දරුවාගේ වයස මාස දහඅට: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවාගේ වයස මාස දහඅට: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔහු අම්මාගේ ආදරණීය සහායකයෙක් නේද? කුඩා දරුවන්ගේ වර්ධනයේ මේ අවධියේදී වැළඳගැනීම් හා සිපගැනීම් හා විශාල සිනහවන් පිරිලා ඉතිරිලා යනවා. සතුට විදින්න. "උද්වේගකාරී හැසිරීම හා එපා" යන්න ලගදීම බලාපොරොත්තු වන්න.

දරුවන්ගේ වර්ධනය මාස 18:  නිවසේ ඔබ පසුපස එන ලොකු කොල්ලා දෙස බලන්න. ඔහු ඔබේම කුඩා සෙවනැල්ල වගේ නේද? ඔබ කරන ඕනෑම දෙයකට ඔබ හා එකතු වෙන්න ඔහු කැමතියි.

එහෙත් ඉවසීම යනු ඔබේ කුඩා දරුවා තවමත් ප්‍රගුණ නොකල ගුණාංගයක් බව දැනුවත්ව වන්න.

ඔහු ස්ථිරව ජීවත් වන්නේ වර්තමානයේ හෝ මේ මොහොතේයි. මාස 18 දී කුඩා දරුවන්ගේ සංවර්ධනය සම්බන්ධයෙන් ඔබට මොනවාද දැන්ගන්න අවශ්‍ය?

දරුවන්ගේ වර්ධනය මාස 18 - ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
දරුවන්ගේ වර්ධනය මාස 18 - ශාරීරික සංවර්ධනය

මේ වන විට ඔබේ කුඩා දරුවා ඇවිදිමින් සමහර විට දුවමින් සිටිනවා. ඔහු දැන් ඔහුගේ දෙපා මත ස්ථිරව ඉන්න බව ඔබට දකින්න පුළුවන්. ඔබේ අත අල්ලාගෙන ඔහු උඩුමහලට යන්න පුළුවන්.

ඒ වගේම ඔහුට පසුපසට දණගාන්න පුළුවන්. ඔහු උඩ පනින්න පටන් ගන්න ඉඩ තියෙනවා.

බොහෝ විට ඔහුගේ හුරු අත වර්ධනය වී තියෙනවා. ඒ නිසා ඔහු දකුණත්ද වමත් දැයි ඔබ දැන් දන්නවා. ඔහු කුමන අත භාවිතා කලත් කමක් නැහැ. නමුත් එය තවම පැහැදිලි නැතිනම් කණගාටු වෙන්න එපා.

ඔබේ දරුවාගේ මාස 18 ක් වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහු පෙනෙන සෑම දෙයක්ම උදුරා ගන්නවා. ඒ නිසා ඔහුට හුරු කුමන අත දැයි ඉක්මනින් හෝ පසුව ඔබට දැනගන්න පුළුවන්.

බ්ලොක්ස් ගොඩගසන ආකාරය ඔහු සොයාගෙන තියෙනවා. එම බ්ලොක්ස් දෙකක් හෝ හතරක් තබා උස කුළුණක් හදන්න ඔහුට දැන් පුළුවන්. එය කඩා නැවත ගොඩනගමින් ඔහු විනෝද වෙනවා.

වෙනත් කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා ද ඔහු පෙන්වනවා. ඔබේ පුංචි දරුවා කඩදාසි මත කුරුටු ගාන්න කැමතියි. විශේෂයෙන් ඔබ සටහන් හෝ ලැයිස්තු ලිවීම දුටුවහොත් ඔහුට එය කිරීමට අවශ්‍ය වෙනවා.

ඔහුගේ ලිවීම බොහෝ දුරට ලකුණු හා රටා වෙනවා. ඔහු කිසිම ආකාරයක චිත්‍රයක් අදිනු ඇතැයි බලාපොරොත්තු වෙන්න එපා.

මේ සියලු ක්‍රියාකාරකම් වලින් අදහස් වන්නේ ඔබේ කුඩා දරුවා අසීරු සමයක් ගෙවන බවයි. කෙටි නින්දක් ලබන වේලාවන් වල අරගලයක් ඇතිකරන්න පුළුවන්.

බොහෝ ළමයින් මේ කාලය තුළ එක් වරක් නින්ද ලැබීමට යොමුවෙන අතර වෙනදාට වඩා ටිකක් කලින් වුවද සමහරු අවදිවෙනවා.

