පූර්ණ පුංචි දරුවාට ඒ ගැන දැනෙන්නේ මොනවද? ඔබ සිතා බැලුවාද?

සැමරුම සාදයක් විතරද ?

මේ සැමරීමේ වැදගත්කම ගැන දෙමාපියන් ලෙස ඔබට ඉතා වැදගත් බව සත්‍යක්. නමුත් එය හිස් සැමරුමක් කර ගැනීමට වඩා වටිනා සැමරුමක් කරගන්න පළමු උපන් දිනයේ සිටම උත්සාහ කරන්න පුළුවන්.

ඔබේ දරුවා වෙනුවෙන් ඔහුගේ වයසේම තවත් දරුවන් කුසට අහරක් ඇඟට ඇඳුමක් නැතිව නිසි ආදරයක් කරුණාවක් නැතිව හැදී වැඩෙනවා. මේ අතර සමහරක් අනාථ නිවාස වල ජීවත් වෙනවා. මේ වෙනස ඔබත් දරුවාත් ඉගෙන ගැනීම හරිම වැදගත්. වේලක් සොයාගත නොහැකි දරුවන් වෙනුවෙන් ඔබ වෙන්කළ සාදයෙන් කොටසක් පිරිනමන්න ඔබට සැලසුම් කරන්න පුළුවන්ද ?

දරුවන්ගේ උපන්දින් සැමරුම් වලට වැඩිහිටියන්ගේ මත්පැන් උවමනාද?

අද බොහෝ උපන්දින සාද වල වැඩියෙන්ම සතුටු වන්නේ වැඩිහිටියන් මිස උපන්දිනය සමරන දරුවා නොවෙයි. බොහෝ විට පියවරුන් දියණියන්ගේ පළමු උපන්දිනය අවසන් කරන්නේ මත්පැන් බෝතල් රැසක් හිස් කරමින් බමන මතින් දරුවාව බය කරමිනුයි. මේ අත්දැකීම දරුවාට ඉතා කටුක අත්දැකීමක් කරන්න ඔබ මූලාරම්භයක් නොදීම හරිම වැදගත්. සමහර විට සාදයක සැබෑ අරුත ආරම්භයත් සමගම දරුවාට තේරුම් ගන්න ඉන් ඉඩක් ලැබෙන්නේ නැහැ.

වර්තමානයේ මංගල උත්සව වගේම උපන්දින සැලසුම් කරන්නත් ආයතන තියෙනවා

පළමු උපන් දිනයට කාඩ්, මල් සැරසිලි, ආහාර හා සංගීතය වීඩියෝ කිරීම් වලින් අඩුවක් නැතිව සැලසුම් කරන්න මේ ආයතන දැන් සැදී පැහැදී සිටිනවා. මේ නිසා කරන අනිසි වියදම් කොයිතරම් දැයි ඔබ සිතුවාද? පුංචි පැටියාගේ උපන්දිනයට ඔබ කාර්යබහුල වුවත් සැලසුම් කරන්න අම්මා තාත්තා යොදාගන්නවා නම් එය කෙතරම් සුන්දරද? දරුවා කැමැති වර්ණ, සුරතලුන් අම්මා තාත්තා හැර දන්නේ කවුද ? අනෙක් අතට මේ අනවශ්‍ය වියදම් දරුවාට මූලාරම්භයේ සිට දෙන්නේ වැරදී ආදර්ශයක්.

මඟුල් ගෙයක් වගේ උපන්දිනයක්

අද දරුවන් උපන්දින සාද වලට රැගෙන ගියත් ඊට එක්වෙන දරුවන්ටත් ඉන් ලැබෙන්නේ යහපත් ආදර්ශයක් නොවෙයි. මේ නිසා දරුවන් උපන්දිනයක සැබෑ අරුත වටහා ගන්නේ නැහැ. එළඹෙන ඔවුන්ගේ උපන්දිනයත් එලෙස සැලසුම් කළයුතු බවට දරුවන් දෙමාපියන්ට බලපෑම් කරන්නේ මේ නොහොබිනා අරුමෝසම් නිසා නේද? අනෙක් අතට මේ නිසා දරුවන් තුළ සතුටට වඩා එකිනෙකා පරයා යාමේ තරඟකාරී බවක් පවා දකින්න පුළුවන්. උපන්දින සාදයක් පැවැත්වීම සොඳුරු මතකයක් වුවත් එහි සිමාවන් දෙමාපියන් ලෙස දැන ගැනීම හරිම වැදගත්.

