අවුරුදු 1 මාස 11 ළමා වර්ධනය (23 වන මාසය) ළමා සංවර්ධනය

lead image

 වෙන්වීමේ කනස්සල්ල, අනුකරණය කිරීම සහ උපදෙස් පිළිපැදීමට හැකිවීම මෙම වයසේදී ඔබේ දරුවා තුළ ඔබට දකින්න පුළුවන්.

දරුවන්ගේ වර්ධනය මාස 23: වේගයෙන් සංවර්ධනය වන මාස 23 ක් වයසැති ඔබේ දරුවා ගැන දැන ගනිමු නේද?

ඔබේ කුඩා දරුවා ත්‍රාසජනක දෙවැනි විය ආසන්නයේමයි. උද්වේගකාරී හෝ නොසංසුන් හැසිරීම් වලින් පිරිපුන් වූ එම අවධියකට පා තැබීමට පෙර මාස 23 වු දරුවාට තව සංවර්ධනය වෙන්න තියෙනවා.

ඔහු මෙම අවධියේදී විරෝධය දක්වනවා. නමුත් ඉගෙනීමට උනන්දුවක් දැක්වීම, අම්මා සහ තාත්තා කෙරෙහි ඇති සිතින් වු බැදීම ප්‍රකාශ කරනවා. එමෙන්ම ඔහුගේ ස්වාධීනත්වය ක්‍රියාවේ යෙදවීම වැනි අපේක්‍ෂා කළ යුතු ගුණාංගද ඔබේ දරුවා පෙන්වනවා.

පෙර මාස මෙන්ම ඔබේ දරුවාගේ 23 වන මාසයේදි ආකර්ෂණීය සහ අලුත් සංවර්ධන සන්ධිස්ථාන පසුකරනවා. 

මෙම ලිපියෙන්, ඔබේ මාස 23 ක්වු දරුවාගේ සංවර්ධනය පිලිබඳ තොරතුරු ගෙන එන්නෙමු.

නමුත් සෑම කුඩා දරුවෙකුම අද්විතීය බවත් ඔවුන් ඉගෙන ගන්නේ හා වර්ධනය වන්නේ ඔවුන්ගේම වේගයෙන් බවත් මතක තබා ගන්න.

දරුවන්ගේ වර්ධනය මාස 23: දෛනික කුසලතා

අවුරුදු දෙකකට ආසන්න දරුවන් අම්මා තාත්තා අනුකරණය කරන්න කැමතියි. වචන සහ ක්‍රියාව යන දෙකම අනුකරණය කරනවා.

ඒ නිසා ඔබ හදිසියේම ඔහු ව්‍යාපාරික ඇමතුමක සිටින බව මවා පාමින් සිටිනු හෝ ඔහු මුළුතැන්ගෙයෙහි ආහාර පිළියෙළ කරනවා සේ ක්‍රියා කරමින් සිටිනු දුටු විට පුදුම වෙන්න එපා.

ඔහු ඔබව අනුකරණය කිරීමට උත්සාහ කරනවා. නැතිනම් දේවල් තනිව කරන්න උත්සහ කරනවා. ඔහු වෙනස්වීමට අකමැති වෙන්න ඉඩ තියෙනවා.

විශේෂයෙන් ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් විරෝධය දක්වන්න පුළුවන්. ඒ නිසා ඉවසිලිවන්ත වන්න. මේ සියල්ල ඉගෙනීමේ ක්‍රියාවලියේ කොටසක් වෙනවා.

ඉඟි:

  • සෙල්ලම් බඩු නිසි තැන තැබීම, බිම අතුගා දැමීම හෝ ආහාර ගැනීමෙන් පසු මේසයක් පිස දැමීම වැනි සරල වැඩකටයුතු ඉගැන්වීමෙන් ඔබේ දරුවා ස්වාධීන වීමට දිරිගන්වන්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම සඳහා ආහාර වේලාව සුදුසුයි. බැදපු කුකුළු මස් වෙනුවට ග්‍රිල් කළ කුකුළු මස් ඔහුට ලබා දෙන්න. නැතහොත් පලතුරු හා එළවළු වලින් සපිරි ආහාර ඔහුට දෙන්න. ඔහුට සෝඩා දෙන්න එපා.
  • ඇඳුම් පැළඳුම් ඇඳීම සම්බන්ධයෙන් ගත් විට, ඇදුම් තෝරාගන්න ඔහුට ඉඩ දෙන්න. හිත සැහැල්ලු කිරීමට අවධානය වෙනතකට යොමු කරන්න. ක්‍රමයෙන් ඔහුට තනිවම ඇඳුම් ඇඳීමට ඉගැන්වීමෙන් ස්වාධීනත්වය වර්ධනය කරන්න.
  • අනුකරණය ආකර්ශනීයයි. නමුත් ඔබට ඔබේ දරුවා ගෙන් ඇසිමට අවශ්‍ය නොමැති කිසිම වචනයක් ඔහු ඉදිරියේ භාවිතා නොකිරිමට සැලකිලිමත් වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • කැක්කුම හා වේදනාව ඇති වූ විට, ඔබේ දරුවාගේ ඉඟි නිරීක්ෂණය කරන්න. නිදසුනක් වශයෙන්, ඔහුට කණක් අමාරුවක් තිබේ නම්, ඔබට දැන ගැනීමට ඔහු ඔහුගේ කන අල්ලලා පෙන්වන්න පුළුවන්.

ඔහුට තවමත් කැක්කුම් වේදනා ඇතුළු සංවේදනය නම් කර පවසන්න බැහැ.

  • ඔබේ දරුවා ඔහුගේ මාස 24 ක් වයසැති ළදරු පරීක්ෂාවට ඉක්මනින් මුහුණ දෙනවා. ඒනිසා ඔබේ දරුවාගේ වර්ධනය, සංවර්ධනය සහ හැසිරීම පිළිබඳ ඔබගේ සියලු ප්‍රශ්න සහ කාරණා ලැයිස්තුගත කරන්න.

දරුවන්ගේ වර්ධනය මාස 23 – ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

දරුවන්ගේ වර්ධනය මාස 23 – ශාරීරික සංවර්ධනය

ළමා කාලයේ ඇතිවෙන චලන කුසලතා

ඔබේ මාස 23 ක් වයසැති පුංචි පැටියා කකුලේ ඇගිලි තුඩු වලින් හිටගැනීම, පන්දු වලට පහර දීම සහ බෝල විසි කිරීම ආරම්භ කර ඇති බව ඔබට දකින්න පුළුවන්. ඔහුට තනිවම දුවන්න තරම් විශ්වාසයක් තියෙනවා.

ඔහුට ගෘහ භාණ්ඩ උඩට නගින්න බහින්න පුළුවන්. ඒ වගේම උදව් නැතුව හෝ පුංචි උදව්වක් ඇතුව පඩි නගින්න පුළුවන්. නාට්‍යමය සෙල්ලම් මෙම වයසේදී ශාරීරික හා මානසික වර්ධනය සදහා උපකාරී වෙනවා.

ඉඟි:

  • ඔබේ පුංචි උඩ නගින්නාව ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඔබේ නිවසේ ළමා ආරක්ෂාව තර කරන්න. විශේෂයෙන් ඔබ උස් ගොඩනැඟිල්ලක ජීවත් වන්නේ නම් ජනේල අසල ගෘහභාණ්ඩ තබන්න එපා. ලාච්චු, රැක් ඇණ යොදා සවිකරන්න.
  • බෝලයක් ගෙන ඔහු සමඟ ඉදිරියට හා පසුපසට පයින් ගසන්න.

මෙය ඔහුගේ චලන කුසලතාවන් දියුණු කරනවා පමණක් නොව, ඔබේ ක්‍රියාකාරී පැංචා සමඟ බැඳීමටද මෙය හොඳ අවස්ථාවක් ලබා දෙනවා.

  • ඔහුට ගවේෂණය කිරීමට, ග්‍රහණය කර ගැනීමට සහ නැගීමට හැකි වන පරිදි ඔහුව උද්‍යානයට හෝ ක්‍රීඩා පිටියට ඇවිදීන්න රැගෙන යන්න. ඔහු හැමතැනම දුවන නිසා ඔහු ගැන විමසිල්ලෙන් ඉන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවාට බෝල් වලට පා පහර ගැසීම හෝ ඇගිලි තුඩු වලි නැගීට සිටීම ගැටළු සහගත නම්, ඔහු නිසි අනුපාතයකින් වර්ධනය වනවාද යන්න ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

දරුවන්ගේ වර්ධනය මාස 23: කුඩා මස්පිඩු සම්බන්ධිකරණ චලන කුසලතා( Fine motor skills)

මාස 23 ක් වු දරුවන්ට කැට වලින් කුළුණු සාදන්න පුළුවන් අතර එම කැට වලින්ම දුම්රියක් සාදන්න පුළුවන්.

තිරස් අතට අඳින ලද රේඛා පිටපත් කිරීමටත්, රවුම් ඇඳිමටත්, හැන්දකින් වැඩිපුර කෑම විසුරවන්නේ නැතුව කන්නත් ඔහුට දැන් පුළුවන්.

ඉඟි:

  • ඔබේ පුංචි දරුවා සමඟ වාඩි වී කලා කටයුතු වල නිරත වන්න.
  • පොත් කියවන විට, පිටුව හැරවීමට ඔබට උදව් කරන්නැයි ඔහු ගෙන් ඉල්ලා සිටින්න.
  • ඔහුට ප්‍රහේලිකා ලබා දීම ආරම්භ කරන්න ඔබට පුළුවන්. එය කුඩා මස්පිඩු සම්බන්ධිකරණ චලන කුසලතා(Fine motor skills) වැඩි දියුණු කරනවා පමණක් නොව, රටා දෘශ්‍යමාන කිරීමටත් සහ රූප අනුකරණය කිරීමටත් ඔහුට හැකියාව ලබාදෙනවා.
  • ඔබ වෙනුවෙන් දේවල් රැගෙන යන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්න. ඒ මගින් ඔහුගේ උදව් කිරීමේ හැකියාව මෙන්ම ග්‍රහණය කර ගැනීම සහ අල්ලා ගැනීම වැනි කුඩා මස්පිඩු සම්බන්ධිකරණ චලන කුසලතාද(Fine motor skills)වර්ධනය වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවාට බෝල, පාට කූරු සහ පැන්සල් වැනි වස්තූන් ග්‍රහණය කරගත නොහැකි නම්, ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 23 – මානසික සංවර්ධනය

මෙම අවස්ථාවෙහිදී වැඩෙන වචන මාලාවක් පමණක් නොව ඔබේ දරුවාගේ මතකය ද සමෘධිමත් වෙනවා.

ඒ වගේම ඔබේ මාස 23 ක් වයසැති දරුවා වස්තුව වල ස්ථීරභාවය පිළිබඳ සංකල්පය තේරුම් ගැනීමේ සලකුණු පෙන්නුම් කරනවා.

තම කාමරයේ සෙල්ලම් බඩුවක් තැබුවේ නම් ඔහුට මතක තිබීම එයට උදාහරණයකි.

ඔහුට සරල ගැටළු විසඳීම, කාලය පිළිබඳ සංකල්පය ග්‍රහණය කර ගැනීම සහ ඔහුගේ මනසෙහි ඇති වස්තූන් දෘශ්‍යමාන කිරීම ද කරන්න පුළුවන්.

ඔහු ස්පොන්ජ් එකක් වගේ, ඒ නිසා හොඳ දේවල් පමණක් උරාගන්න සලස්වන්න.