නින්දට බාධා කිරීම සහ නිදාගැනීමේ රටාවන් වෙනස් කිරීම වේලාසන අවදි වෙන්න හේතු වෙනවා. ඔබේ කුඩා දරුවාගේ නිදාගැනීමේ පුරුදු ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න. ඔබට අවශ්‍ය නම් කාලසටහනක් සකස් කරන්න. ඔහු දැන් ලබාගන්නා කාලසටහන ඔහුගේ ළමා කාලය පුරාම පවතිනවා.

දරුවන්ගේ වර්ධනය මාස 18 - ශාරීරික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔහුගේ ඇඟිලිවල කඩිසර බව වර්ධනය කිරීමට ඔහුට උදව් කරන්න. ඒ සදහා විශාල ලී පබළු එකට මාලයක් සේ අමුණන්න දෙන්න.

ඔහුට ඔබෙන් සුළු උදව්වක් අවශ්‍ය නමුත් සාදන මාලය පළදින්න ඔහු කැමති වේවි. ඔහුට විවිධ හැඩයන් සහ වර්ණ යලි පෙන්වීමට මෙය හොඳ ක්‍රමයක් වේ.

ඔහු නාන කාමරයට යාමට උනන්දුවක් දක්වන්නේ නම්, ඔබ දරුවාට පොටිය පුරුදු කිරීම ගැන සලකා බලන්න.

හදිස්සියක් නැහැ. බොහෝ දරුවන්ට ඔවුන්ගේ දෙවන උපන්දිනය අවසන් වන තුරු මුත්‍රාශයේ සම්පූර්ණ පාලනය ලැබෙන්නේ නැහැ.

කාලගුණය හොද නම් ඔහුව එළිමහනට ගෙන යන්න. මෙය අමතර ශක්තිය වැය කිරීමට උපකාරී වනවා පමණක් නොව, ශාරිරික චලනයන් පුහුණු වීමට ඔහුට වැඩි ඉඩක් ලබා දෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ දරුවා දුර්වල ලෙස සම්බන්ධීකරණය කරන්නේ නම් හෝ අවුල්සහගත නම්
  • ඔබේ දරුවා එක් ක්‍රියාකාරකමකින් තවත් ක්‍රියාකාරකමකට ඉක්මනින් මාරු වෙනවා නම්
දරුවන්ගේ වර්ධනය මාස 18 - මානසික සංවර්ධනය

මාස 18 දී ඔබේ කුඩා දරුවා සමඟ විනෝද වීමට බොහෝ දේවල් ඔබට තියෙනවා.

ඔබේ පුංචි පැටියා ගායනා කිරීමට ප්‍රිය කරනවා. ඔබ ඔහු වෙනුවෙන් ගායනා කරනවා නම් ඔහු එයට ගොඩාක් කැමතියි.

ඔහු අත්පුඩි ගසමින් චලනයන් සිදු කරමින් ආදරය පෙන්වනවා. රිද්ම පිළිබඳ හැඟීමක් තවමත් නොමැති වුවද රිදම් කූරු හෝ කුඩා බෙර මේ වයසේදී ඔහු ප්‍රිය කරනවා.

කතන්දර වලට ඇහුම්කන් දීම සහ පින්තූර වෙත ඇගිල්ල දිගු කර පෙන්වීම තවත් සුන්දර අධ්‍යාපන කටයුත්තක් වෙනවා.

ඔබ දෙදෙනා කිහිප විටක් ප්‍රගුණ කර ඇත්නම් ඔබේ පුංචි පැටියාට විශාල ප්‍රහේලිකා කැබලි නිවැරදි ස්ථානවල තබන්න පුළුවන්.

සෙල්ලම් කිරීමේදී ඇමතුමක් ලබා ගැනීම, පරිගණකයක වැඩ කිරීම, පොතක් කියවීම හෝ ගෙදර දොරේ වැඩ කිරීම වැනි මවාපෑම් කරමින් ඔබගේ ක්‍රියාවන් ඔහු අනුකරණය කරන අයුරු බලා සිටින්න.

ඔහු තම හුරුබුහුටි සෙල්ලම් බඩු වලට සත්ව ශබ්ද කිරීමට ප්‍රිය කරන අතර සාමාන්‍යයෙන් ශබ්දය සත්වයාට ගලපන්න ඔහුට පුළුවන්.

ඔබේ දරුවා තම ඇඳුම් ගලවන අයුරු ඉගෙන ගන්නවා. එබැවින් සියල්ල නිහඩ වූ විට ඔහු ගැන පරීක්ෂා කරන්න. 

දරුවන්ගේ වර්ධනය මාස 18 - මානසික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔහු සමඟ සරල ප්‍රහේලිකා දිගටම කරගෙන යන්න. මුලදී ඔහුට ඔබගේ උදව් අවශ්‍ය විය හැකිය. නමුත් ඔහුට එය තනිවම හදුනා ගන්නත් ඉඩ දෙන්න.

ප්‍රියතම වාදනයක් එක්ක නටන්න. එය විනෝදජනක වන අතර රිද්මය සහ සම්බන්ධීකරණය සඳහා සුදුසු වෙනවා.

ඔහු වෙනුවෙන් කඩදාසි තොප්පියක් සාදන්න. එය ඔහුගේ හිස මත පළදින්න ඔහුට කියාදෙන්න.

ඒ තරම් පුංචි,සරල දෙයකින් පවා ඔහු පැය ගණනක් විනෝද වෙන හැටි දැක්කාම ඔබට පුදුම හිතේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ දරුවාට යම් කාල පරිච්ඡේදයක් අවධානය යොමු කිරීමට හෝ අවධානය යොමු කිරීමට නොහැකි නම්,
  • ඔබේ දරුවාට චර්යාවන් හා කාලසටහන් අනුගමනය කිරිමේදී ගැටළු ඇති වූ විට
දරුවන්ගේ වර්ධනය මාස 18 - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔවුන් කිසිම විටෙක මම අම්මාගේ පුංචි සහායකයා කියා කියන්නේ නැහැ. මාස 18 ක් වයසැති ඔහුගේ සංවර්ධනය තුළ ඔබේ කුඩා දරුවා ඔබට පිළිවෙලට තියන්න හෝ වෙනත් වැඩ කටයුතු සඳහා උදව් කිරීමට කැමතියි.

ඔහුගේ උත්සාහය ගැන ඔබ ඔහුට ප්‍රශංසා කරන විට එය ඔහුට ආඩම්බරයක් හා ජයග්‍රහණයක් ලෙස දැනේවි.

දරුවාගේ අවධානය තවමත් කෙටිබව මතක තබා ගන්න. ඒනිසා ඔහුට එක කාර්‍යය ප්‍රමාණවත් බව දැනේ නම් එයින් ඉවත් වී වෙනත් සෙල්ලමකට යන්න ඉඩ දෙන්න.

ඔහුගේ උත්සාහය ගැන ඔහුට ප්‍රශංසා කරන්න. ඔහුට වැරදෙන විට තරහා නොගෙන නිවැරදි කරන්න.

ඔබේ පුංචි පැටියාට පෙන්වීමට අවශ්‍ය හැසිරීම ආදර්ශනය කරන්න. ඔහු ආදර්ශයෙන් ඉගෙන ගන්නවා.

මෙසේ ගෙදර දොරේ වැඩ කිරීමේ සිට බෙදාගැනීම වැනි සමාජ සම්මතයන් දක්වා ඕනෑම දෙයක් ආදර්ශනය කරන්න පුළුවන්.

ඔබේ කුඩා දරුවාට මේ වන විට වචන දහයක් පැවසිය හැකි අතර, ඉන් එකක් අනිවාර්යයෙන්ම “මගේ”යන්න වෙනවා.

ඒ මගින් කුඩා දරුවන්ගේ සංවර්ධනයේ කොටසක් වන තම භූමිය සලකුණු කරනවා.

එලෙසම, ඔබ ඔහු වෙනුවෙන් සීමාවන් නියම කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙනවා.

උද්වේගකාරී හැසිරීම සමඟ කටයුතු කිරීමට සූදානම් වන්න. ඔහු ඇවිදින්නට යාම ප්‍රතික්ෂේප කරනවා, ආහාර තෝරාගැනීම කරනවා.

නැතහොත් ඔබ මිතුරන් සමඟ සිටින විට හෝ කටයුත්තක යෙදී සිටින විට ඔබට නිමක් නැතිව බාධා කරනවා.

තවමත් ඒ සියල්ල බොහෝ දුරට ඔහු ගැනයි.

ඔහු සමඟ ස්ථිරව සිටීමට උත්සාහ කරන්න. පැහැදිලි නීති මඟින් බලාපොරොත්තු විය හැකි පරිසරයක් ඇති කරන අතර එය ඔහුට ආරක්ෂිත බවක් ඇති කරනවා.

ඔබ ඔහුට ආදරය කරන බව ඔහු ඉබේ දැන ගන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ඔහුට පවසන්න.

ඔබේ හුරතල් කිරීම් හා සිපගැනීම් ඔහුව ප්‍රිතීමත් කරාවි.

දරුවන්ගේ වර්ධනය මාස 18 - සමාජීය හා හැගීම් සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

මාස 18 ක් වයසැති දරුවා දෛනික වැඩකටයුතුවලට සම්බන්ධ වෙන බොහෝ ක්‍රම තියෙනවා. බෝංචි කඩන්න හෝ ඔබ කපන ලද කැරට් බඳුනකට දමන්න ඔහුට උදව් කරන්න පුළුවන්. ඔහුට රෙදි සෝදන යන්ත්‍රය තුළට රෙදි දාන්න පුළුවන්.

නැතහොත් ආහාර ගැනීමෙන් පසු ඉතිරි වු කෑල්ලක් අතුගා දැමීමට ඔබට උදව් කරන්න පුළුවන්.

ඔහු ඔබ දෙස බලාගෙන ඉන්න කැමතියි. ඒ නිසා ඔබ කරන දෙය ඔහුට පෙන්වීමට කාලය යොදවන්න.

සෙල්ලම් දින වලදී බෙදා හදා ගන්නා අයුරු ඔහුට කියාදෙන්න. සෙල්ලම් බඩුවකින් අනෙක් අය සමඟ හවුලේ සෙල්ලම් කරන ආකාරය ඔහුට පෙන්වා දෙන්න.

ඔහු දිගින් දිගටම ආත්මාර්ථකාමී වෙනවා නම් අධෛර්යමත් වෙන්න එපා. ස්ථාවර වන්න. එවිට ඔහු එය ඉක්මනින් ඉගෙන ගනිවි.

ඔහු වඩාත් ස්වාධීනව සෙල්ලම් කිරීමට පටන් ගන්නේ නම් ඔහුට එසේ කිරීමට ඉඩ දෙන්න. ඔහු තනිවම ක්‍රීඩා කරන එක ගැන කලබල හෝ බය වෙන්න එපා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ දරුවා ක්‍රිඩාවේදී අන් අය සමග සම්බන්ධතා පැවැත්වීම දුර්වල නම්,
  • ඔබේ දරුවා චර්‍යාවන්ට බාධා කිරීම, පුනරාවර්තී හැසිරීම් වලට බාධා කිරීම හෝ නොදන්නා හේතුන් නිසා දැඩි උද්වේගකාරී හැසිරීමක් පෙන්වයි නම්
දරුවන්ගේ වර්ධනය මාස 18 - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවාගේ මාස 18 වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහුට වචන 10 ක් පමණ කථා කරන්න පුළුවන්.

ඔහුට කිව හැකි වචන ප්‍රමාණයට වඩා වැඩි වචන ප්‍රමාණයක් ඔහුට තේරුම් ගන්නත් පුළුවන්.

අම්මා, තාත්තා සහ වෙනත් රැකබලා ගන්නන්ගේ නම් ඔහුට කියන්න පුළුවන් වචන අතර වෙනවා.

වෙනත් වචන මුලික වචන ලෙස “එපා”, “මගේ”, “අවශ්‍ය නැහැ” යන්න සහ ප්‍රියතම දේවල් හෝ වස්තු ලෙස “කිරි”, “බෝලය” හෝ “බළලා” ඔහු කියන්න පුළුවන්.

ඔබ පෙන්නන විට පොදු දේවල් නම් කරන්නත් ශරීර කොටස් හඳුනා ගන්නත් ඔහුට පුළුවන්. ඔහුට තිරයේ (ස්ක්‍රීන්) හා පිංතුර වල සිටින පුද්ගලයින් හඳුනා ගන්න පුළුවන්.

සමහර කුඩා දරුවන් වචන දෙකක වාක්‍ය සකස් කිරීමට පටන් ගන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා තවම සාවධානව සවන් දෙමින් වචන මාලාව තර කර ගනිමින් සිටිනවා.

දරුවන්ගේ වර්ධනය මාස 18 - කථනය හා භාෂාව සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

මේ මොහොතේ ඔබ කරමින් සිටින දේවල් පිළිබඳ පැහැදිලි කිරීමෙන් ඔහුට නව වචන සහ ඒවායේ භාවිතය ඉගෙන ගැනීමට පුළුවන් වෙනවා.

