දරුවන්ට සීමාවන් පනවන්නේ කොහොමද?

lead image

දරුවන් උස් මහත් කිරීමේදී යම් යම් නීති රීති හා සීමාවන් පනවන්න සිදු වනවා. දරුවන්ගේ සහභාගිත්වය ඇතිව සුහදශීලිව සිමාවන් පනවන්නේ මෙහෙමයි.

අපේ ගෙදර රෑ කෑමෙන් පසුව  කෑම මේසය ඇස පස් කර බිම අතුගාන්නෙ මගේ දස හැවිරිදි පුංචි දුව. සාමාන්‍යයෙන් සේදු රෙදි වේලීමට දැමීමේ කාර්යයද පැවරෙන්නේ ඇයට. මෙය දුටු මගේ මිතුරියක් මා සමඟ පැවසුවේ ඇයට මේ ගැන දුකක් දැනෙන බවයි. සෙල්ලම් කරන්න ඕනෙ දරුවෙකුගෙන් වැඩ ගන්න එක එතරම් හොඳ නැති බව ඇය මට දුන් පණිවුඩයයි. ඉතින් ඔබ එකඟ වන්නේ ඇය සමඟද? මා සමඟද?

දරුවන්ට අවශ්‍ය ආදරය, සෙනෙහස නොඅඩුව ඔවුනට දෙන අතර ඔවුන්ගේ සෙල්ලම් වයසේ ඇති තරම් සෙල්ලම් කිරීමට අපගේ උපරිම දායකත්වය ලබා දිය යුතුමය.

ඒ අතරතුරම ගේදොර වැඩටත් දරුවන් හවුල්කරගත යුත්තේ ඔවුන් නිවසේ වැඩ කටයුතු කෙරෙහි පංගුකාරයන් කරගැනීමටය. නැතහොත් ඔවුන්ගේ සිත් තුලට අප කාවද්දවන්නේ නිවසේ මුළුතැන්ගෙයි වැඩ, ගෙදර වැඩ අම්මා සතු ක්‍රියාවලියක් පමණක් බවත්, තමන්ගේ සතුට, සෙල්ලම් කිරීම පිණිස අම්මා, තාත්තා ඔවුන්ගේ  අමාරුකම් පසෙක ලා  තමන්ගේ සතුට වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත් ඔවුන් ගලවා ගන්නා බවත්ය. මේ විශ්වාසය නරක දෙයක් නොවන මුත් මෙතුලින් දරුවන් අපගෙන් දැරිය හැකි ප්‍රමාණයට වඩා දේවල් බලාපොරුත්තු වීමට නොදනුවත්වම මං පාදනවා. මේ නිසා දරුවන්ගේ සතුට ගැන නිරතුරු ඇපකැප වන අතරම නිවස තුළ ඔවුනට යම්කිසි සිමාවන් හා නීති මාලාවන් සකස් කිරීම ඉතාම වැදගත්.

දරුවන්ට නිවෙස් තුල යම් යම් සිමාවන් හා නීති මාලාවන් සකසන්නේ කෙසේද?

  1. සීමාවන් හා ඊට අදාළ ප්‍රතිවිපාක එකට යාබදව සම්පාදනය කරගන්න.

දෙමව්පියන් සහ දරුවන් එකට එකතු වී මෙම නීතිරීති සම්පාදනය කර ගැනීම වඩාත් උචිතයි, විනෝදජනකයි. ඒ වගේම දරුවාගේ එකඟතාවය ඇතිව සිමාවන් පැනවීම සිදුවීම සතුටුදායකයි.  නීතිරීති සහ ඒවායේ ප්‍රතිපල ගැනත් අවබෝධයක් මින් දරුවාට ලැබෙනවා.

උදාහරණයක් වශයෙන්, දරුවා දෙමාපියන් සමඟ කට ගසනවා නම් මෙවැනි සංවාදයක් සිදු විය හැකිය.

“මම දන්නවා ඔයාට මා එක්ක කේන්ති යන බව. ඔයා හිතා මතා කට ගහනවා නෙවෙයි. නමුත් එක වැරදියි කියා ඔයා දන්නවා නේද?”

“ඔව් අම්මා, මමත් කැමති නැහැ නමුත් මට කේන්තිය පාලනය කරගන්න බැහැ.”

“හොඳයි, අපි මෙහෙම කරමු. ඔයා කට ගහන්නේ නැති දවසට, මම ඔයාට තරුවක් දෙනවා. ඔයා එක දිගට තරු පහක් ගත්තොත්, ඔයාට කැමති පොතක් අරන් දෙනවා. තරු දහයක් ගත්තොත්, ඔයා කැමති චිත්‍රපටියක් බලන්න එක්කන් යනවා.”

“හරිම හොඳ අදහසක්”

  1. දරුවාට නිතර ආදරය පෙන්වන්න

නීති රීති සකස් කරන්නේ දරුවාට ඇති ආදරය නිසාත්, නිවසේ කටයුතු ගෙදර සියල්ලන් සමඟ එක්ව කිරීමට නිසාත් බව දරුවාට නිතර පසක් කර දෙන්න.

  1. නීති රකින විට අගය කරන්න

දරුවා නීති කඩන විට වහා  කිපෙන අප, නීති රකින විට අගය  කරන්නේ බොහොම රහසින්. එසේ නොකට නීති රකින දරුවාගේ කැපවීම උපරිමයෙන් අගය කරන්න. ඔහු හෝ ඇය ගැන ඔවුන් ඉදිරියේම යහළු මිතුරන් සමඟ අගය කරන්න.

  1. දෙමාපිය ඔබත් නිතිය කඩන්න එපා

ඉහත තරු උදාහරණයේ දරුව තරු හතරක් ගතහොත් ඔවුන්ට තරු පහේදී පොරොන්දු වුනා දේ දෙන්නට දෙමාපියන් යුහුසුළු වන්න පුළුවන්. ඔබ හැඟීම් වලට වහල් වී එසේ කළහොත් මේ මුළු අභ්‍යාසයම පුස්සක් වනවා. හිත දැඩි කරගෙන නිතියරැකීම ඔබ සතු වගකීමක්.

මේ ආකාරයට පුළුවන් තම නිවෙස් තුළම දරුවන්ට හිතකර සිමාවන් පනවා මනා හික්මීමකින් හා වගකීමකින් යුත් දරුවන් ඇති දැඩි කරන්න. ඔබත් මෙම ක්‍රියාදාමයන් උපයෝගී කර එයින් ඔබට ලැබුණු හිතකර ප්‍රතිපල ගැන TheAsianParentහි අපවත් දැනුවත් කරන්න.