දරුවන්ට අරපිරිමැස්ම ගැන කුඩා කළ සිටම හුරුකරන්නේ කොහොමද?

දරුවන්ට අපි නාස්තිය ගැන ඉතා සරලව කියා දිය හැකි උපායන් කිහිපයක් ගැන කතා කිරීම වැදගත් යැයි සිතුවා.

විවෘත ආර්ථිකය සමගම වෙළඳපළ තරගකාරිත්වය නිසා අද දරුවන්ට බොහෝ තේරීම් තියෙනවා. පැන්සලක, මකනයක, පෑනක සිට සෑම භාණ්ඩයකම තේරීම් විශාලයි. 

වෙළඳපළට ගියහම දරුවන් විතරක් නෙමෙයි දෙමාපියනුත් මංමුලා වෙනවා. මේ නිසා අවසානයේ මිලදී ගන්න ගිය දෙය මිලදී නොගෙන වෙනත් බොහෝ දේ මිලදී ගෙන අපි ගෙදරට එනවා.

මෙවැනි ආදර්ශ දරුවන්ගේ අනාගතය සකසුරුවමට කිසිසේත්ම සුදුසු නැහැ. දරුවන්ට අරපිරිමැස්ම ගැන ඉතා සරලව කියා දිය හැකි උපායන් කිහිපයක් ගැන කතා කිරීම වැදගත් යැයි සිතුවා.

දරුවන්ට අරපිරිමැස්ම ගැන කියා දීම

1. වැඩිහිටියන් මුදල් උපයන ආකාරය

දෙමාපියන් උදේ රෑ වෙහෙසෙමින් මුදල් සොයන හැටි දරුවන්ට ඉතා කුඩා කාලයේ තේරුම් නොගියත් පාසල් යන අවදියේ දරුවෙකුට ඔබට එය පැහැදිළි කර දෙන්න පුළුවන්.

දරුවන් දෙමාපියන් නිවසේ රැඳී ඉන්නවාට කැමතියි. රැකියාවට නොයා ඔවුන් සමග ගතකරන්න නම්
අපිට මුදල් ලැබෙන මාර්ගයක් තිබිය යුතු බව ඔවුන්ට කියා දෙන්න පුළුවන්.

ඊට ඔවුන් කැමති භාණ්ඩ යොදාගන්න පුළුවන්. මහන්සියෙන් රැකියාව කළොත් ඔවුන් කැමති රසකැවිලි සෙල්ලම් බඩු මිලට ගත හැකි බවත් හැමදෙයක්ම මිලදී ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවත් ඔවුන්ට කියා දෙන්න.

2. අනාගතයේ ඔවුන් උපයන දෙය ගැන ගැඹුරු වැටහීමක් ලබා දෙන්න

දෙමාපියන් උපයන දෙය ඉක්මනින් නාස්ති කළොත් උදාහරණයක් ලෙස මිලදී ගත් පොත්, පැන්සල් පරිස්සමින් පරිහරණය නොකළොත් නැවත නැවත මිලදී ගැනීමට සිදුවීමෙන් අපට වෙනත් දෙයකට යෙදවිය හැකි මුදල් නැවත ඊට යෙදවීමට සිදුවෙන බව කියන්න.

පවුලේ අඩුපාඩුවක් නැතිනම් වෙනත් දරුවන් කැමති දෙයක් මිලදී ගැනීමට එය බාධාවක් වන බව
නිතර ඔවුන්ට මතක් කර දෙන්න. එවිට යමක් වැය කිරීමට පෙර හෝ නාස්ති කිරීමට පෙර ඔවුන්ද දෙපාරක් සිතන්න පුරුදු වේවි.

3. ආහාර ප්‍රමාණයට බෙදා ගැනීම හා මිලදී ගැනීම

දකින දකින දේ වෙළඳපළට ගිය විට මිලදී අරගෙන දෙන ලෙස ඇවිටිලි කරන දරුවන් අපි ඕනෑ තරම් දැක තිබෙනවා. නමුත් එය දරුවන්ගේ ආශාව නිසා මිස කුස පුරවා ගැනීමට නොවන බව හුඟක් වෙලාවට පැහැදිළියි.

මහමග කෑම නැතිව අසරණව ඉන්න දරුවන් ගැන ඔවුන්ට ඔබට මතක් කර දෙන්න පුළුවන්. අපි කෑම අපතේ යවන විට තවත් ලෝකයේ ඕනෑතරම් දරුවන් කුසගින්නේ පීඩා විඳින බව කියාදෙන්න ඔබට පුළුවන්.

අනෙක් අතට ආහාර නාස්තිය පවක් බව ඔවුන්ට වටහා දෙන්න. ඉන්, පවට ඇති බිය නිසාම ඔවුන්
නාස්තියට මැලි වන අතර අපි ආහාර නාස්ති කළහොත් අපිට පෙරලා ආහාර නොලැබෙන බව කියා දෙන්න.

4. ඉතිරි කරගන්න පුංචි කැටයක් දෙන්න

රැකියාවට ගොස් නැවත ගෙදර යන විට දරුවාට ඉතිරි කරන්න පුංචි කාසියක් දෙන්න ඔබට
පුළුවන්. ඉන් කුමක් හෝ අරමුණක් ඉටු කරගන්න බලාපොරොත්තුවක් දෙන්න.

නත්තලට තෑග්ගක් ගන්න, උපන්දිනයට මල්ලිට, අක්කට, අම්මට, තාත්තට තෑග්ගක් ගන්න ඔබට මේ මුදල් යෙදවීම වැනි අරමුණකට දරුවන් යොමුකරවන්න. ඉන් දරුවන්ට බලාපොරොත්තු,
අරමුණු වගේම සැලැස්මකින් වැඩ කරන්නත් පුරුදු පුහුණු වෙනවා.

ඉතිරිය සෑම ආගමකම කියා දෙන වටිනා ගුණාංගයක් නිසා එය කාටත් පොදු වටිනා ගුණාංගයක් වේවි.

5. පාවිච්චි කළ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්නත් නැතිනම් නැතිබැරි අයට දෙන්නත් කියා දෙන්න

වර්තමානයේ ප්‍රතිචක්‍රීකරණය ඉතා වැදගත් මාතෘකාවක්. විශේෂයෙන් කුණු කසල ඉවත් කිරීමේදී ඔබට අත්වැඩට ගත හැකි දේවල් දරුවන්ට වෙන්කර පෙන්වන්න පුළුවන්.

අනික් අතට දියුණු රටවල් ප්‍රතිචක්‍රීකරණයෙන් නිපදවන භාණ්ඩ ගැන කතා කරන්නත් පුළුවන්.
නිතරම දරුවන් දෙමාපියන්ව ආදර්ශයට ගන්න ආකාරය අපි කවදත් අත්දකින නිසා හැමදේම අරපිරිමැස්මෙන් භාවිත කරන්න ඔබට පුළුවන්.

  • ගෙවතු අලංකරණයේදී ඉවතලන ප්ලාස්ටික් බඳුන් යොදා ගැනීම 
  • පොහොර උර වල එළවලු වගා කිරීම.
  • ඉවතලන කෑම හා කසල වලින් කොම්පෝස්ට් පොහොර සාදා ගැනීම.
  • අස්වැන්න වැඩි කාලයේදී භෝග වියළා නැවත භාවිතය. දෙහි, දෙල්, කොස් වැනි කෑම. අග්ගලා සෑදීම.

එවැනි සිත්ගන්නා සුළු අතීත පාඩම් දරුවන්ට කියාදෙන්න.

5S සංකල්පය
ජපානයෙන් අපිට ලැබුණු වටිනා 5S සංකල්පය පිළිවෙලට, පිරිසිදුව වැඩකරන්න දරුවන්ට කියා දීමෙන් අනවශ්‍ය නාස්තිය වළකා ගන්න පුළුවන්. බොහෝ විට කාර්යබහුලත්වය නිසාම අපි අතින් බොහෝ නාස්තිවීම් සිදුවෙන නිසා මේ සංකල්පය දරුවන්ට වගේම දෙමාපියනුත් හුරු වීම වැදගත් වේවි.

නිතර අරපිරිමැස්ම, පිරිසිදු බව පුරුදු කිරීම තුළින් දරුවන් අනාගතයේ සමාජයෙන් පිළිගැනීමට ලක්වෙන අයෙක් බවට පත්වීමේ හැකියාවක් ඇති බව දරුවන් ඇතිදැඩි කිරීමේදී දෙමාපියන් දැනගත යුතු වටිනා පාඩමක් ලෙස සලකන්න පුළුවන්.