පෙර පාසැල් ගීත කියවන්න. ගායනා කරන්න. රංගනය සහිත ගීත හෝ ඔහුගේ ශරීරයේ කොටස් පෙන්වා දෙන ගීත මේ සදහා සුදුසු වෙනවා.

ඔබ ඔහු හා එක්ව ඇවිදින විට දකින දේ විස්තර කිරීම හෝ ඔහුට කියවීම ඔහුගේ වචන මාලාව වැඩි කිරීමට හොඳ ක්‍රමයකි.

කියවන විට පිටු මඟ හැරුනහොත් ඔහු විරෝධය දැක්වීමට පටන් ගන්නවා. ඒ මගින් ඔහුගේ වර්ධනය වන මතකය ඔබට පෙනේවි.

ඔහුට කතාව මතකයි .ඒ නිසා ඔබට නිවැරදිව කථාව කියන්න වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ දරුවාට වචන කිහිපයක් පැවසීමට නොහැකි නම්
  • ඔබේ දරුවා ඔහුගේ නමට හෝ උපදෙස් වලට නිතර ප්‍රතිචාර නොදක්වයි නම්
දරුවන්ගේ වර්ධනය මාස 18 - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මාස 18 ක් වු කුඩා දරුවන් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 9 ත් 12 ත් අතර බරකින් යුක්ත වන අතර උස සෙන්ටිමීටර 76 ත් 84 ත් අතර වෙනවා. 

සියලුම කුඩා දරුවන් ඔවුන්ගේම වේගයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා ඔබේ පුංචි පැටියා මේ උස බර පරාසය තුළ නොසිටින්න පුළුවන්. ඒක ගැටලුවක් නොවෙයි.

ඔබේ දරුවා ඔහුගේ සීමාවන් ගවේෂණය කරන නිසා ඔබට ආහාර ලබා දීම සහ රාත්‍රී ආහාර වේල යුද්ධයක් වේවී.

ලබා දෙන ආහාර සහ වේලාවන් ඔබ තීරණය කරන්න. නමුත් ගන්නා ආහාර ප්‍රමාණය දරුවාට තීරණය කරන්න ඉඩ දෙන්න.

ඔබ ඔහුට විවිධාකාර සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී ආහාර සහ කෙටි ආහාර ලබා දෙන තාක් කල් ඔහු සුවෙන් සිටිනවා.

ඔහු එක් දවසක ආහාර ටිකක් ගත්තොත් සාමාන්‍යයෙන් ඊළඟ දවසේ ඔහු නිවැරදි ප්‍රමාණය ගනිවි. 

ඔහුගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා පිසූ බත් හෝ සීරියල් කෝප්ප භාගය බැගින් වේල් තුනක්, කුඩා කැබලිවලට කැපු කුඩා ඇපල් ගෙඩියක් දෙන්න.

තවද පිස පොඩි කරන ලද හෝ සිහින් ව කැපු එළවළු කෝප්පයක් සහ ඔබේ අල්ලෙන් 1/3 ප්‍රමාණයේ මාළු හෝ මස් වේල් දෙකක් ඔහුට දෙන්න.

ඔහුට කිරි ආහාර කෝප්ප කිහිපයක් ද අවශ්‍ය වෙනවා. කිරි, චීස් හෝ යෝගට් ලෙස එය මාරු කර තෝරා ලබාදෙන්න.

තවත් ප්‍රතිශක්තිකරණ එන්නත් කිහිපයක් ලබාදීම සඳහා මේ කාලයයි. DTaP (ඩිප්තිරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස), පෝලියෝ මෙලිටස් සහ හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා බී වර්ගය ඇතුලු පහම ඇති එන්නත ලබාදෙන්න.

අත්, පා සහ මුඛ රෝග ගැන දැනුවත් වෙන්න. එය කුමක්ද සහ ඔබේ දරුවාට එය වැළදුනහොත් ඔබ කළ යුත්තේ කුමක්දැයි සොයා බලන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ආහාර ලබාගන්නා විට ඔබේ දරුවාට තවමත් කෑම හිරවෙනවා හෝ කැස්සෙන් ඇතිවෙනවා නම්
  • ඔබේ දරුවාට ඔහුගේ වයසට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ නොලැබේ යැයි ඔබ සිතනවා නම්

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 19 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera