ඕනෑවට වඩා සුරතල් කර ඔබගේ දරුවන් නරක් කරනවාද?

ඕනෑවට වඩා සුරතල් කර ඔබගේ දරුවන් නරක් කරනවාද?

ඔබේ දරුවා ඔබම නරක කරගත්තොත් දිගුකාලීනව ඉතා භයානක ප්‍රතිඵල අත් විඳින්න වෙයි.

දරුවන් නරක් කිරීම කිසිම දෙමාපියෙක් හිතාමතා සිදු කරන්නක් නෙවෙයි. 

දරුවෙකුට උවමනා දෙයක් උවමනා වූ විට ලබා දීම මගින් වගකීම හා වගකීම් සහිත හැසිරීම යන සංකල්පයන් ඔවුන්ට ඉගෙන ගැනීමට ඇති අවස්ථාව අහිමි වී යනවා. ඒ වගේම මෙවැනි දරුවන් එතරම් උද්යෝගී නොවන, කම්මැලි මෙන්ම කේන්ති ගන්න දරුවන් ලෙසත් හඳුනාගෙන තියෙනවා.

උවමනාවට වඩා දරුවන්ට ලිහිල් ප්‍රතිපත්තියකින් වැඩ කිරීම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවන බව කවුරුත් දන්නා කාරණයක්. නමුත් ඒ ගැන හරියට ම දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඊට හේතුව වන්නේ දරුවන් කුඩා කාලයේ මේ නිසා ඇතිවන අනිසි ප්‍රතිඵල එතරම් නොදකින නිසයි.

Livestrong නමැති වෙබ් අඩවියේ ලිපියක බ්‍රේන්ඩා ස්කොටන්ඩේල් පෙන්වා දෙන ආකාරයට දරුවන්ට උවමනාවට වඩා ලිහිල් ප්‍රතිපත්තියකින් කටයුතු කිරීමෙන් යථාර්තයේදී ඇති විය හැකි අනිසි ප්‍රතිඵල ඉතාම භයානක බව පැවසෙනවා.

යමෙකු මත යැපීමට හුරු කිරීම මගින් දරුවන් නරක් වීම

උවමනාවට වඩා ලිහිල් වටපිටාවක හැදෙන දරුවන් නිතරම තම දෙමාපියන් මත යැපෙන බවක් දක්නට ලැබෙනවා. මේ නිසා ඔවුන් වැඩිහිටියන් වූ විට ඔවුන් ටම එය අතිශය ගැටළු කාරී විය හැකි බව බ්‍රේන්ඩා පවසනවා.

කොනී ඩොව්සන් හා ඩේවිඩ් ජේ බ්‍රේඩ්නොට් විසින් කරන ලද අධ්‍යනයකට අනුව මෙම දරුවන් වැඩිහිටි වියට එළබෙත්ම ඔවුන් තනි වීම හා එම නිසා ඔවුන් ප්‍රීතිමත් නැති පුද්ගලයන් බවට පත්වන බවයි. මන්ද ඔවුන් නිතරම අන් අයගෙන් යැපීමට පුරුදුව සිටින නිසයි.

දරුවන්ව-නරක්-කිරීම

වගකීම් රහිතව කටයුතු කරන්නට හැරීමෙන් දරුවන් නරක් කිරීම 

පෙර කියූ පරිදිම දරුවන්ට උවමනා දේ එසැනින් ඉටු කර දීම මගින් ඔවුන් වගකීම් හා වගකීම් සහිත හැසිරීම් යන කාරණා දෙකම ඉගෙන ගැනීමට බාදාවක් වෙනවා. මේ දරුවන් නිතරම කාර්යශූර, ක්‍රියාශීලි නොවන, නිතරම කිපෙන හා කම්මැලි දරුවන් ලෙස හඳුනා ගැනෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ දරුවන් ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාවෙන් දුර්වල හා සංවේදීතාවයන්ගේ වර්ධනයේ අඩු දරුවන් බවට පත් වෙනවා.

අගෞරව කිරීම හා අකීකරු වීම

සිමාවන් ඉක්මවා ලිහිල් වටපිටාවක හැදුනු දරුවන් කෑ ගසා, හඬා, වැළපී හරි ඔවුන්ට උවමනා දේ ලබාගන්න දන්නවා.

බොහෝ විට මෙවැනි දරුවන් ඔවුන්ගේ හැඟීම්, දැනීම් ප්‍රසිද්ධියේ පෙන්වන්නේ නැති වුනත් එය ඔවුන් ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ ඍණාත්මක හැසිරීම් රටාවන් තුළින් බ්‍රේන්ඩා පවසනවා.

එමෙන්ම විප්ලවකාරී ගති ස්වභාවයන් ඔවුන්ගෙන් ස්වභාවයෙන්ම දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව උවමනාවට වඩා ඉවසීම හා ආරක්ෂා කිරීම නිසයි.

දුර්වල සබඳතා 

පීඩියැට්ට්‍රික්ස් නම් සඟරාවේ ජේ මැක්ලන්ටෝෂ්  පවසන ආකාරයට මෙවැනි දරුවන් අනෙක් අයගේ උවමනාවන් වලට සංවේදී නොවන අය වන අතර ඉතා ඉක්මනින් කේන්ති ගන්නා, වියරු වන, කරදරකාරී වාතාවරණයක් ඇති කරන්නට යොමු වෙනවා.

මෙම චරිත ලක්ෂණ සමග ඔවුන් හුදෙකලා පුද්ගලයන් ලෙස හැදී වැඩෙන අතර අන් අය මෙවැනි පුද්ගලයන් සමග ඇසුරට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ නිසා ඔවුනට වටිනා යාළුමිත්‍රකම් හා මානව සබඳතා ගොඩනගා ගැනීමට නොහැකිවි යනවා.

දරුවන්ට ආදරය කිරීම අත්‍යවශ්‍ය වුවත් ආදරය නිසි අවස්ථාවේ දැක්වීම හා නිසි අවස්ථාවේ ඔවුන්ට තදින් සිටීම ඔවුන්ව යහ මගට යැවිය හැකි හොඳම මාර්ගය බව අප තේරුම් ගත යුතුයි. ආදරය නිසාම ඔවුන්ගේ ජිවිත අඳුරු කරන්න අපට බැහැ.

theAsianparent Sri Lanka අපේ අපේක්ෂාව ඔබේ දරුවන් යහපත් දරුවන් වනු දැකීමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