කුඩා කල සිටම පරිත්‍යාගය හුරු කරන්න

ඔබේ දරුවාට බෙදා ගැනීම පරිත්‍යාගය හුරු කරන්න ඔහුගේ උපන්දිනය යොදාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් කෑම වේලක් නැති බැරි දරුවන්ට දෙන්න ඔබට යෝජනා කරන්න පුළුවන්.

නැතිබැරි අනාථ දරුවන් ගැන ඉන් අවබෝධයක් ඔහුට ලැබෙනවා වගේම සමාජයේ කොයි තරාතිරමේ වුවත් දරුවන් දරුවන්ම බව ඉන් ඔවුන් ඉගෙන ගන්නවා. ඒ නිසා ඔවුන් අනාගතයට පණිවිඩයක් රැගෙන යනවා. ඉන් ඔවුන් උපන්දින සාදයක සැබෑ අරුත තේරුම් ගන්නවා.

 සාදය සමරනවා වගේම ආගමික වත් පිළිවෙත් වලටත් යොමු කරන්න

දරුවාගේ ඉපදීම සිදුවූ දිනයේ වැදගත්කම ආගම සිහිකිරීම තුළින් සිහිකිරීම මගින් තවත් ගැඹුරින් සිහිකර දෙන්න ලැබෙන අවස්ථාවක්. ඔහුට සර්ව සම්පූර්ණ දරුවෙකු ලෙස මෙලොව එළිය ලබන්නට ලද වාසනාව හා ඒ සමගම ඔහුගේ අනාගතය හා එළඹෙන වසරට ශක්තියෙන් මුහුණ දෙන්න ඔයාට පුළුවන් යන හැඟීම් ඇති කිරීමට ඔබට දරුවාව පන්සලට, පල්ලියට, කෝවිලට රැගෙන යන්න පුළුවන්. ජීවිතය සමබර කරගන්න පුංචි සාදයක්, නැති අයට සතුටට අපෙන් යමක්, ජිවිතයේ අධ්‍යාත්මය සිහි කරගන්න උපන්දිනය අපට පාඩම් උගන්වන වැදගත් දිනයක් කරවන්නේ එවිටයි.

අවන්හල් තරු පහේ හෝටල් වල පැවැත්වෙන දරුවන්ගේ උපන්දින සාද

මේ ආදර්ශය ඔබ ඔබේ දරුවාට උපන්දිනයේ නියම සතුටට වඩා බොරු ආටෝපය උගන්වන බව බොහෝ දැනුම් තේරුම් ඇති අය කියාවි. උපන්දිනයට දරුවන් දරුවන් කැමති වන්නේ තරු පහේ හෝටලයක සාදයක් ගැනීමට වඩා ඔවුන්ගේ සම වයසේ මිතුරු මිතුරියන් සමග හැකි තරම් විනෝද වෙමින් ක්‍රීඩා කරන්නටත්, රසකැවිලි, තෑගි හුවමාරු කරගන්නටත් බව, සාදය මැද අපහසුතාවයට පත්වන දරුවන් දැක ඇති මට බොහෝ විට සිතනවා. අවසානයේ සාදය මැද දරුවන් ඔවුන්ට දරාගත් නොහැකි ඇඳුම් ආයිත්තම් හා අටෝපයන් මැද වෙහෙසට පත්ව නින්දට වැටෙනවා. සමහර විට බිලිඳු දරුවා අමුත්තන්ගේ අතින් අතට තැලී පොඩිවී අවසානයේ විඩාවෙන් හෙම්බත් වෙනවා.

ඔබ ලබන සතුට එයද ?

දෙමාපියන් ලෙස දෙවරක් සිතන්න. සරල සාදයක සතුට දරුවෙකුට දීම වරදක් නැතත් එය අරුත්බර ලෙස දරුවන්ට උගන්වන්න උත්සාහ කරන්න. ඵල රහිත බව ජීවිතයට ආලෝකයක් නොවන බව වැදගත් දිනයක ඔවුන්ට ඒත්තු ගන්වන්න. theAsianparent  Sri Lanka මේ පණිවිඩය ඔබේ සිතුවිලි අරුත් ගන්වන්නයි.

 

Celebrations