අපේ දරුවොත් කවදාහරි අන්තවාදීන් වේවිද?

lead image

මධ්‍යස්ත සාමකාමී දරුවන් සාමකාමී දෙමාපියන්ගේ ප්‍රතිරුවකි. ඔබට පුළුවන් මේ රට මේ අඝාධයෙන් ගලවගන්න. නැවතී සිතන්න!

එහෙම කොහොමද අපේ දරුවන් කවදාවත් අන්තවාදීන් වෙන්නේ?

දෙමාපියන් දිවා රෑ වෙහෙසී වැඩකර, දරුවන්ව අතිශයින් උගත්, පොහොසත්, සමාජශීලී සාමාන්‍ය පුරවැසියන් කරන්නට වෙර දරනවා.

නමුත් ත්‍රස්තයන්ගේ නිර්ණායක අනුව බෙහෙවින් උගත් පිරිස් කාලයක් තිස්සේ අන්තවාදී අදහස් දරා පසුව ත්‍රස්තයන් බවට පත් වනවා. එසේනම්, අපේ දරුවන් එහෙම වෙන්නේ නැහැයි කියා සහතික වන්නත් පුලුවන්ද? 

රටේ පවතින තත්වයත් සමඟ මෙම මාතෘකාව දුටු සැනින්ම මේ මොනවා කියනවාද කියා ඔබට ආවේගයක් ඇති වන්නට පුළුවන්. නමුත් ඉතාම කාලීන මාතෘකාවක් ලෙසත්, ඔබේ ආවේගය පසෙක ලා යතාර්ථවාදී ලෙස මෙම ලිපිය කියවන්නට ආරාධනා කරන්නේ, ඔබේ දරුවන්ගේත් රටේ මතු අනාගතයේත් සුභ සිද්ධිය උදෙසාමයි.

කුරිරු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ, දුක, භීතිය, කෝපය, කලකිරීම, අවිනිශ්චිත බව වැනි සිතිවිලි රාශියකින් හුදී ජනයාගේ හිස්ගෙඩි දෙදරුම් දෙනවා.

අන්තවාදීන්

ඉතාමත්ම අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගත් සිය ගණනකගේ ජිවිත පරිත්‍යාග තුළින් සමස්ත ශ්‍රී ලාංකිකයන් තද නින්දකින් අවදි වූවා වගෙයි. එක මොහොතකින් ජිවිතයේ තිබු ගැටළු ප්‍රශ්ණ සියල්ලක්ම පුස්සක් වුනා වගෙයි. එක් මොහොතකින් ලාංකිකයන් බහුතරයකගේ එකම පැතුම තමන් ඇතුළු කිට්ටුවන්තයින් සැවොම පසුදින හිරු උදාව දකින්නටයි.

අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසකට එක් නිමේෂයකින් ජිවිත තුන්සිය ගණනක් නැති කරන්නට හැකි වී තිබෙනවා. ඒ කියන්නේ තම සංඛ්‍යාව මෙන් තිස් ගුණයක්.

ඒ වගේම පවුල් දහස් ගණනක් අනාත කරන්නටත් හැකි වී තිබෙනවා. මුළු රටක් එනම් මිලියන 20කට අධික ජනතාවකගේ ජිවිත උඩු යටිකුරු කරන්නටත් හැකි වී තිබෙනවා. මේ සියල්ලක්ම දස දෙනෙකුට නැතිනම් අන්තවාදීන් වන එක් අයෙකුට වුවත් කරන්නට පුළුවන් බව මෙයින් අප තේරුම් ගත යුතු ඇඟ කිලි පොලා යන සත්‍යයකි.

මෙම අවාසනාවන්ත සිදු වීමට අදාළ තව බොහෝ දෑ තිබෙන මුත්, මේ ලිපියේ අරමුණ නම්, එදා, මේ ව්‍යසනය කරන්නට දිවි දුන් ත්‍රස්තයන්ගේ මනෝ භාවය ගැන විමසීමක් කිරීමයි. 

තවද දෙමාපිය අපගේ විශාලතම දෛනික ප්‍රමුඛතාවය වනුය දරුවන්ගේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය හා මේ මනෝ භාවයේ සම්බන්ධය තේරුම් ගැනීම ලිපියේ අරමුනයි.

මෙහිදී පහත මූලික ප්‍රශ්නයට අමතරව තවත් අන්තවාදීන් ක්‍රියා කරන ආකාරය ගැන ප්‍රශ්ණ ගණනාවක් හිතට නැගෙනවා.

  1. තමන් කරන්නේ යහපත් දෙයක් යැයි විශ්වාස කරමින්, රට තුළ සාමාන්‍ය පුරවැසියන් සේ වෙසෙමින්, වසර ගණනාවක් තිස්සේ පුරුදු පුහුණු වෙමින් හුදෙක් තම සහෝදර ජනතාවට මෙන්වන් ව්‍යසනයක් සිදු කරන්නට, විනාශ කර දමන්නට තරම් ඒකාග්‍රතාවයකට මෙම අන්තවාදීන් තම මනස ගෙන ආවේ කෙසේද?
  2. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නට දෙමාපියන් දිවා රෑ වෙහෙසෙනවා. මෙම ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් හැමෝම උසස් අධ්‍යාපනය හැදෑරු අය. ඇතැමුන් ලෝකයේ ඉහළතම අධ්‍යාපනයක් ලැබූ අය. උගත් කම මිනිසා සම්පුර්ණ කරනවා නම්.... මේ අය මෙවන් අන්තවාදීන් වූයේ කොහොමද?
  3. නූතන සමාජයේ නූගත් අය නැති තරම්. නමුත් උගත් සාමාජය තුළ ප්‍රචණ්ඩත්වය තවත් වැඩි වනවා. දශක ගණනාවකට පෙර අප මුතුන්මිත්තන් ඉතා සහජීවනයෙන් ජීවත් වී සිටියත්, අද? ජාති, ආගම්, කුල, නිඛායන් ආදී මෙකී නොකී හැම ආකාරයකින්ම බෙදුම්වාදය. ගින්දර පුළුන් එක ගාව තියෙන්නා වගේ කොයි මොහොතේ කවුරු අවිලේවිද දන්නේ නැති තරම්.
  4. මේ ගැටළු අතරින් අභාග්‍යසම්පන්නම ගැටලුව නම්... අධ්‍යාපනය දෙන ස්ථාන වල, විශ්ව විද්‍යාල වල ප්‍රචණ්ඩත්ව මෙන්ම ආගමික අධ්‍යාපනය දෙන ස්ථාන වලද ප්‍රචණ්ඩත්වයට මුල් වන ස්ථාන වන්නේ ඇයි?

මේ අති ව්‍යාකුල ගැටළු අතර අතරමංව සිටින විට, මෙහි පැටළුම් කොතැනින් ලිහන්නටදැයි අවුල්සහගතව සිටින විට සිතට ආ යම් වටිනා යතාර්ථයක් ඔබ හා බෙදාගන්නටයි මේ උත්සාහය.

මොලොවට බිහිවන දරුවන්ගේ  සුදු ලෑල්ලක් වගේ පිවිතුරුයි, අහිංසකයි.  ජිවිතයේ අත්දැකීම් එක්ක එම සුදු ලෑල්ල එකින් එක පින්තාරු වන්නට පටන් ගන්නේ දෙමාපිය අපේ අතින්.

මෑත කාලයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම අන්තවාදීන් විසින් සිදු කරන තවත් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක්ම සිදු වන්නේ උගතුන් අතින්. උගත් යෞවනයින් අතින්.

මෙපමණ ව්‍යසනයකින් පසුව, අපි අවදි වී මේ ගැන කවදාටත් වඩා යුහුසුළුව බලන්නට සිදුව තිබෙනවා. ඉහත කී පරිදි, උපාධිධාරීන් සිය දහසක් බිහි වුවත්, එක් ත්‍රස්තවාදී ක්‍රියාවකින් ඇති කල හැකි හානි විපත් බොහොමයි.

ත්‍රස්තයින්ගේ හෝ අන්තවාදීන්ගේ නිර්ණායක අනුව, අපගේ දරුවන් අන්තවාදීන් වන්නේ නැති බවට අපට සහතිකයක් නැහැ. ඒ නිසා අපගේ අහිංසක දුවා දරුවන්ව අධ්‍යාත්මික පෝෂණයෙන් ශක්තිමත් කිරීමේ මහඟු වගකීම අප මත පැටවෙන්නේ දරුවා අපගේ කුස තුළට ආ මොහොතේ සිටයි.

අධ්‍යාපනයට වඩා අධ්‍යාත්මික පෝෂණය දරුවාට ලබා දෙන්න

අධ්‍යාත්මික පෝෂණය හුදෙක් ආගමක් ඇදහීමක් හෝ ආගමික පොතක් කියවීමක් පමණක් නොවේ. මෙය ආකල්පමය පෝෂණයක්. අවවාදයට වඩා ක්‍රියාවෙන් දරුවාට දිය හැකි පෝෂණයක්.

මේ නිසා දරුවා උපන් මොහොතේ පටන් දරුවාට සුභවාදී ආකල්ප හඳුන්වා දෙමින්, නිවසේ සතුටුදායක මෙන්ම පහසුවෙන් සන්නිවේදනය කල හැකි පරිසරයක් ඇති කිරීමෙන් මේ ගමනට අවතීර්ණ වන්නට ඔබට පුළුවන්.

දරුවාගේ අධ්‍යාත්මික ගුණ සහ ආකල්ප පෝෂණය කල හැකි ක්‍රම කිහිපයක්:

  1. නිවසේ සැවොම දවසට එක් වේලක් හෝ එකට එක්වී ගන්න. එය නිදහසේ කතා බහ කරමින් ගත කරන මොහොතක් කරගන්න. රූපවාහිනි, ජංගම දුරකථන ආදිය මේ වෙලාවේ විසන්ධි කිරීමේ පිළිවෙතක් කරගන්න.
  2. දිනපතා විනාඩි 30ක් පමණ පවුලේ ය එක් වී ආගමික වතාවත් වල යෙදීම පුරුද්දක් කරගන්න.
  3. දරුවාට කතා කරන්නට අවශ්‍ය සෑම විටම දරුවාට ඇහුම්කන් දීමට සැදී පැහැදී සිටින්න. යම් හේතුවකින්, දරුවා සමඟ ගත කරන්නට ලැබෙන කාලය සීමිත නම්, ඔවුන්ට කියන්නට ඇති දේ පුංචි සටහනක ලියා බෝතලයක දමන්නට උරුදු වන්න. දවසේ වෙන් කල කාලයක් ගෙන ඔවුන් බෝතලයට ලියා දැමු දේ ගැන කතා බහ කරන්න කාලයක් වෙන් කරගන්න.
  4. නිවසේ වැඩිමහල් ය පවා කතා බහ කරන විට, අනෙක් අගයේ වැරදි කතා කිරීම හැකි නොකර සිටින්න. ඔබගේ ඉර්ශ්යාව, ක්‍රෝධය, කනස්සල්ල මතුවන ආකාරයේ කතා ඇසීම තුළින් දරුවාගේත් මේ අනවශ්‍ය ගතිගුණ කුඩා කාලයේ සිටම වර්ධනය වන්නට ගන්නවා. බෙදුම්වාදී හැඟීම් ඇති වීම ආරම්භ වන්නේ මේ පුංචි සිදු වීම් වලට දරුවා නොදැනුවත්වම නිරාවරණය වීම තුළිනුයි.
  5. දරුවාගේ පාසලේ හා පරිසරයේ වෙනත් ගැටළු ඔබට පවසන විට, හැකි තරම් ප්‍රතිවාදියාගේ හොඳ පැත්ත පෙන්වන්න. තමන්ට වැරදි කරන්නන් හට සමාව දෙන්න, මෛත්‍රිය කරන්න හුරු කරන්න.
  6. ඒ කාලයට වඩා අද කාලයේ දරුවන්ගේ අධ්‍යාපනික ගමන තනිව යන ගමනක්. සාමුහික ක්‍රියාකාරකම් අල්ප වන අතර දරුවන්ගේ යහළු මිත්‍ර ඇසුරද සීමා සහිතයි. දරුවන් බොහෝ විට අන්තර්ජාලය ඔස්‌සේ වැඩි කාලයක් ගත කරමින් අධ්‍යාපන කටයුතු කරගන්වා. නමුත් දරුවන්ගේ සාමුහික ඇසුර සහ නෑදෑ හිත මිතුරන් සමඟ සාමූහික ක්‍රියාකාරකම් වල යෙදවීම එදිනෙදා ජිවිතයට අත්‍යවශ්‍ය දෙයක් ලෙස අප සැලකිය යුතු වනවා.
  7. දරුවන් පරිඝනකයේ සහ අන්තර්ජාලයේ යෙදෙන කාලයට සීමා පනවන්න. ඒවායේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන මනා අවබෝධයකින් සිටින්න. ඔවුන්ගේ සමාජ ජාල හැසිරීම් ඔබේ නම යටතේ ඔබේ අනුදැනුම ඇතිව කරන්නට පොළඹවන්න. ඒ ඔවුන්ගේම යහපත නිසා බව ඔවුනට පහදා දෙන්න.  

ආගම්, ජාති, කුල මල පමණක් නොව, දේශපාලන මතිමතානර නිසාද නිවෙස් ඇතුලේ සබඳතා පවා පලුදු කරගන්නා ස්වභාවයක් අප තුල තිබෙනවා. මේ නිසා දරුවන්ට කලින් අපගේ ආකල්ප වෙනස් කරගැනීමේ අභියෝගයට අප මුහුණ දෙනවා. 300ට අධික පිරිසකගේ ජිවිත පරිත්‍යාගය තුළින් අපට එම අභියෝගය භාරගත හැකි නම්, දරුවන්ට අධ්‍යාත්මික පෝෂණය ලබා දීමේ ශක්තිමත්ම මාර්ගය හදා දෙන්නට එය අප ඔවුන් වෙත දායාද කරන අඩිතාලමක් වනවා.

මෙම ලිපියේ තවත් කොටසකින්, ප්‍රචණ්ඩකාරී හෝ අන්තවාදී ආකල්ප හා මත දරන දරුවන්, මානසිකව ඝට්ටනයක යෙදෙන දරුවන්   කල්තියා හඳුනාගත හැකි ක්‍රමවේදයක් ගැන විශේෂඥ අදහස් කිහිපයක් බෙදාගන්නට අප බලාපොරොත්තු වනවා.

ඉතින්මේ  ලිපියේ තව කොටසක් නොබෝ දිනකින් බලාපොරොත්තු වන්න.

අන්තවාදීන් විනාශ කල පමණින් අන්තවාදය විනාශ වන්නේ නැහැ. නමුත් දරුවන් තුළ පිරිසිඳු ආකල්ප ඇති කිරීම හා පෝෂණය කිරීම තුළින් අන්තවාදී ආකල්ප විනාශ කරන්නට පුළුවන්. එමගින් අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදයද මෙලොවින් තුරන් වනු ඇත. අපගේ ගෙදරින් පටන් ගනිමු.