කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි.

lead image

ඉලෙක්ට්‍රොනික උපාංග පිරි ලෝකයක අද දරුවන් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් දෙමාපියන් ලෙස අපට කළ හැකි දේවල් මොනවාදැයි බලමු.

කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියන කියමන අපිට අහලා පුරුදුයි. ඒත් ඉලෙක්ට්‍රොනික උපාංග පිරි ලෝකයක අද දරුවන් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් දෙමාපියන් ලෙස අපට කළ හැකි දේවල් මොනවාදැයි බලමු.

  • දරුවන්ට කුඩා කළ සිටම පොත් මිලදී ගෙන දෙන්න.

දරුවන් පොත් මිලදී ගැනීමට ගෙන යනවාට වඩා අහඹු සිදුවීමක් ලෙස එය ඔබට අරඹන්න පුළුවන්. අහඹු ලෙස ඉතා රසවත් කතන්දර පොතක් ඔබට දරුවාට තෝරා දෙන්න පුළුවන්. නිතර මෙසේ කිරීමෙන් ගෙදර ළමා කතා පොත් එකතුවක් ඔබ නොදැනුවත්වම එක්රැස් වෙනවා.

  • කතා පොත් කියවන්න අහඹු අවස්ථාවක් තෝරා ගන්න.

 දෙමාපියන්ට දරුවන්ට සරල කතා පොතක් දරුවන්ට ඇහෙන්න අහඹු ලෙස කියවන්න තෝරාගන්න පුළුවන්. නැතිනම් නින්දට යන විටත් එලෙස කරන්න පුළුවන්. ඉන් කෑම වේල පෙරැත්ත නොකර ගන්නත්, ඉක්මනින් නින්දටත් දරුවන්ට රසාස්වාදයකුත් නිරායාසයෙන් ලැබෙනවා.

  • දරුවන්ට පොත් කියවීමට බල කරන්න එපා. ඔබ ඊට පළමු ආදර්ශය දෙන්න

විවේකයක් ලැබෙන විට ඔබ රූපවාහිනිය හෝ දුරකථනය භාවිත කරන අයෙක් නම් ඒ වෙනුවට පොතක් අරගෙන කියවීමට හුරුවීමෙන් ඉබේම දරුවන් ඔබව අනුගමනය කරනවා.

  • ආකර්ෂණය පොත් තෝරා ගන්න

පුංචි දරුවන් වර්ණ, විශාල අකුරු හා රූප ඇති පොත්වලට කැමති නිසා එවැනි පින්තූර කතා පොත් මුල්කාලයේ අරගෙන දෙන්න. ඉන් දරුවන් මුලින් පින්තූර පමණක් බැලුවත් ක්‍රමයෙන් ඔහුට කතාව ගැන උනන්දුවක් ඇතිවෙනවා.

  • දරුවන්ගේ කුතුහලයට පොත් හොඳ පිළිතුරක් කරගන්න

දරුවන්ට කුතුහලය ඇති විවිධ මාතෘකා තිබෙනවා. මුලින් ඔබ ඔවුන්ගේ රුචිකත්වය දක්වන විෂයන්ට අදාල පොත් මිලදීගෙන දෙන්න.

සමහර දරුවන් විශ්වය ගැනත්, සමහර දරුවන් ඩයිනෝසරයන් ගැනත්, සමහර දරුවන් ගිනි කඳු, අයිස් කඳු ගැන ඉගෙන ගන්න ආසයි. ඉතින් නිතර ඔවුන් එවැනි මාතෘකා ගැන ප්‍රශ්න කරන විට ඔබට එවැනි මාතෘකා සහිතව ලියවුණු පොත් දරුවාට අරගෙන දෙන්න පුළුවන්. ඉතින් කුතුහලය නිසා ඔවුන් කියවීමට නැඹුරුවක් දක්වන්න පටන් ගන්නවා.

  • තෑගි වලට පොතක් තෑගි කරන්න

දරුවන්ගේ හොඳ වැඩක් අගය කිරීමට, ජයග්‍රහණයකට පොතක් මිලදීගෙන තෑග්ගක් ලෙස දෙන්න. එය දරුවා නිරායාසයෙන් පොත් වලට නැඹුරු වීමට පාර කපනවා.

කිසි විටකත් දරුවා බලෙන් පොත් කියවීමට යොමු කිරීම සාර්ථක නොවන අතර ඊට දරුවා නොදැනුවත්වම හුරු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා.

  • ඉඳහිට පුස්තකාලයකට යන්න

පුස්තකාලයක දරුවන් වැඩිහිටියන් පොත් පරිශීලනය කරන ආකාරය දරුවන්ට ආදර්ශයක් සපයනවා. එහිදී නිරන්තරයෙන් ඔවුන්ට පොත්පත් ගැන ආශාවක් ඇතිවෙනවා. 

  • පොත් සාප්පුවක ඇවිදින්න යන්න

ඔබට කාලය ඇති වෙලාවක වෙළඳසැලක ඇවිදිනවා වගේ පොත් සප්පුවකත් ඇවිදින්න කාලය යොදාගන්න. ඉන් දරුවාට පොත් පිළිබඳ ආකර්ශනයක් ලැබෙන අතර ඊට         ආශාවක් ඇති වෙනවා.

ආරම්භයක් ලෙස දරුවන්ට මේ වටිනා ළමා කතා පොත් තෝරා දෙන්න ඔබට පුළුවන්.

  1. හත්පණ - කුමාරතුංග මුනිදාසයන්
  2. මඩොල් දූව - මාටින් වික්‍රමසිංහයන්
  3. මඟුල් කෑම - කුමාරතුංග මුනිදාසයන්
  4. අඹ යාලුවෝ - ටී.බී.ඉලංගරත්නයන්
  5. ලස්සන වසිලිස්සා සහ සුරංගනා කතා - දැදිගම වී.රොද්‍රිගෝ මහතා
  6. කුඩා හොරා - සිබිල් වෙත්තසිංහ මහත්මිය
  7. හත්පෙති මල - දැදිගම වී.රොද්‍රිගෝ
  8. සූත්තර පුංචා - සිබිල් වෙත්තසිංහ මහත්මිය
  9. හීන්සැරය - කුමාරතුංග මුනිදාසයන්
  10. කෙස් ගස් උඩ පිදුරු ගසක් - කුසුම් දිසානායක මහත්මිය

අතීතයේ පටන් අදටත් අපිට මතකයට නැගෙන සොඳුරු කතන්දර අපේ දරුවන්ටත් රසවිඳින්න යොමු කරන්න. අර්ථය තරමක් අසීරු වුනත් ක්‍රමයෙන් හා සංයමයෙන් දෙමාපියන් ලෙස ඔබට දරුවා පොත් වලට ආසා කරන දරුවෙකු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් theAsianParent Sri Lanka මේ ලිපිය සකස් කළා.  

Image credit: Sunday Times Sri Lanka