ඉඟි:

  • ඔබේ දරුවා නිර්මාණශීලිත්වයට නැඹුරුවක් පෙන්නුම් කරනවා.
  • ඔහුට සෙල්ලම් කිරීමට පාටකූරු, මැටි හෝ විෂ නොවන දිය සායම් ලබා දීමෙන් මෙය ධෛර්යමත් කරන්න.
  • කාමරය තුල ඇති දේවල් සඟවා ඒවා සොයා ගන්නා ලෙස දන්වමින් වස්තු ස්ථීරභාවය පිළිබඳ සංකල්පය ඔහු තුල වැඩි දියුණු කරන්න.
  • පොත් කියවන විට, වචනවල තේරුම තවදුරටත් පැහැදිලි කරන්න. ඒවා එදිනෙදා ජීවිතය සමග සම්බන්ධ කරන්න.
  • ඔබේ දරුවාට වස්තූන් පෙන්වා ඒවා නම් කරන ඉල්ලා සිටිමින් දවස පුරාම ඔහුගෙන් ප්‍රශ්න කරන්න.
  • ඉතා ඉවසිලිවන්ත වන්න, සියල්ල මතක තබා ගැනීමට ඔවුන්ට බල කරන්න එපා. දරුවන්ව ධෛර්යමත් කල විට හා ඔවුන්ට වටිනාකමක් දුන් විට ඔවුන් හොදින් ඉගෙන ගන්නවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවාට හුරුපුරුදු වස්තූන්ගේ පෙනුම මතක තබා ගත නොහැකි නම් හෝ ඒවාට නම් කරන්න නොහැකි නම්, ඔවුන්ගේ මතකය වැඩි කිරීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රම තිබේදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

දරුවන්ගේ වර්ධනය මාස 23: සමාජ හා හැගීම් කුසලතා

සමාජ කුසලතා

මෙම අවදියේදී අම්මා සහ තාත්තා ගෙන් වෙන්වීමේ කනස්සල්ල ප්‍රබල වෙනවා.

නමුත් ඔබේ මාස 23 ක් වු දරුවාට ඔහු අවට අනෙක් දරුවන් දැකීමත් මහත් උද්යෝගයක් ඇති කරනවා. ඔහු යම්කිසි රළු හැසිරීමක් පෙන්වන්න ඉඩ තියෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 15

ඔබේ මාස 23 ක් වු දරුවාට ඔහු අවට අනෙක් දරුවන් දැකීමත් මහත් උද්යෝගයක් ඇති කරනවා.

බොහෝ විට ඔහු ඔහුගේ පෞද්ගලිකත්වය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඉගෙන ගන්නා නිසා මෙසේ සිදුවෙනවා.

ඉඟි:

  • ඔබේ දරුවා ළමයින් සමඟ නොව ඔවුන් පසෙකින් හිද සෙල්ලම් කිරීමට කැමති බව මතක තබා ගන්න. එබැවින් වෙනත් දරුවන් ඇසුරේ වුවද ඔහුට තනියම සෙල්ලම් කරන්න දෙන්න.
  • පසු පස එලවා ඇල්ලීම (අල්ලන සෙල්ලම් ) වැනි සමාජීයකරණයට අනුබල දෙන සෙල්ලම් කිරීමට ඔහුට ඉඩ දෙන්න.
  • ඔහුව ධෛර්යමත් කරවන්න. ඔහු සමඟ සම්බන්ධ වන්න. ඕනෑකමින් සවන් දීමට සහ ප්‍රතිචාර දැක්වීම මොන වගේදැයි ඔහුට පෙන්වන්න.
  • සම වයසේ මිතුරන් සමඟ එකඟ නොවන විටදී මැදිහත් වී ඔහුට ඇතිවිය හැකි ගැටුම් නිරාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මග පෙන්වන්න. ඔහුට තවමත් මෙවැනි තත්වයන් සමඟ කටයුතු කිරීමට නොහැකියි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවා සමාජගත වීම ප්‍රතික්ෂේප කරනවාද? නැතිනන් වෙනත් ළමයින් සමඟ සටන් කරනවාද? මේ සම්බන්ධව පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

දරුවන්ගේ වර්ධනය මාස 23: හැගීම් කුසලතා

වයස මාස 23 දී වඩාත් කැපී පෙනෙන, ළමා කාලය පුරා අත් විදින වෙන්වීමේ කනස්සල්ල සහිත අවධිය මාස 23 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනයේ කොටසක් වෙනවා.

