දරුවාගේ වයස මාස දහ හත: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවාගේ වයස මාස දහ හත: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

අවුරුද්දයි මාස පහේ (මාස 17ක් වයසැති) ඔබේ ළදරුවාගේ ග්‍රහණ හැකියාව ශක්තිමත් වෙමින් පවතිනවා. ඔහු සිය ඇගිලි වලින් කරනු ලබන ග්‍රහණය වර්ධනය කරමින් සිටිනවා.

දරුවන්ගේ වර්ධනය මාස 17: ඔහුට දැන් සිපර් එක සහ පැන්සල් තදින් අල්ල ගන්න පුළුවන්. මානසික වශයෙන්, ඔහු අනෙක් අයගේ හැගීම් තේරුම් ගන්න හා බෙදාගන්න හැකියාව වර්ධනය කරමින් සිටිනවා.

විවෘත කරන්න හා වහන්න, පත්තු කරන්න හා නිවන්න, සිපර් එක වහන්න හා අරින්න වගේ දේවල් කරන්න ඔබේ දරුවා හරි කැමතියි. එය නැවත නැවතත් කරාවි. සුදානම් වන්න ඔබට පීඩනයෙන් පිරි කාලයක් උදාවෙන්න නියමිතයි.

දරුවන්ගේ වර්ධනය මාස 17 – ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
දරුවන්ගේ වර්ධනය මාස 17 – ශාරීරික සංවර්ධනය

ඔබේ පුංචි දරුවාගේ ළමා කාලයේ ඇතිවෙන චලන හැකියාව ( Gross motor skills) සංවර්ධනය වන විට ඔහුගේ කුඩා මස්පිඩු චලන කුසලතා ද (Fine motor skills ) වැඩි වේ. ඔහුගේ කුඩා ඇඟිලි වඩ වඩාත් දක්ෂ ලෙස වැඩෙමින් තියෙනවා. ඔහුගේ ඇගිලි වලින් කරන ග්‍රහණය ශක්තිමත් වෙමින් පවතිනවා.

ඔහු රේඛාවක් සහ චාපයක් අදිනවා දැන් දකින්න පුළුවන්. ඔබ රෙදි කැබැල්ලෙන් අල්ල ගෙන ඉන්නකම් ඔහුට විශාල සිපර් එකක් ඉහළට හෝ පහළට කරන්න පුළුවන්.

ඔහු ප්‍රමාණවත් ලෙස උස නම් දොර අගුළු කැරකවීම සහ ලාච්චු විවෘත කිරීම එතරම් අපහසු කාර්යයක් නොවේ. ඔහුගේ ඩයපර් ඉවත් කරන්නේ කෙසේදැයි ඔහු හදුනාගෙන ඇති නිසා ඔහු ගැන හොඳින් විමසිල්ලෙන් සිටින්න. ඔහු පොටිය (Potty) භාවිතා කරන්න උනන්දුවක් දක්වන බවට මෙය සලකුණක් වෙන්න පුළුවන්.

නමුත් බොහෝ දරුවන්ට වයස අවුරුදු දෙකක් වන තුරු ඔවුන්ගේ මුත්‍රාශයේ හොද පාලනයක් නැහැ. ඒ වෙනුවට ඔවුන් එය භාවිතා කල යුත්තේ කොයි වේලාවටද කියා මතක් කිරීම සඳහා ඔවුන්ගේ අම්මා, තාත්තා හෝ නැන්දා සිටිය යුතුයි.

ඔහුගේ මාස 17 ක් වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහු මේ වන විට නැගී සිට දුව පැන්නත් තවම ඔහුට පූර්ණ සම්බන්ධීකරණයක් නැහැ. ඔහු නිතර සෝෆා එකේ සහ මේසයේ ගැටෙන්න ඉඩ තියෙනවා. කණගාටු වෙන්න එපා. මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් වෙනවා.

ඔහුගේ රිද්මය පිළිබඳ හැඟීම තවම ක්‍රියාත්මක නොවුනද නර්තනය තවත් ඔහුගේ ප්‍රියතම ක්‍රියාකාරකමක් වෙනවා. ඒ වගේම මෙම මාසය දෙමාපියන්ට අපේක්ෂා කළ හැකි වඩාත්ම සිත්ගන්නා කරුණ නම් හුරු අත හදුනාගත හැකි වීමයි. ඔබේ පුංචි පැටියාට හුරු දකුණු අතද හෝ වම් අතද?

