දරුවන් අසාර්ථක කිරීමට තුඩු දෙන දෙමාපියන්ගේ දැඩි මතධාරී ආකල්ප කිහිපයක්

lead image

දෙමාපියන්ගේ මතදාරී අදහස් දරුවන්ගේ සුභසිද්ධියට බාදා පමුණුවනවා. දෙමාපිය අප හිතන ක්‍රමය මදක් වෙනස් කිරීමෙන් රටක් වෙනස් කරන්නට පුළුවන්.

ඉස්සර නම් දෙමාපියන්ට දරුවන් දහ දොළොස් දෙනා හිටිය. එයාල ලොකු මහත් කිරීමේදී තිබූ ලොකුම අරගලය තමා ආර්ථික අරගලය. එහෙම තිබුනත් බොහෝ දරුවන් වත්තේ පිටියේ වැවූ දෑ ඇති තරම් කා බී, අන්‍යයන් සමගත් බෙදා හදාගෙන පරිනත හික්මීමකින් යුත් වැඩිහිටියන් බවට පත් වී සිටිනවා.

මෙසේ බොහෝ පරිපූර්ණ වැඩිහිටි සමාජයක් අපට තිබේ නම් අපගේ දරුවන්, නුතන සමාජය මෙතරම් පිරිහී තිබෙන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම මෙය අප දරුවන් ලොකු මහත් කිරිමෙදී කෙරෙන යම් අත් වැරද්දකින් හෝ වැරදි කිහිපහයින් විය හැකි බව ඔබට සිතුනේ නැද්ද?

අද කාලයේ වැඩිමනක් මාපියන්ට දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නයි. ඒ දරුවා හෝ දෙන්නා ලොකු කරන්නත් බොහොමත්ම අමාරුයි. ඒ බොහෝ විට  දරුවන්ගේ අකීකරු කෑම, එකට එක කිවීම වැනි දේ නිසා. හිතුවක්කාර දරුවන් සිටින බොහෝ මාපියන් අද ඉන්නේ මහත් පීඩනයෙන් හා කනස්සල්ලෙන්. ඒ බොහෝ විට තම දූ දරුවන් පාලනය කල නොහැකි අයුරින් අකීකරු කම, දඩබ්බර කම, දෙමාපියන්ට පිටු පෑම වැනි හේතුන් නිසා දෙමාපියන්ට ඔවුන් තමන්ට කීකරු කර ගැනීමේ ලොකු අරගලයක යෙදෙන නිසා.

අප කාලේ මුහුණ දුන් ආර්ථික අරගලය නිසාදෝ සම වයසේ වැඩිහිටියන් අනාගත පරපුරේ දූ දරුවන්ව ඇති දැඩි කරද්දී නොදැනුවත්වම විශාල වැරද්දක් කරනවා. ඒ තමා තමන් හිසේ තදින්ම පැලපදියම් කරගත් යම් ආකල්ප සමුදායක් පෙරදැරි කොට ගෙන දරුවන් ලොකු මහත් කිරීම. දරුවන්ගේ යහපත් පැවැත්මට බාධා කරන, දෙමාපියන් බහුතරයක් දරණ දැඩි මතධාරී අදහස් හතක්.

  1. සල්ලි තියෙනවනම් සේරම ප්‍රශ්ණ විසඳෙනවා.

අද දෙමාපියන් ජීවිතයට  වැදගත් සියල්ල පසෙක දමා මුදල් හෙවීම ජිවිතයේ පරම ඉලක්කය කොට ගෙන ජිවත් වනවා. මෙයට සම්බන්ධ ශ්‍රේෂ්ඨ කියමනක් මට මතක් වෙනවා. මෙය කිවේ ටිබෙට් ජාතික දලෙයි ලාමා. ඔහුගේම වචන වලින්, “මනුෂ්‍ය වර්ගයා මට විශ්මය ගෙන දෙනවා. මන්ද යත් මනුෂ්‍යයා සෞක්‍යය පරදුවට තියා මුදල් හොයනවා... ඉන්පසු සෞක්‍යය බේරාගන්න ඉපැයූ මුදල් සියල්ල වියදම් කරනවා. ඔවුන් කිසි දිනෙක ජීවිතය රස විඳින්නේ නැහැ”. මෙය මොන තරම් සත්‍යයක්ද? සල්ලි යනු ජීවන මාධ්‍යයක් පමණයි. අප සල්ලි වෙනුවෙන් වැඩ නොකොට, සල්ලි වලින් අප වැඩ ගන්නා අයුරු අපගේ ක්‍රියාවන් තුළින් අප දරුවන්ටද අවබෝධ කර දිය යුතුයි.

  1. ගහල බැනල දරුවෝ හදන්න ඕනෙ.

ඒ කාලේ අප බොහෝ දෙනාට ගුටි කෑම සාමාන්‍ය දෙයක් කියා ඔබ බොහෝ දෙනා එකඟ වේවි. මේ ගුටි කෑම ඔබට සතුටක් ගෙන දුන්නාද කියා ඇසුවොත් ඔබ ඊට එකඟ වනවාද? ඒ තියා බොහෝ අයට තමා කාපු ගුටියේ සැරත්, බැනුම් වලින් ඇති වූ සිත් රිදීමත් මතකයේ රැඳුනද ඒ දඬුවම් ලැබූ හේතු සාධකය කුමක්දැයි මතක හිටින්නේ කලාතුරකින්. මෙන්ම ඔප්පු වනවා ගුටි බැට දීම සාර්ථක ක්‍රමයක් නොවන බව. ඉඳහිට කලාතුරකින් දරුවන්ට පුංචි දඬුවමක් දීම යෝග්‍ය විය හැකි මුත්, එය එකම ක්‍රමය නොවේ.

 

  1. අපිට නොලැබුණු දේවල් දුක් විඳලා හරි දරුවන්ට දෙන්න ඕනෙ.

බොහෝ දෙමාපියන් දරුවන් ඉල්ලන ඉල්ලන්න දේ දෙන්නේ තමන්ට ඒ දේවල් නොලැබුණු නිසා. දරුවන්ට සුව සැප දීමට ඉන්නේ දෙමාපිය අපි තමා. එනමුත් ඒ දිය යුතු ක්‍රමය, සිමාවන් තේරුම් ගැනීම ඉතා වැදගත්. දරුවන්ට දෙන්නන් වාලේ ඉල්ලන දේ නොදී, ඒවා තමාට දිනා ගන්නා ආකාරයට කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි. නිදසුන් ලෙස පන්තියේ පළවෙනි ස්ථානයේ සිට පස්වෙනි ස්ථානය දක්වා දිනුවොත් දරුවා කැමතිම පොතක් හෝ සෙල්ලම් බඩුවක් හෝ ලබා දීමට පොරොන්දු වීම වැනි දේ කිරීමෙන් දරුවාට තමා සතු දේ පිලිබඳ අගය වැඩි වීමක් සිදු වනවා.

  1. දරුවාට ඉස්කෝල වැඩ උගන්නගත්ත නම් සේරම හරි.

පාසැල් ජීවිතය දරුවාට නොමැකෙන මතක සටහන් ගෙනෙන සොඳුරුතම කාලයක්. අප පාසැල් කාලයේ මතක අතරින් වැඩිපුර තියෙන්නේ පාසලට යන එනකොට කල කී දෑ, යාලු මිත්‍රයෝ ගැන කතා. මේ බව බොහෝ දෙමාපියන්ට අමතක වනවා. දරුවා පාසලේ දොරකඩට ඇරලවන ඇතැම් මාපියන් දරුවාගේ විවේක කාලයේදී යළි පැමිණ දරුවාට කෑම කවනවා. ආයේ ගේට්ටුව ලඟින්ම දරුවා ගන්නවා. මෙය ඔබ නොදැනුවත්ව දරුවාව බොහෝ අක්‍රියතාවකට පත් කරනවා.

  1. දරුවා කරන්න ඕනෙ ඉගෙන ගන්න එක විතරයි.

පාඩම් වැඩ වලින් පිට අන් හැම දෙයකින්ම දරුවා ඈත් කරන දෙමාපියන් එමටයි. මගුල් ගෙවල්, අවමගුල් ගෙවල්, පන්සල් පල්ලි වල සාමුහික ශ්‍රමදාන ආදියට වැඩිපුර වැඩිහිටියන් සහභාගී වුවත් දරුවන් ඒවායින් ඈත් කොට පාඩම් වැඩ වල පමණක්ම නිරත කරවනවා. ඇතැම් දෙමාපියන් දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ සියළු ක්‍රියාකාරකම් වලින් දරුවන් දුරස් කොට ඉගෙනීමේ වැඩ වලටම පමණක් යොමු කරනවා. අද කාලයේ නව යොවුන් උගතුන් බහුතරයකින් දිස් වන ආත්මාර්ථකාමී බව, අනෙකුන් කෙරෙහි ඇති අසංවේදී බව මිට නිදසුන් වනවා. සමබර සැහැල්ලු මෙන්ම අනුන් වෙනුවෙන් සංවේදී පුද්ගලයෙකු වන්නට ඉහත සියළු ක්‍රියාකාරකම් වල කුඩා කල සිට නියැලී දායක වීම ඉතා වැදගත්.  

  1. අපේ ජාතිය හා ආගම තමා හරියටම හරි.

ලොවේ බහුතරයක් ප්‍රශ්ණ හා යුධ පීඩා වලට හේතුපාදක වී ඇත්තේ පුද්ගලයන්ගේ නොදන්නා අතීත මුතුමිත්තන්ගේ ආගම්, ජාති, කුල මල හා දේපළ වලට අයිතිවාසිකම් කීමෙන්. තමන්ගේ විශ්වාස, ඇදහීම් පමණක්ම හරි යැයි කියාගැනීමෙන්. මොහොතකට හෝ හිතුවොත් අප බැරි වෙලාවත් ඉපදුනේ අප විරුද්ධ වන ආගමට හෝ ජාතියට දාව කියා.... එසේ නම් ඒ යථාර්තය ඔස්සේ අපට අන් සියල්ලන්ගේ අනන්‍යතාවන් වලට ගරු කිරීමට අප දරුවන්වත් හුරු කරන්නට පුළුවන්.

  1. දෙමාපියන්ගේ කතා වලට දරුවන් කිසි සේත්ම කට දාන්න හොඳ නැහැ.

ඇතැම් මාපියන් දරුවන්ව තමන්ගේ කතා වලට හවුල් කර ගන්නේ නෑ. ගේදොර අගහිඟකම්, ආර්ථික හා අනෙකුත් ප්‍රශ්ණ දරුවන්ට දැනෙන්නට හරින්නේ නෑ. නමුත් අද කාලයේ පවුල් සංස්ථාව ගොඩක් පුංචියි. දරුවෝ දෙමාපියන් දකින්නේ හවුල් කරුවන් හැටියට. එම නිසා ඔවුන් යම් ප්‍රශ්නයක් ගැන දැනගැන්මට උනන්දු නම් එයින් දරුවා පවුල කෙරෙහි ඇති ලැදි බව පසක් වන අතර දරුවා යම් පමණකින් මාපිය කතා බහට හවුල් කරගැනීම ඇත්තෙන්ම හොඳ දෙයක්.

ඉතින් ඉහත දැක්වූයේ අප අතර බොහෝ දෙනා දරණ බහුලම ආකල්ප කිහිපයක්. ඔබත් මේ ආකල්පයක් හෝ කිහිපයක් දරණ කෙනෙක් නම් හිත දැඩි කොටගෙන ඒවා වෙනස් කරගැනීමට කාලය ඇවිත් තිබෙනවා. ඔබේ විවෘත සුභවාදී දැක්මෙන් මුළු අනාගතයම වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා.