දෙමව්පියන් දරුවන්ට බෙහෙත් ලබාදීමේදී නිතර සිදු කරන වැරදි 8ක්

ඔබ අතිනුත් මේ වැරදි සිදුවෙනවාද බලන්න...

තමන්ගේ දරුවන් අසනීප වීම තරම් දෙමාපියන් දුකට පත්වන හේතුවක් නැති තරම්. මේ නිසා වෛද්‍ය නිර්දේශය මත හෝ වෙනත් උපදෙස් මටත් හරි දරුවන් ගේ රෝගී තත්වයන් අඩු වෙනවා නම් ඒක දෙමාපියන්ට ලොකු සැනසීමක්.

දරුවන්ට බෙහෙත් ලබාදීම කරගෙන යද්දී ඔවුන් සුව අතට පත් වෙමින් සිටීම සමහර විට දෙමාපියන් සැහැල්ලුවට පත් කරන්නක් වුවද, මෙලෙස ශාල්ලුවෙන් සිතීම නිසාම අප මුල වරද්ද ගන්න අවස්ථා බොහොමයි.

ඒ වගේම බොහෝ දෙමාපියන් බෙහෙත් දෙන ආකාරයන්, මාත්‍රාවන් හා කරන වැරදි වත් පිළිවෙත් නිසාම ඔවුන් බලාපොරොත්තු වන යහපත් ප්ප්‍රථිපලයන්ට වඩා අයහපත් ප්‍රථිපල ලැබෙන ප්‍රමාණය වැඩියි.

අප විසින් සිදු කරන ලද පර්යේෂණ වාර්තා මෙන්ම මේ පිළිබඳ සින්ගපුරුවේ ළමා රෝග විශේෂඥය වෛද්‍ය ප්‍රදීප් රවුට් මහතා හරහාද දෙමාපියන් අතින් දරුවන්ට බෙහෙත් වර්ග ලබා දීමේදී සිදුවිය හැකි සුලබ අත් වැරදි 8ක් ගැන දැනුවත් වෙන්න ඔබට පුළුවන්.

1. පොඩි හෙම්බිරිස්සාවට ගොඩක් බෙහෙත් ඕනෙද?

හෙම්බිරිස්සාව නිසා පැටියට රෑට රෑට කැස්සකුත් ආවහම ඔබේ හිත ගොඩක් රිදෙනවා. ඔබ ළඟම තියෙන ෆාමසියෙන් හෙම්බිරිස්සාව හා කැස්සට තියෙන සිරප් එකක් ගත්තා කියලා හිතන්න. කොහොම වෙතත් වෛධ්‍ය වරුන් පවසන ආකාරයට බෙහෙත් වර්ග වලින් රෝග තත්වයට කරන්නේ ඉතා සුළු බලපෑමක්.

සමහර විට සොටු දියර ගැලීම නවතින්න පුළුවන්. ඊට අමතර බොහෝ ඖෂධ විශේෂඥයන්ට අනුව වෛද්‍ය නිර්දේශයෙන් තොරව තමන් තෝරා ගන්නා බෙහෙත් වර්ග වල විවිධ රෝග ලක්ෂණ සඳහා නම් කෙරුණත් සෑම බෙහෙත් වර්ගයකම එක වර්ගයේ අමුද්‍රව්‍ය අඩංගු විය හැකියි.

උදාහරණයක් ලෙස හෙම්බිරිස්සාව සඳහා වන බෙහෙත් වර්ග වලට පැරසිටමෝල් අඩංගු වෙනවා. ඉතින් ඔබ ඉහතින් කියූ බෙහෙත් වර්ගය ඔබේ දරුවට නහයෙන් සොටු දියර ගැලීම නිසා ලබා දුන්නොත් සහ උණට පැනඩෝල් ලබා දුන්නොත් දරුවට නිර්දේශිත මාත්‍රාව මෙන් දෙගුණයක් පැරසිටමෝල් ලැබෙනවා.

එය ඔහුගේ සෞඛය දිගු කාලීනව නරක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකිය.

ඒ වෙනුවට ඔබට කල හැක්කේ කුමක්ද?

හෙම්බිරිස්සාවක් හැදීගෙන එනකොට ස්වාභාවිකව දිය හැකි බෙහෙත් උත්සහ කර බලන්න. ඉඟුරු, කොත්තමල්ලි, පස් පංගුව මේ අතර ප්‍රධානයි. වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසි විටෙකත් එකම බෙහෙත් අඩංගු බෙහෙත් එක පිට දෙවරක් දීම ඔබ කිසිසේත් නොකළ යුතුය.

2. ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාවන් නියමිත කාලයට පෙර නොගෙන නතර කිරීම

අප බොහෝ දෙනෙක් මේ වැරැද්ද කරනවා. අපේ දරුවා ප්‍රතිජීවක ඖෂධ දින කිහිපයක් ගනිද්දී සුව අතට හැරෙනවා. ඉතින් අපි කරන්නේ තවදුරටත් ප්‍රතිජීවක ඖෂධ දෙන එක නවත්තනවා.

ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරන්නේ විෂබීජ හා අනෙකුත් ආසාදන සමග සටන් කිරීමටයි. ඔබ නිර්දේශිත කාල සීමාවට පෙර ප්‍රතිජීවක ඖෂධ නතර කළහොත් විෂබීජ නැවත පණ ගැන්වීමේ අවස්ථාව වැඩියි.

සින්ගපුරුවේ වෛද්‍ය රවුට් මහතාට අනුව, විෂබීජ වර්ධනය වීමත් ප්‍රතිශක්තියත් ඇති අතර මෙම වැඩිම අනුව ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාවන් හා ගත යුතු කාල සීමාවන් නිර්ණය වෙනවා. ඒ නිසා සමහර බැක්ටීරියාවන් විනාශ කිරීමට නම් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශිත කාලය දරුවන්ට ලබා දීම හරිම වැදගත්.

ඉතින් ඔබ කල යුත්තේ

දරුවා සුව අතට පත් වී අතැයි දකින්නට ලැබුනත් නිර්දේශිත කාලය තෙක් එම බෙහෙත් ලබා දීමයි.

3. සෞඛය ගැටළු වලට අමතරව බෙහෙත් ලබා දෙන අවස්ථාවන් ඔබට තිබෙනවද?

කියන්න බලන්න ඔබේ දරුවා ගුවන් ගමනකදී නින්දට නොයා බොහෝ කරදරකාරී ලෙස හැසිරෙද්දී ඔබත් කැස්සට දෙන පැණියෙන් ටිකක් එහෙම දීලා තියෙනවද? ඔබත් මේ වැරැද්ද කරනවා නම් නැවත වරක් ඒ ගැන සිතා බලන්න.

ජෝර්ජ් ටවුන් වෛද්‍ය විද්‍යාලයේ කරන ලද සමීක්ෂණ වලට අනුව ප්‍රසිද්ධ බෙහෙත්, පැණි වර්ග දරුවන් ගුවන් ගමන් අතර වාරයේ නින්දට යැවීමට අපහසු අවස්ථාවන් වලදී ලබා දෙන බවත් ඉන් අනවශ්‍ය ලෙස දරුවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට සමත් වන බවත් සොයා ගත්තා.

මේ වෙනුවට ඔබට කල හැකි දේවල් තිබෙනවද?

ඔවුන් කැමතිම සෙල්ලම් බඩු පෝෂණීය රසවත් කෑම වර්ග කිහිපයක් සහ ඔබේ ඉවසීමෙන් වැඩිපුර ප්‍රමාණයකුත් රැගෙන යන්න අමතක නොකරන්න. එය එතරම් ම අපහසු නොවේවි!

4.දරුවන්ට දෙන බෙහෙත් මාත්‍රාවන් දිය යුත්තේ වයස අනුව ට වඩා බර අනුවයි.

වෛද්‍ය රවුට් මහතාට අනුව මේ බෙහෙත් වැඩියෙන් දීම හෝ අඩුවෙන් දීමද වැලැක්විය යුතුම කරුණකි. දරුවන්ගේ පරිවෘත්තිය චක්‍රය ක්‍රියාත්මක වන්නේ වයස අනුව නොව බර අනුවයි.

එමෙන්ම වෛද්‍ය නිර්දේශයේදී ඔබේ දරුවා අඩු බර හෝ වැඩි බර අංශයෙන් නිර්ණය කර ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. පරික්ෂණ වලට අනුව වැඩි බර ළමුන්ගේ පරිවෘත්තිය චක්‍රය නිසි වයසේ දරුවන්ට වඩා වැඩි බව සොයාගෙන ඇත. ඉන් පැහැදිලි වන්නේ වැඩි බර ළමුන් සඳහා නිසැකව වැඩි බෙහෙත් මාත්‍රාවන් අවශ්‍ය වන බව නොවේද?

ඉතින් ඔබ කල යුත්තේ කුමක්ද?

නිතරම ඔබේ දරුවාගේ බර ගැන අවදානයෙන් සිටින්න. ඔවුන් අඩු බර හෝ වැඩි බර යන අංශ වල සිටී නම් ඒ බව බෙහෙත් ලබා දීමට පෙර මතක තබා ගත යුතුමයි. ඔබේ ළමා වෛද්‍යවරයා ඊට අනුව දරුවාගේ බෙහෙත් නිර්දේශ කරනු ඇත.

5. නිසි ලෙස මාත්‍රාවන් මැනීම නොකළහොත්

මේස හැන්ද, තේ හැන්ද යන ප්‍රමාණ නිරතුරුව බෙහෙත් ලබා දීමේදී නිවැරදි නොවන්න පුළුවන් . ජාත්‍යන්තරව කරන ලද පරීක්ෂණ වලට අනුව සමහර නිවෙස්වල ඇති බොහෝ හැඳි වල ප්‍රමාණ එකිනෙකට සුළු හෝ විශාල වශයෙන් වෙනස්කම් ඇති බව සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මුද්‍රිත මාත්‍රා සහිත කුඩා කෝප්ප ආදියද භාවිතයේදී ඇස් මට්ටමට බෙහෙත් දැමීම හා සමහර ම්ව්වරුන් ප්‍රමාණය අනුමාන කිරීම මත වත්කිරීම ආදිය නිසා ද වැරදීම් බහුලව සිදුවන බව සොයාගෙන ඇත.

ඔබට කල හැක්කේ කුමක්ද?

තේ හැඳි හෝ මේස හැඳි භාවිතයට වඩා සිලින්ජයකින් බෙහෙත් වර්ග දීම හා මිලිලීටර් වලින් බෙහෙත් නිර්දේශය හා ලබාදීම ද ජාත්‍යන්තර වශයෙන් ළමා වෛද්‍ය වරුන් පිළිගන්න ක්‍රමයයි.

6. එකම බෙහෙත නියමිත වාර ගණනට වැඩියෙන් දුන්නොත්?

මගේ පුතාට හොඳට උණ ගත්තා. අපි ඉක්මනට පැනඩෝල් දුන්නා. පැයකින් විතර බලනකොටත් උණ ටිකක්වත් අඩු වෙලා නෑ. අපි අයෙත් පැනඩෝල් දුන්නා.

මෙවැනි අවස්ථා වලට ඔබත් මුහුණදී තිබෙනවාද?

නමුත් මෙවැනි සිදුවීමක් ඔබේ දරුවාගේ සෞඛයට නරක ලෙස බලපාන බව ඔබ දන්නවද?

එහෙනම් ඔබ කල යුත්තේ කුමක්ද?

අප පැය 24 ක් තුළ වාර 4 කට වඩා පැරසිටමෝල් විශේෂයන් දරුවන්ට ලබා දීම නොකළ යුත්තක්. පැය 6 කට වරක් මාත්‍රාවක් ලබා දීම සුදුසු අනුමත ක්‍රමයකි. මෙය මතක තබා ගැනීම අපහසු නම් බෙහෙත් ලබා දුන් වේලාවන් සටහන් කර ගැනීම වඩාත් පහසු වේවි.

7. උණ එතරම් නැත්නම් බෙහෙත් ඕනෙද?

උණ යනුවෙන් අදහස් කරන්නේ අපේ ශරීරයේ යම් අසාදනයකට එරෙහිව දැඩිව අරගල කරන අවස්ථාව යි. ඔබේ දරුවාට ඉතා අවම සීමාවක උෂ්ණත්වයකින් උණ බව සටහන් කරන්නේ නම් එකවර බෙහෙත් දීම නොකර සිටීම ඔබට කල හැකියි. මන්ද ශරීරය ස්වාභාවිකව ආසාදනයන් සමග සටන් කිරීමට අවස්ථාව දීම වඩාත් යෝග්‍ය නිසයි.

මන්ද එය දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනයට ඉවහල් වෙනවා. වෛද්‍ය රවුට් මහතා පවසන ආකාරයට සමහර ළමයින් අවම උණ තත්වයන් හිදී ඉතා අපහසුවෙන් පසු වුවත්, සමහර ළමයින් එසේ නොපෙන්වන බවයි. කෙසේ වෙතත් උණට බෙහෙත් ලබා දීම මගින් ශරීර උෂ්ණත්වය නිසා ඇති වන අපහසුතා මග හැරීම මූලිකව සිදුවන ක්‍රියාකාරීත්වයයි.

ඒ වෙනුවට ඔබ කල යුත්තේ කුමක්ද?

මද රස්නයක් පමණක් ඇත්නම් ඔබට නිවසේදීම යම් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් කර බලන්න පුළුවන්. තෙත රෙදි කඩකින් දරුවාගේ නළල, ඉකිලිය ආදී තැන් තෙත් කල හැකියි.

අලුත උපන් බිලිදෙකුට ඇතිවෙන සාමාන්‍ය උණකදී වුවද ඔබ දරුවා වෛද්‍යවරයෙකු ළඟට රැගෙන යායුතු බව මතක තබා ගන්න.

8. සාම්ප්‍රදායික බෙහෙත් ක්‍රම හා වෛද්‍ය නිර්දේශයට අනුව දෙන බෙහෙත්

සාම්ප්‍රදායිකව අපට පුරුදු ක්‍රම හා වෛද්‍ය විද්‍යානුකුලව නිර්දේශ කරන බෙහෙත් ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයෙන් නිසා ඒ බව ඔබ දැනට ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයාට හෝ නැතහොත් සාම්ප්‍රදායික ක්‍රමය නිර්දේශ කරන තැනැත්තාට ඒ බව දැන්වීම ඉතා වැදගත්.

ඉතින් ඔබටත් මේ කරුණු හොඳින් වටහා ගෙන පෙර වූ අතපසුවීම් වළකා ගන්න පුළුවන් වෙතැයි අපි විශ්වාස කරනවා.

දරුවන්ගේ නිරෝගිකම අපට ඇති ලොකුම සම්පතයි. මේ අදහස් ඒ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