දරුවන්ගේ වර්ධනය මාස 17 – ශාරීරික වර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්

ආරක්ෂිත එළිමහන් ස්ථානවල සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ගත කරන්න එහිදී ඔහුට දුවන්න, බෝල වලට පා
පහරදෙන්න පුහුණු වීමට වැඩි ඉඩක් තියෙනවා.

එළිමහන් ක්‍රීඩා කිරීමට කාලගුණය හොද මදි නම්, ඔබට නිවස තුල විනෝද වෙන්න පුළුවන්. සංගීතයක්
වාදනය කර හෝ එකට ගීත ගායනා කරමින් නටන්න. එය සුපිරි පහසු ක්‍රියාකාරකමක් සේ පෙනෙන නමුත් එය
ඔබේ දරුවාට සම්බන්ධීකරණය, රිද්මය සහ චලනය ඉගෙන ගැනීමට උපකාරී වෙනවා.

ඔහුට පාට කූරු වලින් රේඛා අදින්න දෙන්න. වර්ණ ඉගෙනීම සඳහා මෙය විශිෂ්ට ක්‍රමයක් වෙනවා. එපමණක්
නොව ඔහුගේ ඇගිලි වල ග්‍රහණය පුහුණු කිරීමට මෙන්ම අතේ පාලනය ඉගෙන ගැනීමටද එය උපකාරී වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවාට කුඩා වස්තූන් හෝ ආහාර කැබලි අහුලා ගන්න නොහැකි නම්
  • ඔබේ දරුවාට උපකාර නොමැතිව ඇවිදින්න නොහැකි විට
දරුවන්ගේ වර්ධනය මාස 17 – මානසික සංවර්ධනය

වඩා ශක්තිමත් ඇගිලි ග්‍රහණයක් ඇතිනම් ඔබේ කුඩා දරුවා කුඩා දරුවන්ගේ වර්ධනය යටතේ ඊලග සෙල්ලම් බඩු අදියර සඳහා සූදානම්.

හැඩය තෝරන කැට, වර්ණවත් කෝප්ප ගොඩගැසීම සහ එහා මෙහා කිරීමට නොබ් සහිත ලී ප්‍රහේලිකා භාවිතයට මේ කාලයයි.

හැඩතල ගැන ඔහුට උගන්වන විට වර්ණ ගැනද සඳහන් කරන්න. සමහර කුඩා ළමුන් එක් වර්ණයක් සඳහා වැඩි කැමැත්තක් ඇති කර ගනීවි (කහ යනු බොහෝ දෙනා ප්‍රිය කරන වර්ණයකි). 

ඔබේ දරුවා ඒ සදහා උනන්දුවක් නොදක්වන්නේ නම් කණගාටු වෙන්න එපා. ඔහු වර්ණ හඳුනා ගැනීම ආරම්භ වුවා පමණයි.

ඔබේ දරුවා තවමත් දේවල් ඔහුගේ මුවේ දමා ගනියි. මෙය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයකි.

ඔහු ලෝකය ගැන ඉගෙන ගැනීමට ඔහුගේ සියලු සංවේදීතාවන් භාවිතා කරන අතර එයට රස බැලීමද ඇතුළත් වෙනවා.

ඔබ කල යුතු වන්නේ ඔහුගේ සෙල්ලම් බඩු පිරිසිදුව තබා ගැනීමයි. සෑම දින කිහිපයකට වරක් ඒවා පිටත ගත් පසු ඉක්මනින්
සෝදා තබන්න.

ඔහුගේ මාස 17 ක් වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔබේ කුඩා දරුවා පෙර කළ සියලු ගවේෂණවල ප්‍රතිඵල පෙන්වීමට පටන් ගන්නවා. ඔහු ස්ථාන සහ පුද්ගලයන් හදුනන බව ඔබට දකින්න පුළුවන්.

ඒ මගින් ඔහුගේ මතක ශක්තිය විදහා දක්වනවා. ඔබේ ගෘහ භාණ්ඩ වල ස්ථාන මාරු කල විට පවා ඔහුගේ මුහුණේ පුදුමයක් සලකුණු වෙන්න පුළුවන්.

දරුවන්ගේ වර්ධනය මාස 17 – මානසික වර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

සෙල්ලම් කිරීමෙන් පසු ඔහුගේ සෙල්ලම් බඩු අස් කිරීමට ඔබේ දරුවාට පවසන්න.