ඔහු කෝපයට පත්වන බවක් පෙනෙන්නට තිබුණත්, එය අම්මාට හෝ තාත්තාට ඍජුවම නිවැරදි කරන්න පුළුවන්. සැබවින්ම ඔබේ අවධානය ඔහුට ඇති බව දැනෙන්නට අවශ්‍ය වෙනවා.

චිත්‍රයක් හෝ සෙල්ලම් බඩුවක් වැනි යමක් පෙන්වීමට ඔහුට අවශ්‍ය වු විටෙක ඔහු ඔබේ අතක එල්ලී සුරතල් වීමට හෝ අත තදින් ඇදීමට නැඹුරු වන්නේ මේ නිසා ය.

ඉඟි:

  • ඔහුගේ හොඳ හැසිරීම් වලදි ප්‍රශංසා කරන්න.
  • දඩුවමට වඩා ප්‍රශංසාවට ප්‍රමුඛත්වය දෙන්න.
  • ඔහුව ප්‍රතික්ෂේප නොකරන්න. ඒ වෙනුවට ඔහු නිවැරදි කිරීමේදී මෘදු ලෙස දේවල් කියන්න. 
  • ඔහු අහම්බෙන් නරක වචනයක් පැවසුවහොත් හෝ නරක ක්‍රියාවක් කලහොත් කලබල වෙන්න එපා. ඔබ ධෛර්යමත් වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • දරුවාට සෙල්ලම් පාසල වැනි නව ස්ථාන හෝ තත්වයන්ට හුරුවිය නොහැකි වු විට වෙන්වීමේ කනස්සල්ල හෝ උද්වේගකාරීබව උග්‍ර වෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 23 – කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ කුඩා මාස 23 ක් වු දරුවාට වර්ධනය වෙන වචන මාලාවක් තියෙනවා. වාක්‍ය සැකසීම සඳහා ඔහුට වචන දෙකක් හෝ හතරක් එකට ඇමිණීම පටන් ගන්න පුළුවන්.

මෙම වයසේ දරුවන්ට ඔබ නම් කරන විට පින්තූර හෝ වස්තුන් පෙන්වන්න පුළුවන්.

ඔබේ පුංචි පැටියා ඔබව අනුකරණය කරන්න කැමති නිසා ඔහුට ඇසෙන වචන සහ වාක්‍ය ඛණ්ඩ නැවත නැවතත් කියන්න පුළුවන්. මේ නිසා ඔහු සරල උපදෙස් පිළිපදින්න පටන් ගන්නවා.

ඔහුට වැසිකිළියට යාම වැනි සරල අවශ්‍යතා හෝ සරල හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතා ආදරණීය ලෙස ඔහුට ඔහුගේ නම සඳහන් කරන්නත් පුළුවන්.

ඔබේ දරුවා සිදුවීම් සමඟ වචන සම්බන්ධ කරන්න පුළුවන් වයසේ පසුවෙනවා. ඒ නිසා ඔහුගේ වාචික ප්‍රකාශනය දිරිමත් කිරීමට ඔබේ උපරිමය කරන්න.

ඉඟි:

  • ඔබේ 23 හැවිරිදි දරුවාට හොඳ පොත් කියවන්න. පින්තූර සමඟ වචන සම්බන්ධ කරන්න ඉඩ දෙන්න. වචන සහ වාක්‍ය ඛණ්ඩ නැවත ඔබට පවසන්න ඔහුව ධෛර්යමත් කරන්න.
  • හුරුපුරුදු පුද්ගලයින්ගේ ඡායාරූප ඔහුට පෙන්වන්න. ශරීර කොටස නම් කිරීමට පුරුදු වීම සදහා ඒවා පෙන්වන්න.
  • ඔහුගේ වචන මාලාව තවදුරටත් වැඩි කිරීමට පින්තූර කාඩ්පත් භාවිතා කරන්න.
  • දිනපතා කතා බහ කිරීමේදි “මම,” “මට”, “ඔබ” භාවිතා කරන්න. සන්නිවේදනය සඳහා මෙම සර්වනාම භාවිතා කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන්න.
  • දේවල් පෙන්වීම වෙනුවට ඒවා නම් කිරීමට ඔහු දිරිමත් කරන්න. ඔහුට පොතක් අවශ්‍ය නම් එහි නම කීමට ඔහු ධෛර්යමත් කිරීම අවශ්‍යයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ කුඩා දරුවාට සරල වචන උච්චාරණය කිරීමට හෝ හුරුපුරුදු පුද්ගලයින් නම් කිරීමට නොහැකිද? නිතර නිතර වචන පුනරාවර්තනය නොසලකා හරීද?

එසේ නම් ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඔහුට උදව් කරන්නේ කෙසේදැයි විමසන්න.

  • ඔහුට සරල උපදෙස් පිළිපැදීමට නොහැකි නම්, ඔහුට අවශ්‍ය දේ සරල වචනවලින් හෝ අභිනයකින් ප්‍රකාශ කිරීමට නොහැකි නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 23 – සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ආහාර තෝරා ගෙන ගැනීම මෙම වයසේ කුඩා දරුවන්ට පොදු වෙනවා.

නමුත් ඉවසිලිවන්තව ඔහුට අවශ්‍ය කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ ලබා දීම වග බලා ගන්න.

මාස 23 ක දරුවෙකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 80.5 – 89.9 ක් පමණය. මේ අතර ඔහුගේ බර කිලෝග්‍රෑම් 10.7 – 13.4 ක් විය යුතුය.

ඔබ ඔබේ දරුවාට වැසිකිළි පුහුණු කිරීමට පටන් ගන්නේ නම් ඔහුගේ අත් සේදීම වැනි නිසි සනීපාරක්ෂාව ඉගැන්වීමට මේ කාලය සුදුසුයි.

ඉඟි:

  • ඔබේ දරුවාට බඩගිනි බව නොපෙනේ නම් ඔහුට කෑමට බල නොකරන්න.
  • ආහාර වේලෙහි සෞඛ්‍ය සම්පන්න ආහාර තේරීම් ඉදිරිපත් කරන්න. ආහාර තෝරා කන දරුවන්ට පවා සමහර ආහාර නැවත නැවත ලබා දෙන්නේ නම් ඔහු ඒවාට පුරුදු විය හැකි බව මතක තබා ගන්න.
  • ඔහුව නිරෝගීව තබා ගැනීමට, ඔහුගේ දත් බුරුසුව පිරිසිදු භාජනයක ගබඩා කර තබා ගන්න. ඒ වගේම තුවා,
    කොට්ට උර සහ ඇඳ ඇතිරිලි වෙන වෙනම සේදීමට වග බලා ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවාට නිතර ආහාර රුචිය අඩු නම් හෝ බර වැඩි නොවන්නේ නම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගන්න.

අම්මලා තාත්තලා මේ වර්ධන අවදියට ආදරෙයි.

ඔබේ දරුවා මේ සංවර්ධන සන්ධිස්ථානවලට ලගා වී නැති නම්, ඔබ කණගාටු විය යුතු නැති බව මතක තබා ගන්න.

(ඒ ගැන ඔබ ඔහුගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසිය යුතුය.)

ඔවුන් “ත්‍රාසජනක දෙවැනි විය” (Terrible Twos) ලෙස හඳුන්වන දේ ගැන ඕනෑවට වඩා හිතන්න එපා.

ඒ එම අවධිය තුළ හොඳ දේවල් රාශියක් ගැබ්ව ඇති නිසායි.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 24 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner