Dr. Dinu ගෙන් අසන්න: දරුවන්ගේ කථන ප්‍රමාදය

lead image

දරුවාගේ කතා කිරීමේ ප්‍රමාදයක් තිබෙනවා නම් ඒ ගැන උවමනාවට වඩා බිය වීමත් හොඳ නැති අතර නොසලකා හැරීමත් හොඳ නැහැ. මේ ලිපිය කියවා ඒ ගැන මනාව දැනුවත් වන්න.

දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇති මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.

Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍ය වරියක ලෙසද සේවය කර තිබෙනවා.

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍ය වරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

අද Dr. Dinu අපව දැනුවත් කරන්නේ අලුත් අම්මලා තාත්තලා බොහෝ විට සිතින් කලබල වන විවිධ අය විවිධ මත දරණ තත්වයක් පිළිබඳව. ඒ තමා ඇතැම් කුඩා දරුවන්ගේ කථන ප්‍රමාදය.

කුඩා දරුවන්ගේ කථන ප්‍රමාදය

1 වෛද්‍ය තුමියනි, දරුවා කතා නොකිරීම සාමාන්‍ය වන්නේ කුමන වයස දක්වාද? දරුවාගේ කථන ප්‍රමාදය මා හඳුනාගන්නේ කෙසේද?

බොහෝ වෙලාවට දෙමව්පියන්ගේ  අවධානයට ලක් නොවුවද දරුවෙක් කතා කරන්න අඩිතාලම දමන්නේ ඉපදුනු දවසේ සිටයි. බිලිඳු අවදියේ සිටම යම් යම් උත්තේජන වලට ශබ්ද නැගීම, හැන්ඩම, සිනාසීම සහ යම් ප්‍රතිචාර දැක්වීම පසු කලකදී කතා කිරීමට උපකාරී වෙනවා.

භාෂා හැසිරවීම, කතා කිරීම එකම පවුලේ වුවත්  දරුවාගෙන් දරුවාට වෙනස් වන බව දෙමව්පියන් තේරුම් ගත යුතුයි. දරුවෙක් තම මුල් වචනය  හඬ නගන්නේ සාමාන්‍යයෙන් මාස 7 සිට මාස 12 දක්වා කාල පරාසය තුලයි.

තම බිලිඳාගේ හෝ දරුවාගේ භාෂා හැසිරුවීමට සහ තේරුම් ගැනීමට උපකාරී වන සන්ධිස්ථානයන් මම ඉතාමත් සැකෙවින් සඳහන් කරන්නම්.

* උපතේ සිට මාස 3 දක්වා

- ඝෝෂාකාරී ශබ්ධ වලට තිගැස්සීම (උපතේ සිට)

- මවගේ කටහඬ ඇසුණු විට නොසන්සුන් බව නතර වීම, කිරි උරාබීම වේගවත් හෝ මන්දගාමී වීම

- සතුටුදායක උත්තේජන වලට ප්‍රීතිමත් ශබ්ධ පිටකිරීම

* මාස 4-6

- ශබ්ද නිකුත් වන දෙසට ඇස යොමු කිරීම

- සංගීතයට අවධානයෙන් ඇහුම්කන් දීම

- "ප්, ප, බ්, බ, ම්, ම"  වැනි තනි අකුරේ ශබ්ද පිටකිරීම

- සතුට හෝ දුක ශබ්ද මගින් ප්‍රකාශ කිරීම

*මාස 7-12

- ශබ්ද නිකුත් වන දෙසට ශරීරය හැරවීම

- දරුවාට කතාකරන විට ඔහු අවධානය යොමු කිරීම

- දිගු ශබ්ධ පිටකිරීම ( තාතා , මාමා , බිබී ,යියි , පුපු, "තාත් තත්", "අම් මම්" )

- වැඩිහිටියන් නගන ශබ්ද අනුකරණය කිරීමට තැත් කිරීම

- සාමාන්‍ය ව්‍යවහාරික වචන හඳුනා ගැනීම ( බොලේ, පුසා, බව්වා, වතුර ( ජෝ ) )

අවුරුද්දේ සිට අවුරුදු 2 දක්වා 

- ශරීරයේ කොටස් හඳුනාගැනීම සහ ඒවාට ඇත දිගුකර පෙන්වීම

- සරල වාක්‍ය තේරුම් ගැනීම  ( කෝ අම්මා ?, කෝ බෝලේ ? )

- වචනයේ හෝ වචන දෙකේ ප්‍රශ්න ගොඩනැගීම ( "කෝ ?",  "තාත්තා ගියා ?" ), වාක්‍ය ගොඩනැගීම ( පූසා දොයි, බබා බෝතලේ, කුක්කු බොමු  )

- සෑම මාසයකම අලුත් වචන ඉගෙනගැනීම.

* අවුරුදු 2-3

- විරුද්ධ වචන වල තේරුම් හඳුනාගැනීම ( ඇතුල-එලිය, ලොකු-පොඩි , උඩ-පහල )

- එකවර විධාන 2ක් තේරුම් ගැනීම ( පොත අරන්, අම්මිට දෙන්න )

- සෑම දෙයකටම වචනයක් භාවිත කිරීම

- වචන 2-3 වාක්‍ය කතා කිරීම

* අවුරුදු 3-4 

- සැමටම තේරුම් ගත හැකි වාක්‍ය පහසුවෙන් කතා කිරීම ( වචන 4ක් හෝ ඊට වැඩි)

* අවුරුදු 4-5 

- කෙටි කතන්දරයක් අසා සිටීම සහ කීම

- සාමාන්‍ය සරල ව්‍යාකරණ භාවිතය

ඉහත සඳහන් සන්ධිස්ඨාන කරා සති කිහිපයක් කලින් හෝ ප්‍රමාධ වී ලඟාවීම සාමාන්‍ය තත්වයක්. තවද නොමේරු බිලිඳුන් ලෙස ඉපදුනු දරුවනුත් මදක් ප්‍රමාද වීමට ඉඩ තිබෙනවා. යම් දරුවෙකු මෙමෙ සංදිස්ථාන වලට ලඟාවීමට සති 6ට වඩා ප්‍රමාද වුනොත් වෛද්‍ය  උපදෙස් ලබාගැනීම තමයි වඩාත් සුදුසු.

2 නිවසේ වෙනස් භාෂාවන් කතා කිරීමෙන් දරුවාගේ කථාව ප්‍රමාද විය හැකිද

මෙය ඉතාමත් ජනප්‍රිය පිළිගැනීමක් වුවද නව පරීක්ෂණ වලින් පෙන්වාදී ඇත්තේ උපතේ සිට අවුරුදු 3-7 දක්වා දරුවන් ඉතාම හොඳින් භාෂා ග්‍රහණය කරගන්නා බවයි. භාෂා දෙකකට නිරාවරණය වීමෙන් කථන ප්‍රමාදයක් ඇති නොවන අතර දරුවා නිසි පුද්ගලයා සමග නිසි භාෂාවෙන් කතාකිරීමට ඉගෙන ගන්නා බව මෙම පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.

දරුවාගේ කථනය පහසු කිරීමට මට කල හැකි යමක් තිබේද?

දරුවා ඉපදුනු දවසේ සිටම ඔහු සමග කතා කිරීම, ගීත ගැයීම, දරුවාට මුලින් නොතේරුණත් ඉපදුනු දවසේ සිටම පින්තුර ඇති පොත් ඔහුට ඇසෙන ලෙස කියවීම,පැහැදිලි වචන කතා කිරීම, ඔහු සමග සිනාසීම, දරුවා දෙඩවීමට පටන් ගත් විට ඔබත් දරුවාගේ ශබ්ධ අනුකරණය කර දරුවාව උත්තේජනය කිරීම, මාස 6දී පමණ කෙටි ප්‍රශ්න නැගීම, දරුවාට යම් යම් දේ පෙන්වා ඒවායේ නම්, තේරුම් ඉගැන්වීම වැනි බොහෝ දේවල් මගිනුත්, දරුවාට ඇහුම්කන් දීමත් ඔහුට තමන් විසින්ම ශබ්ද උච්චාරණයට ඉඩකඩ සැලසීම මගිනුත් දරුවාගේ කථනය සහ සන්නිවේදනය පහසු කිරීමට ඔබට පුළුවන්.

4 කථන ප්‍රමාදයට හේතුකාරක විය හැක්කේ මොනවාද?

කන් ඇසීමේ දුර්වලතා, තේරුම් ගැනීමේ අපහසුතා, ප්‍රතිග්‍රහ කිරීමේ ගැටළු,උච්චාරණය කිරීමේ අපහසුතා, අවඋත්තේජනය සහ නොයෙක් රෝගී තත්ත්වයන්  කතන ප්‍රමාදයට හේතුකාරක වෙන්න පුළුවන්.

තවත් වැදගත්ම දෙයක් තමයි දරුවන්ව නොමනා ලෙස ෆෝන්, ටැබ්, TV වලට හුරු කිරීම. මේ නිසා කථන ප්‍රමාධය, ඉගෙනීමේ අපහසුතා වැනි බොහෝ ආදීනව තිබෙනවා. එනිසා ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනික වැඩසටහන්, කාටූන් වර්ග හෝ වීඩියෝ යන කිසිම දෙයක් මාස 18කට අඩු දරුවන්ට හුරු නොකිරීමත් අවුරුදු 2ක දරුවෙකුට දවසට පැයක් පමණක් ඉලෙක්ර්ට්‍රොනික උපකරණ ලබාදීමත් දරුවාගේ මානසික වර්ධනයට වැදගත් වෙනවා.

5 දරුවා සමඟ සාර්ථකව සන්නිවේදනය කල හැකි ක්‍රම මොනවාද?

සෑම දරුවෙක්ම එකිනෙකාට විව්ධකාරයි. දෙමව්පියන් මේ ගැන අවබෝධ කරගෙන ඒ ඒ දරුවාට අවශ්‍ය  ලෙස සන්නිවේදනය කිරීම වැදගත්. දරුවාට මා ඉහත කී පරිදි නිසි කලට යම් යම් දේ ඉගැන්වීමත්, ඔහුගේ අදහස් හා නිගමන පිලිබඳ ප්‍රශංසා කිරීම හෝ කරුණාවෙන් නිවැරදි කිරීම කුඩා මනස දියුනු කිරීමට ඉතාමත් වැදගත් වෙනවා.

6 කථන ප්‍රමාදය වෙනත් රෝගයක පෙර ලකුණු විය හැකිද?

ඔව්. ඔටිසම් ස්පෙක්ට්‍ර්ම් ඩිසෝඩර් සහ වෙනත් රෝගී තත්ත්ව වල පෙර ලකුණු ලෙස කතන ප්‍රමාදය එලි දැක්වෙන්න පුළුවන්.

7 දරුවාගේ කථන ප්‍රමාදය ගැන මා වහා ක්‍රියාත්මක විය යුත්තේ කිනම් අවස්ථාවකදීද?

දරුවෙකු ඉපදුනු දා සිටම නිසි වයස් වලදී කලයුතු දේ සායන පොත් වල සඳහන් වී තිබෙනවා. මේ දේවල් ප්‍රමාධ වූ විට දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම ඉතාම වැදගත්. මුල සිටම ශබ්ද වලට තිගැස්සෙන්නේ නැත්නම්, මවගේ කටහඩට ප්‍රතිචාර නැතිනම්, මාස 4-6 දී දොඩවන්නේ නැතිනම්, මුල් වචනයක් අවුරුද්දක් යනකන් නොකීවොත්, දරුවා විධාන වලට ප්‍රතිචාර දක්වන්නේ නැතිනම් පළපුරුදු වෛද්‍ය  අවවාද ලබාගැනීම තමයි වඩාත් සුදුසු.  මෙම ලක්ෂණ කලින් හඳුනාගැනීම මගින් දරුවාට කතා කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් හෝ කථන ප්‍රතිකර්ම ඉක්මන් කිරීමෙන් දරුවාගේ සන්නිවේදන කුසලතාවයට විය හැකි හානිය අවම කරගැනීමට හැකි වෙනවා.

8 රෝගී තත්ත්වක් නැතුව කතන ප්‍රමාදයක් ඇතිවෙන්න පුළුවන් ද?

දරුවන් විව්ධාකාර නිසා සමහර දරුවන්ට කතන ප්‍රමාදය ඇතිවන්නේ රෝගී තත්වයක් නිසාම නොවන බවත් මතක තබාගැනීම වැදගත්. ඒ නිසයි දරුවාගේ වෙනසක් දුටු විට පළපුරුදු වෛද්‍ය වරයෙකු මුණගැසී මේ පිළිබඳව පරීක්ෂා කරවා ගත යුත්තේ.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/07/Dr. Dinu photo2 250x264.png Dr. Dinu ගෙන් අසන්න: දරුවන්ගේ කථන ප්‍රමාදය

දරුවන්ගේ කථන ප්‍රමාදය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය  දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.