ඔහුට මතක ඇති මිනිසුන් හෝ සිදුවීම් ගැන කතා කරන්න.

ඔබ ඔහුට කියවන සෑම අවස්ථාවකම විවිධ දේ පෙන්වා දෙන්න.

ඔහුගේ වර්ණවත් බ්ලොක්ස් සහ හැඩතල අතුරා ඒවා ඔහුට මතකදැයි බලන්න.

හැඩය සහ වර්ණ අනුව ඒවා කාණ්ඩ කරන්නේ කෙසේදැයි ඔහුට පෙන්වන්න. 

ඔබේ දරුවා බොහෝ විට එදිනෙදා අවශ්‍ය වන දේවල් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා.

එබැවින් මිල අධික සෙල්ලම් බඩු අවශ්‍ය නැහැ. සමහර විට, හිස් සීරියල් පෙට්ටියක් පවා ඔහුව ක්‍රියාවේ යොදවන්න පුළුවන්. 

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවාට අවම වශයෙන් බ්ලොක්ස් තුනකින් යුත් කුළුණක් තැනීමට නොහැකි නම්
  • ඔබේ දරුවාට සරල උපදෙස් පිළිපැදිය නොහැකි නම්
දරුවන්ගේ වර්ධනය මාස 17 – සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවාගේ ග්‍රහණය ශාරිරිකව මෙන්ම මානසිකවත් වර්ධනය වෙනවා. ඔහු සතුටේ සිට දුක, කෝපය හා කලකිරීම වැනි පුළුල් හැඟීම් පරාසයක් අත්විඳිමින් සිටිනවා.

ඔහුගේ හැඟීම් නම් කරන්න ඔබට ඔහුට උදව් කරන්න පුළුවන්. එවිට ඔහුට දැනෙන දේ ඔහු දන්නවා. “මට පේන විදියට ඔබට දුක හිතිලා” හෝ “මට පේන විදියට ඔබට තරහා ගිහිල්ලා.” එය සරලව කියන්න.

ඔහුගේ හැඟීම් නම් කිරීමෙන්,ඔබේ සැලකිලිමත් බව හා තේරුම් ගැනීම ඔබේ කුඩා දරුවාට දැනෙනවා.

ඔහුගේම හැඟීම් ගැන ඉගෙන ගැනීමෙන්, ඔබේ පුංචි පැටියා අනෙක් අයටද හැගීම් දැනෙන බව තේරුම් ගන්න පටන් ගන්නවා. හැගීම් බෙදාහදා ගැනීම සඳහා මෙය පදනම් වෙනවා.

ඔබේ දරුවාගේ මාස 17 ක් වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහු තවමත් විශාල හැඟීම් හසුරුවන්න දන්නේ නැහැ. ඒවායින් පහසුවෙන් පීඩනයට පත්වෙන බවක් දැනෙන්න පුළුවන්.

වෙනත් දරුවන්ට කැමති සෙල්ලම් බඩුවක්, සුප්පුවක් හෝ ස්වයං සැනසීමේ ක්‍රමයක් තිබිය හැකිය. ඔබේ දරුවා වයසින් වැඩෙත්ම, ඔහු තම හැඟීම් සමඟ කටයුතු කිරීමේ නව ක්‍රම ඉගෙන ගනු ලබනවා. ඔහුට මෙම පුරුදු ඉදිරියට ගෙන යන්න ඉඩ දෙන්න.

සීමා මායිම්, චර්යාවන් සහ අනුකූලතාව ඔහුට ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලබා දෙනවා. එසේම නොකළ යුතු දේ

වෙනුවට කළ යුතු දේ පැවසීමෙන් වඩා හොඳ ප්‍රතිචාරයක් ඔහු දක්වනු දක්වනවා.

කෙසේ වෙතත් ඔබේ අපේක්ෂාවන් යථාර්ථවාදී කරගන්න. ඔහුගේ මොළය වැඩ කිරීමට දුෂ්කරයි.  සියලු නීති මතක තබා ගැනීම ඔහුට තවමත් ඉතා දුෂ්කරයි

ඔබ තවමත් ඔහුගේ විශ්වයේ වැදගත්ම පුද්ගලයා වෙනවා .ඔබේ අවධානය සහ අනුමැතිය ලබා ගැනීම සඳහා ඔබේ දරුවා බොහෝ දේ කරාවි. එබැවින් ඔබෙන් ලැබෙන ඕනෑම ප්‍රශංසාවක් ඔහුගේ හදවත පිනවනු ලබනවා.

ඔහු නිවැරදි දෙයක් කරන සෑම විටම ඔහුව අගය කරන්න. ඔහුව සිපගන්න. හුරතල් කරන්න.

සමාජීය හා හැගීම ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ දරුවා සමඟ සෙල්ලම් කරන්න. ඔහුට බෙදාගැනීම උගන්වන්න. සීමාවන් සහ සීමාවන් සැකසීමේදී, “ඔව්” සහ “එපා” වැනි උපදෙස් පැහැදිලිව භාවිතා කරන්න.

ස්ථාවර වීම සහ ඔබේ පැහැදිලි කිරීම් කෙටියෙන් තබා ගැනීම වැදගත් වෙනවා.

ඔහුට කියවන විට හැඟීම් කෙරෙහි අවධානය යොමු කරන පින්තූර පෙන්වා ඒවා ගැන කෙටියෙන් හැදින්වීමක් කරන්න.
සියලුම දරුවන් තමන්ට ආවේණික වු වේගයකින් වර්ධනය වේ.

සමහරු නිහඩව මුල්ලකට වී ඔවුන්ගේ හැගීම් ක්‍රියා කරවන අතර සමහරුන්ට හයියෙන් කෑගහන්න අවශ්‍ය වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවාගේ හැඟීම් එක් ක්‍රියාකාරකමක සිට තවත් ක්‍රියාකාරකමක් දක්වා ඕනෑවට වඩා අස්ථිර නම්
  • ඔබේ දරුවා ඔහු සමඟ සමීප පුද්ගලයන් කෙරෙහි කිසිදු හැඟීමක් නොපෙන්වයි නම්
දරුවන්ගේ වර්ධනය මාස 17  – කථනය හා භාෂාව සංවර්ධනය

කථනය යනු ශබ්දයයි. ඔබේ පුංචි දරුවා ශබ්දය ඇති කිරිමේ සියලු ක්‍රම අත්හදා බලනවා. ඔහු එක් මොහොතක කොදුරමින්ද.  ඊළඟ මොහොතේ කෑගසමින්, උදේ පාන්දරම නොතේරෙන භාෂාවකින් කතා කරමින්ද සවස ගොරවමින්ද සිටින්න පුළුවන්.

කුඩා ළමුන්ගේ කථන වර්ධනයේ මෙම අවදියේදී නිශ්චිත ශබ්ද සහ වචන සැකසීම සඳහා මුඛය, දිව සහ ස්වර තන්ත්‍ර විවිධ ආකාරවලින් චලනය කිරීම පුහුණු කරනවා.

ඔහුගේ මාස 17 ක් වු සංවර්ධනය තුල ඔබට විස්තරාත්මක වචන හඳුන්වාදීම ආරම්භ කළ පුළුවන්. ඒ ඔහුට දැන් වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් නිසයි. පෙරදී නාම පද සහ ක්‍රියා පද විතරක් වු නිසා අදහස් හුවමාරු කිරිම සරලයි.

“අර බලන්න, සුදු මලක් ” සහ “ඔබට අර ලොකු බල්ලා පේනවාද?” වගේ නාම විශේෂණ ඔබට දැන් එකතු කරන්න පුළුවන්. ඉතා ඉක්මනින් ඔහු නැවත ඒ දේවල් ඔබට විස්තර කරාවි.

උපදෙස් මගින් දේවල් පරිස්සමෙන්, සෙමින් කරගන්න පුළුවන් වුනත් එය තරමක් සංකීර්ණ වෙන්නත් පුළුවන්.

ඔහුට වචන හතක් පැහැදිලිව කතා කරන්න පුළුවන්. නමුත් ඔහු දියුණු කිරීම සඳහා, කතා කරන විට වචන පැහැදිලිව විස්තර කරන්න.

එවිට ඔහු ඔබව අනුගමනය කරාවි. ඔබ ඔහුගේ වැදගත්ම ආදර්ශය වෙනවා.

කියවීම බොහෝ සෙයින් උපකාරී වෙනවා වගේම එදිනෙදා ඔබ දෙදෙනා සාකච්ඡා කරන්න.

දරුවන්ගේ වර්ධනය මාස 17  -කථනය හා භාෂාව සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

රහස් මිමිණීම වැනි සෙල්ලම් කිරීමෙන් ඔබට ඔහුව ධෛර්යමත් කරන්න පුළුවන්.

ඔබට ගෝනි බිල්ලන් ලෙස පෙනී සිටිමින් එකිනෙකාට ගොරවන්න පුළුවන්.

නැතහොත් හයියෙන් ගායනා කරන්නේ කවුද කියා බැලීමට ගායන තරඟයක නිරත වෙන්න පුළුවන්.

ඔහු ඔබ සමඟ සියළුම හඩ ව්‍යායාම ලබා ගත් පසු, ඔහු නිවසේ කෑගැසීමට ඇති ඉඩකඩ අඩු වෙනවා.

ඔබේ දරුවා සමඟ කතා කරන විට, වචන සහ ක්‍රියාවන්ගේ එකතුවක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

ඔබ ඔහුට උදව් කරන්න හදන අයුරු දැකීමෙන් කරන්න අවැසි දේ කුමක්ද කියා ඔහු තේරුම් ගන්න ඉඩ තියෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවා කිසිවක් නොකියන්නේ නම් හෝ කිසියම් ආකාරයකින් සන්නිවේදනය කිරීමට උත්සාහ කරන්නේ නම්,
  • ඔබේ දරුවාගේ නම අමතන විට ඔහු දිගටම ප්‍රතිචාර නොදක්වයි නම්
දරුවන්ගේ වර්ධනය මාස 17  – සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වයසේදී ආහාර ගැනීමේ පුරුදු අක්‍රමවත් වෙන්න පුළුවන්. විශේෂයෙන් දැන් ඔහුට යම් ආහාර සම්බන්ධයෙන් ඔහුගේ රුචි අරුචිකම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔහු අද වැඩි ප්‍රමාණයක් අනුභව කරන්නත් ඊළඟ දවසේ හැන්දක් පමණ ආහාර ගන්නත් පුළුවන්.

මේ වන විට ඔහු බර කිලෝග්‍රෑම් 12 – 15.2 ක් පමණ විය යුතු අතර උස සෙන්ටිමීටර් 82 – 86 ක් විය යුතුය.

ඕනෑවට වඩා කණගාටු වෙන්න එපා. ඔහුට සුවපහසු, සංසුන් වාතාවරණයක් තුළ විවිධාකාර සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී ආහාර වේල් සහ සුලු ආහාර ලබා දීම අප සතු කාර්යය වෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 17

අවංකවම එය ආහාරයට ගන්නවාද නැද්ද යන තීරණය දරුවා මත රදා පවතියි.

ඔහුගේ කුසගින්න පිළිබඳ අභ්‍යන්තර ඉගි වලට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දීමෙන් ඔහුට ආහාර සහ ආහාර ගැනීම පිළිබඳ සෞඛ්‍ය සම්පන්න ආකල්පයක් වර්ධනය කර ගන්න උපකාරී වෙනවා.

කුඩා දරුවෙකුට දිනකට කැලරි 1,000-1,400 ක් පමණ අවශ්‍ය වේ. මෙය සපුරාලීම සඳහා ඔහුට පිසූ පැස්ටා කෝප්ප භාගයක්, කැට කපා ගත් පළතුරු කෝප්ප 1 ක්. 

පිස පොඩි කරන ලද හෝ සිහින් ව කැපු එළවළු කෝප්පයක් සහ ඔබේ අත්ලෙන් 1/3 ප්‍රමාණයක් වු මාළු හෝ මස් වේල් 2 ක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ඔහුට යෝගට් හෝ කිරි ස්වරූපයෙන් කිරි ආහාර කෝප්ප 2 ක් අවශ්‍ය වෙනවා.

මෙම මාසය තුළ ලබා දිය යුතු ප්‍රතිශක්තිකරණවලට DTaP සහ මාස 12 ක් වන විටත් ඔහු විසින් ගෙන නොමැති වෙනත් එන්නත් ඇතුළත් වෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව සහ කණ ආසාදන වීම සදහා කල යුතු දේවල් දැනුවත් වෙන්න. මේවා කුඩා දරුවන් තුළ බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලු දෙකක් වෙනවා. 

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවා සමබර ආහාර වේලක් අනුභව නොකරන බව ඔබ හිතනවා නම් 
  • ඔබේ දරුවා ක්‍රියාශීලී නොවන අතර සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා නොගනී නම්

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. ඔබේ කුඩා දරුවාගේ වර්ධනය
පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 18 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera